සතුරාටද ප්‍රේම කරන්න !

 ඡායාරූපය:

සතුරාටද ප්‍රේම කරන්න !

මිනිසුන් අතර ගැ‍ටුම්වල ඉතිහාසය දිවයන්නේ ආදි මිනිසුන්ගේ ගෝත්‍රයන්ගේ ගණ සීමාවන් එකිනෙකට යාබද වීමට පටන් ගත් දින සිටම වේ. තාර්කිකව බැලූ විට ආදි මිනිසාගේ ගැ‍ටුම් පමණක් නොව, මෑත ඉතිහාසයේ ගැ‍ටුම්ද සඳහා මූල හේතූන් වූයේ භෞමික හෝ ආර්ථික දේශසීමාවන් බව නොරහසකි. කෙසේ නමුත් ලෝකයේ දරුණුතම අවි ගැ‍ටුම් සඳහා ආගමික විශ්වාසයන් සහ ආගමික හේතූන්ද මුල් වූ බවද නොරහසකි. මෙසපොතේමියානු යුගයන්හි සිටම තමන් විශ්වාස කරනා දෙවියන් සම්බන්ධයෙන් සමථයකට පැමිණීමට නොහැකි වීම නිසා මිනිසුන් අවි හරස් කරගත් බවට ඉතිහාසය සාක්ෂ්‍ය දරයි. කෙසේ නමුත් එකිනෙකා ගැන මහත් වූ ප්‍රේමයක්, මානව භක්තියක් සම්බන්ධයෙන් මහත් උනන්දුවෙන් කතා කරනා ආගමික විශ්වාසයන් අනුගමනය කරනා මිනිසුන්ම ආගමේ නාමයෙන්ම එකිනෙකාව මරාදැමීම සැබවින්ම උත්ප්‍රාසයක් නොවේද?

ආගමික ගැ‍ටුම් යන්න පමණක් විෂය පථය ලෙසින් ගත් විට පොදුවේ දැකගත හැක්කේ සෑම ආගමකට ශක්තිය වන්නේ එහි අනුගාමිකයින් බවයි. අනුගාමිකයින්ගෙන් තොර ඕනෑම ආගමික දහරාවක් ක්‍රමයෙන් වියැකී යනු මිස වර්ධනය නොවනු ඇත. මෙසේ අනුගාමිකයින් ඇති කර ගැනීමට නම් "මෝක්ෂ මාර්ගය" පමණක් පෙන්වීම ප්‍රමාණවත් නොවනු ඇත. "ඔබට මෝක්ෂය ලැබීමට හැකි මාර්ග ගණනාවක් ඇති අතර, මේ එක් මාර්ගයකි" කියා අනුශාසනය ප්‍රමාණවත් නොවනු ඇත.  ඒ වෙනුවට "ඔබට මෝක්ෂය ලබාගැනීමට ඇති මාර්ගය" මෙයයි යනුවෙන් කීමට සිදුවනු ඇත. වෙනත් ලෙසකින් පවසන්නේ නම් තමන් නිවැරදි බවත්, අනෙක් සියලු ආගම් වැරදි වන බවත් කීමට සිදුවනු ඇත. සැබෑ මාර්ගයේ ගමන් කරන්නන් සහ මිත්‍යාදෘෂ්ටිකයින් ලෙසින් බෙදීම ඇතිවන්නේම එතැනිනි. ඉඳින් ප්‍රේමය ගැන, මානව භක්තිය ගැන කෙතරම් කථා කළත් සැබවින්ම තමන්ගේ නිවැරදි බව අනෙකාට පසක් කර දීමට මෙම ආගමික අනුගාමිකයින්ට අවි අතට ගැනීමට සිදුවනු ඇත. මේ දෙස බලන විට අපට සිතීමට හැක්කේ සැබවින්ම ඔබ ආගමික දෘෂ්ටියකින් ප්‍රේම කරනා අනෙකාට පැවතීමට හැක්කේ ඔබ අදහන ආගමික දහරාව තුළ පමණක් වන බවයි. සැබවින්ම ඔබ මගේ ආගම් ඇදහීමට භක්තියකින් යුතු වේ නම් මම ඔබට ප්‍රේම කරමි, මම ඔබට මෛත්‍රී කරමි යන්න මෙහි අදහස නොවේද?

සාමාන්‍යයෙන් සභ්‍ය සමාජ හමුවීමකදී කථා කළ නොයුතු දේ අතර ආගමික විශ්වාසයන්ද පවතී. ඒ මන්ද? විවිධ ආගමික විශ්වාසයන් තුළ සිටින්නන් කිහිප දෙනෙකුට කථා කළ හැකි පොදු මාතෘකාවක් සොයාගත නොහැකි වීම ඊට හේතුව නොවේ. සැබවින්ම අනෙකාගේ කුමන හෝ විශ්වාසයකට සුළුවෙන් හෝ පහරක් නොගසා, අනෙකාගේ විශ්වාස පද්ධතියට අභියෝගයක් එල්ල නොකොට බහු-ආගමික සංවාදයක් ඇතිකර ගැනීමට නොහැකි වීම ඊට මූලික හේතුවයි. කෙසේ නමුත් මෙය සම්පූර්ණයෙන්ම බුද්ධිමය සංවාදයකට ප්‍රවිශ්ඨ විය හැකි විද්‍යාර්ථීන්ට අදාළ නොවේ.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව වැනි රටක පවත්නා මෙවැනි ගැ‍ටුම් නිර්වචනය කිරීම සඳහා හුදු ආගමික විශ්වාසයන් යොදාගැනීම සාර්ථක නොවේ. මන්දයත්, ශ්‍රී ලංකාව වැනි රටක මෙතෙක් ඇතිවූ සහ ඇතිවීමට නියමිත වන්නාවූ ගැ‍ටුම් සඳහා ආගමික අනන්‍යතාවයන් සමඟින් බැඳි වාර්ගික අනන්‍යතාවයන්ද හේතු වන බව ඒ සම්බන්ධයෙන් සිදුකරනා ගැඹුරු අධ්‍යයනයන්ගෙන් පෙනී යන බැවිනි.

කෙසේ නමුත් මෙම පසුතලය තේරුම් ගැනීමෙන් අනතුරුව අප විසින් ඇසිය යුතු පැනය වන්නේ 'වාර්ගික-ආගමික ගැ‍ටුම් වලින් තොර රටක්, නැතිනම් ලෝකයක්' කෙදිනක හෝ උදාවනු ඇතිද යන්නයි? එවැනි රටක්, ලෝකයක් නිර්මාණය කිරීම සඳහා අපට කළ හැක්කේ කුමක්ද යන්නයි. ඒ සඳහා කළ හැකි දෑ බොහෝ තිබේ. මරදානේ ‍ටුක් ‍ටුක් රියැදුරු මහතෙකු වන රාජුට අනුව එය ආරම්භ විය යුත්තේ වෙනත් ආගමික ඇදහීමක සිටිනා අනෙකාව වටහා ගැනීම තුළිනි. එතැනින් පසු එක්කෝ ආගමික ඇදහීම් වල නොසිටින ප්‍රජාවක් නිර්මාණයෙන් නැතිනම් ආගමික ඇදහීම පුද්ගලික කාරණයක් බව පිළිගන්නා ප්‍රජාවක් නිර්මාණයෙනි. එපමණක් නොවේ. ආගමික හෝ වාර්ගික පංගුපේරුවකින් තොරව ඕනෑම අපරාධයක් සඳහා නිශ්චිතව, යුහුසුළුව පියවර ගැනීමට හැකි පාලන තන්ත්‍රයක්, අධිකාරී බලයන් සහිත ආයතන පද්ධතියක්ද රටක ස්ථාපිත විය යුතුවේ.

ඇත්තටම කියනවා නම් ඉහළ සංවිධිත භාෂාවකින් පෙන්නලා තියෙන්නේ හැමදාමත් මාව ඔ‍ෆිස් එකට ගෙනිහින් බස්සන, ඒකට ගතවෙන පැය කාල ඇතුළත ලෝක බෝලේ ඇතුළේ තියෙන, එතනින් එළියේ තියන හැම මගුලම කතා කරන රාජු මහත්තයා සහ මං මහත්තයා අතර ඇතිවුණු සංයුක්ත සංවාදෙක විස්තෘත සාරය තමයි. රාජුට ආගම් දෙකයි. එක පැත්තකට මිනිහා සැදැහැවත් බෞද්ධ, අනික් පැත්තට මිනිහා භක්තිමත් ක‍තෝලික. ඒක අම්මයි තාත්තයි මේ ආගම් දෙකේ වීම හින්දා වෙච්ච අලකලංචියක්. රාජු මාව ඔ‍ෆිස් එක ගාවින් දාලා, ‍ටුක් ‍ටුක් එක හරවගෙන ඇහුවේ එක දෙයයි. "මහත්තයා හතුරාට ප්‍රේම කොරනවට වඩා ලේසි නැද්ද හතුරෝ හදාගන්නෙ නැතුව ජීවත් වෙන එක?"

රාජුලා අපි දන්නවැයි ආගං ගැන. ඔය ආගම ජාතිය ගැන කතා කරන මිනිස්සුන්ට වඩා!

[අරමානිස් බලසේක්කු]


 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?