ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඕනම දෙයක් පාලනය කරන්න වෙනවා

 ඡායාරූපය:

ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඕනම දෙයක් පාලනය කරන්න වෙනවා

මෙතරම් ජනවාර්ගික ප්‍රශ්නයක් රට තුළ සිදුවෙනකන් ඇයි ඔබතුමා හැංගිලා?


මම නම් හැංගිලා නැහැ. වට්ස්ඇප්, මැසෙන්ජර්, ෆේස්බුක් වැනි සමාජ ජාලා වෙබ් අඩවිවලින් එක් එක් ජාතිවාදී ප්‍රශ්න අවුලන පුද්ගල කණ්ඩායම් නම්  හැංගිලා තමයි ඒ අයගෙ වුවමනාවන් මත  වැඩ කරන්නෙ. ඒ හැංගුනු කොන්දක් නැති අය  නිසයි, මේ වගේ දෙයක් වුනේ. මම සියලුම දෙනා වෙනුවෙන් පෙනී හිටියා ඉදිරියටත්  පෙනී ඉන්නවා.  


සංහිදියාව පිළිබඳව සටන් පාඨ ගෙන ගිය යහපාලන ආණ්ඩුව ෆේල් නේද?


ඔව්. ඇත්තෙන්ම යහපාලන ආණ්ඩුව ෆේල්.


ඔබත් ඒ ආණ්ඩුව නියෝජනය කරනවානෙ?


ඔව්. නමුත් අපි හැමදාම රටේ හැම ජන වර්ගයකම මිනිස්සු වෙනුවෙන් පෙනී හිටියා. ඒ වගේම පෙනී ඉන්නවා. විවේචනය කළ යුතු තැන් විවේචනය කරනවා.


සියලුම ජන වර්ග නියෝජනය කරන කොළොන්නාවට ඒ තත්ත්වය නොඑන්න ගෙන ඇති වැඩ පිළිවෙල කුමක්ද?


අමුතුවෙන්  වැඩ පිළිවෙලක් කරන්න දෙයක් නැහැ. එහෙම කරන්න ගියාම තමයි ප්‍රශ්න  ඇතිවෙන්නෙ. මම 365 දවසෙම පැය 24ම වැඩ කරන්නෙ සිංහල මුස්ලිම් දෙමළ විවිධ ජන  වර්ග නියෝජනය කරන ජනතාවක් එක්ක. ඒ මිනිස්සු එක්ක එකමුතුව කටයුතු කරනවා. ඒ  විදිහට වැඩ කරන්න කොළොන්නාවෙ ජනතාවත් පුරුදුවෙලා තියෙනවා. ඒ නිසා කොළොන්නාව  සුරක්ෂිතයි කියලා මට විශ්වාසයි.  


අජිත් සුබසිංහ කියනවා මෙවර මැතිවරණයෙන් කොළොන්නාවෙන් වැඩි පුර ඡන්ද ගත්තෙ ඔහු බව.  ඔබ කියනවා ඔබයි කියලා. ඇත්තටම වැඩිපුර ඡන්ද ගත්තෙ අජිත් ද? ඔබද?


ඡන්ද ගාන නෙවෙයි වැදගත්. කොළොන්නාවෙ කොට්ඨාස 33 යි. ඒ කොට්ඨාස 33න් 18 ක් අපි දිනුවා.  15යි පරාද වුනේ. මන්ත්‍රී ධුර 56න් 23ක් අපි ගත්තා එයාලා ගත්තෙ 21යි.  


ෆ්‍රී වයි ෆයි දෙනවා කියලා ආපු ආණ්ඩුව දැන් අන්තර්ජාලය මර්ධනය කරන්න අරන් නේද?


නැහැ, එහෙම නෙවෙයි. ඕනෑම රජයකට ඒ තමන්ගෙ රටේ ජනතාවගෙ සුරක්ෂිතභාවය වෙනුවෙන් යම්  යම් තීරණ ගන්න වෙනවා.  අන්තර්ජාලය විතරක් නෙවෙයි ඒ වෙලාවට, රටේ ජනතාව වෙනුවෙන් ඕනම දෙයක්  මර්ධනය කරන්න වගේම පාලනය කරන්න වෙනවා. වැදගත් වෙන්නෙ  ජනතාවගෙ ජීවිත ආරක්ෂා කිරීමයි. හැබැයි ඔහොම ප්‍රශ්නයක් නම් වෙන්න තිබ්බෙ නැහැ.  ඔය තරම් දුරකට මේ ප්‍රශ්නය ඇදන් ගියේ මේ නෝන්ජල් ක්‍රමවේදයයි.


ඔබතුමා මාධ්‍ය නාලිකාවක් එක්ක එකතු වෙලා අගමැතිතුමාෙග් නායකත්වයෙන් ඉවත් කරන්න හදනවා කියන්නෙ ඇත්තක්ද?


ඔබතුමිය එහෙම ප්‍රශ්නයක් අහපු එක ගැන මම කණගාටු වෙනවා.


ජනපතිතුමා එ.ජා.ප යත් එක්ක විරසක කරන්න වැඩිම වැඩ කොටසක් කළේ ඔබ ද?


ඒ  වගෙ දෙයක් මට අවශ්‍ය වුණෙත් නැහැ. කවදාවත් අවශ්‍ය වෙන්නෙත් නැහැ. මම හැමදාම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. පක්ෂය වෙනුවෙන් පාක්ෂිකයන් වෙනුවෙන් මට පුළුවන් උපරිම දේ මම කරනවා. හැබැයි මට   දැෙනන විදිහට ඒ  විදිහෙ භේදයක් මට වුවමනා නොවුනට ඔබට අවශ්‍ය වෙලා තියෙන බව නම්  පැහැදිලියි. (අනිවාර්යයෙන්  ඒකත් ලියන්න)


කොළොන්නාවෙ තෙල් සංස්ථා වර්ජනයෙදි ආපු මැර පිරිස දිගටම මහජන විරෝධී ක්‍රියාවලට යොදා ගන්නවාද?


ඒ ආපු අයගෙන් තමයි අහන්න ඕන. මගෙන් නෙවෙයි. මම ඒ අය ගැන උත්තර දෙන්න දන්නෙ නැහැ. 

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?