සීත වන විල් පෙතේ මිළින වූ පියුම

 ඡායාරූපය:

සීත වන විල් පෙතේ මිළින වූ පියුම

"සීත වන විල් පෙතේ
පිපුණු පියුමක් ලෙසේ
කලා රැජිනී වයයි
ස්වර්ණ වීණා
ගීතවත් වී රඟයි හංස සේනා"

 

70 දශකයේ ගුවන් විදුලියෙන් නිතර ඇසුණු මේ ගීය ගැයූ ගායිකාව අයිරින් ද අල්විස්ය. අවුරුදු 73ක දිවිසැරිය නිමා කළ ඇය තම පිරිපුන් කටහඬ සුසර කර එහි රසය හදමනසෙහි තවරා නික්ම ගොසිනි.
ගුවන් විදුලිය සහ සළරූ වෙනුවෙන් ඇය ගයා ඇති ගීත සංඛ්‍යාව 1200 කට ආසන්නය. ඒ අතරින් "සීත වනවිල් පෙතේ, දෑස පා සිනා, ඉගිලී එන්න ඔයා, යනාදී ඒකල ගායනාද නීල ජලේ යමුනා සමීරේ, ජීවනයේ මල් පිපුණා යනාදී යුග ගැයුම් දායකත්වයද මතක රොන් සුණු අතර තවමත්  සුවඳ දෙයි.
අහම්පොඩිගේ අයිරින් උපත ලැබුවේ 1944 මාර්තු 11 දාය. ගීත රචක හේම ශ්‍රී ද අල්විස් සමග විවාහ වූයේ 1969 වසරේදීය. 1970 දශකයේ සිංහල ගීත රසිකයන් ගේ අමදානන්දයට හේතු වු මධුරතර ගීතාවලියෙහි අයිරින්ට ද නිශ්චිත තැනක් හිමිය.
මේ ලියුම්කරුට අයිරින් ගැන සදා මතකයෙහි රැඳෙන අත්දැකීමක් තිබේ.1969 දී අප නිවසට ගෙනා සෝනි රේඩියෝව එකල අපගේ සංස්කෘතික නිධානය විය.
70 දශකයෙහි මුල හරියේ රිජ්වේ තිලකරත්න යුගය පාසැල් සිසුන් වන අපගේ රසඥතාව ගුවන් විදුලියෙන් ප්‍රභාවත් කළ සමයයි.
"මං ආස අයිරින්ට"
ඒ මගේ මවගේ තේරීමයි. ඇය ජීවතුන් අතර සිටියා නම් මේ වන විට වයස අවුරුදු 91කි. ඒ අනුව ඇය අයිරින්ට වඩා අවුරුදු 18ක් වැඩුමල්ය.එකල නාඹරයන් වු අපගේත් මැදිවියෙහි වූ මවගේත් රසමනස පිබිදවීමේ හැකියාව ඇති තුරුණු හඬක් අයිරින් සතුව තිබීම විස්මයජනකය.
"අයිරින්ගෙ ගීත අපි ඇහුවෙ පොඩි ළමයි හැටියට. ඒ ගීත ඊ ළඟ පරපුරට වගේම අලුත් පරම්පරාවටත් බලපෑවා. ඒ මිහිරි ගීත අපට තවමත් මිහිරියි"
අයිරින් ගැන එසේ කියන්නේ විශාරද චරිතා ප්‍රියදර්ශනීය.
"ඇගේ ගායන විලාසය මධුරයි. ස්වතන‍න්ත්‍ර‍ තනු. නැවුම්. කටහඬ මිහිරියි. ඒ අය මුදල් පස්සෙ ගියෙ නෑ.නමුත් වර්තමාන පරම්පරාවෙ සමහරු එක රැයෙන් තරු බවට පත්වෙන්නෙ අයිරින්ලගෙ ගීත ගයලා. විශාල මුදලකුත් උපයනවා. අයිරින්ල ඉන්න හිටින්න තැනක් නැතිව දුක් විඳල මිය යනවා. ඒ අයගෙ කලාවෙන් විශාල පිරිසකගේ හදවත් සුවපත් වුණා නම් ඉදිරියෙදිත් වෙනව නම් ඒ අය රැක බලා ගැනීම වෙනුවෙන් කුමන හෝ ක්‍රමයක් රජයෙන් නැති නම් පුද්ගලික අංශයෙන්වත් හැදෙන්න ඕනෑ. ඔවුන් වටිනා සම්පත්. මෙය හරිම ඛේදජනකයි"
ටී. එම්. ජයරත්නගේ බිරිය මෙන්ම ගීත රචිකාවකද වන මාලිනී ජයරත්න එසේ පවසයි.
අයිරින්ද අල්විස් භාග්‍යවන්ත ගායිකාවක ලෙස අපට හැඟෙනුයේ එසමයෙහි ප්‍රකට ගායකයන් වු මොහිදින් බෙග්, එච්.ආර්.  ජෝතිපාල හා මිල්ටන් පෙරේරා යනාදී විශිෂ්ට ගායකයන් සමග  ද යුග ගී ගැයීමේ අවස්ථාව ලද හෙයිනි.
"අප පාසැල් යන කාලයේ පටන් ඇසුණු අයිරින්ගේ ගීතවල විශේෂත්වයක් තිබුණා. මුලින්ම ඇය අනුකරණාත්මක තනුවලට ගැයුවේ. පසුව ස්වාධීන තනු තෝරාගතා. මේ හැම ගීයකම මිහිරක් තිබුණා. සීනුවකින් එන නාදය වගේ. හරි අපූරුයි. එකල ගුවන් විදුලියේ ගීත පටිගත කරද්දි ගායනය වාදනය තැටිගත කිරීම එකවර කෙරුණේ නැතිනම් තැටි අපතේ යනවා. ඊට හොඳ ශික්ෂණයක් ඕනෑ. අයිරින් අක්කා සතුව ඒ ගුණය ඉහළින්ම තිබුණා."
විශාරද එඩ්වඩ් ජයකොඩි පවසයි.
අයිරින්ගේ සැමියා වන හේමශ්‍රී ද අල්විස් දක්ෂ ගීත රචකයෙකි.
අයිරින් ඔත්පළව සිටි සමයෙහි ඔහු ප්‍රියම්බිකාව මඟ නොහැර සිය දෑතින් සාත්තු සප්පායම් කරමින් කටුක දුක් අනුභව කළේ අයිරින් කෙරෙහි උපන් අදරය බිඳකුදු පළුදු නොකරගනිමිනි.
ඔහු ජීවන අම්බරයෙහි තනිවන මොහොත වන විට සිය බසෙහි හික්මීමක් නොමැති, ඇතැම් තුරුණු රචකයෝ ප්‍රාග්ධනය හමුවෙහි ගීත මුදලාලිලා බවට පත්ව සිටිති. බස මැරීම ඔස්සේ රස මරන කලාව වන්දනීයත්වයට පත් වූ යුගයක අයිරින් ද අල්විස් ගායිකාවගේ රන් ස්වරය නිහඬ වීම මෙන්ම හේමශ්‍රී ද අල්විස් රචකයාගේ හුදෙකලා වීම රසික හද පාරන අත්දැකීමකි.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?