යුද්ධය නිසා සාරවත් වුණු පොෙළාවෙන් වැඩක් ගන්න

 ඡායාරූපය:

යුද්ධය නිසා සාරවත් වුණු පොෙළාවෙන් වැඩක් ගන්න

ඇඟිල්ල දික්කරලා හඳ පෙන්නුවහම, හඳ දිහා නොබලා ඇගිල්ල දිහා බලන එක සමස්ත මානව සංහතියේම අඩුවැඩි වශයෙන් තියන ලක්ෂණයක්. මේ ගතිය එක් එක් සමාජ සංස්කෘතික භාවිතාවන්ට සාපේක්ෂව උච්ඡාවචනය වෙනවා. ලංකාව වගේ රටක මේ ගතිය වැඩියෙන් දකින්න පුළුවන්. සමහර අය හිතාගෙන ඉන්නේ, මිනිස්සු තමන් පත් කරගත්ත ආණ්ඩුවේ වැරදි අඩුපාඩු පෙන්නලා දෙන්නේත් පාලකයින්ට දැනෙන විදිහට විවිධ ස්වරූපයෙන් ඒවා මතුකරන්නෙත් අවි අමෝරාගෙන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිරීමේ පූර්ව සූදානමක් හැටියට මිසක්, අපේ ආණ්ඩු අපි නිවැරදි කර ගැනීමේ අටියෙන් නොවන බවයි. කවුරු මොනවා කීවත් ඒ දිහා බලන්නේම, කුමන්ත්‍රණකාරයෝ, කඩාකප්පල්කාරයෝ, මරු එකට යන රට විනාස කරන්න හදන ගේම්කාරයෝ කියන කෝණයෙන් නම් අන්න ඒ දැක්මම අර ඇඟිල්ලයි හඳයි වගේ තත්ත්වයක්. මේ කියන්න යන කතාව හුදෙක් ආදරේට කියන එකක් මිසක් ආණ්ඩු පෙරළලා රජ වෙන්න ගහන ගේමක ප්‍රකාශනයක් හැටියට තේරුම් නොගනිත්වා කියලා මුලින්ම කියන්න ඕනේ.

ගිංතොට මොකද්ද සිද්ධියක් වුණා. ඊට පස්සේ අම්පාරෙ සිද්ධියක් වුණා. ඒ ගින්න වෙනත් වටයකින් තෙද්දෙණියේදී ඉහළට එනවා. මෙච්චර තැනින් තැන එක එක මුහුණුවරින් දේවල් මතුවෙන කොටත්, අවුල තියෙන්නේ මිනිස්සුන්ගේ මිසක් ඔවුනොවුන් ඉපදුණු ජාතියේ, අදහන ආගමේ හෝ කතා කරන භාෂාවෙ නොවන බව පොදු ජනතාව අතරෙ ප්‍රත්‍යක්ෂාවබෝධයක් ඇති කරන්න හැකි වුණේ නැති තරම්. ස්වභාවිකව හටගත් ගින්නක් කෘතිමව නිමා දැම්මහම යළිත් ඒ ගින්න වෙනත් තැනකින් ස්වභාවිකව උපදින්න පුළුවන්කමක් තියනවා. කොමිටි හෝ උපදේශක සභා, පශ්චාත් මරණ පරීක්ෂණ තිබ්බාත් මේ සම්බන්ධයෙන් වන නියමාකාර සමාජ විද්‍යාත්මක පර්යේෂණයක් කරලා ඊට අදාළව විද්‍යාත්මක ප්‍රවේශයකින් මැදිහත් වෙන්න තවමත් අපි රටක් හැටියට අසමත්.

අවුරුදු තිහක යුද්ධයක් තිබුණු රටක් කියන්නේ සාරවත් සමාජ විද්‍යාත්මක පර්යේෂණාගාරයක්. එක අතකින් ගෝලීයව ඵල ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහේ ඓතිහාසික භූමියක්. එහෙම විද්‍යාගාර කෘත්‍රිමව නිර්මාණය කරන්න ලෝකෙ කාටවත් බැරිවෙයි. විශේෂයෙන්ම ජාති ආගම් කුල භාෂා පංති විවිධත්වයක් සමඟ වගේම විවිධ ආර්ථික උපායමාර්ගයන් සමඟ ජීවත්වන ජනතා විවිධත්වයක් ලෝකයේ මේ තරම් පොඩි ඉඩ ප්‍රමාණයකදී හම්බෙන්නේ අඩුවෙන්. එහෙම නැත්නම් නැති තරම්. ඉතිං අප කළ යුතුව තිබුණේ මේ විද්‍යාගාරය නිසි වටිනාකමක් එක්ක පාවිච්චි කරන එක. නමුත්, දැන් අපි කරමින් ඉන්නේ ඉන් ප්‍රයෝජන ගැනීම වෙනුවට, ගිනි තියලා කුඩු කරලා විනාස කරල දාන එක. අපි එහෙම කරන්න ගියොත්, ඛේදවාචකයක් තුළින් මතුවුණු වාසිසහගත සාරවත් භූමිය අපි නිස්කාරණේ නාස්ති කළා වෙනවා. ඒ වගේම, අනෙක් අතට අපි ඛේදවාචකයේ භූමියක් තවත් දුක්ඛිත ඉරණමකට තල්ලු කළා වෙනවා.

සමාජ විද්‍යා පර්යේෂකයින් සම්මන්ත්‍රණ ශාලාවලට වෙලා වාර්තා හද-හද ඉන්නවාට වඩා කළ යුතු දේ තමයි, භූමියේ තියන ප්‍රශ්නයට අත ගහන එක. හැබැයි එහෙම කරන්න නම් ජාතීන් සහ ආගම් අතර යම් ප‍්‍රමාණයක හිත් නොහොදකම් සහ අනවබෝධයක් තියනවාය කියලා අපි කවුරුත් පිළිගන්න ඕන. නෑ නෑ එහෙම එකක් නෑ කියකිය ඉන්න තාක්කල් වැඩේ ලෙඩේ වෙනවා. යුද්ධය ඉවරයි, ප්‍රශ්නේ ඉවරයි දැන් ඔක්කෝම එකා වගේ කියකිය පාරම්බානවාට වඩා වැදත් දේ තමයි උත්සව සහ සැමරුම් වලින් වියුක්ත වුණු ඇත්ත සංහිදියා වැඩකට අතගහන එක. වේදිකාවකට නැගලා සිංහල දෙමළ මුස්ලිම් නැටුම් තුනක් නටලා සිංදු තුකක් කීවාට මහපොළවේ සංහිදියාව ඇති වෙයි කියලා හිතන්න අමාරුයි. මේ මොහොතේ මහපොළවේ ඇත්ත සංහිදියාව වෙනුවෙන් පරිශ්‍රමයක් දරන්න අපි සූදානම් නැත්නම්, අපිට සිද්ධ වෙනවා ඒ වෙනුවෙන් පසුකාලීනව විශාල මිලක් ගෙවන්න ලෑස්ති වෙන්න.

 [භාරත තෙන්නකෝන්]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?