මොට්ටු තොප්පි සහ කදුරු ලී

 ඡායාරූපය:

මොට්ටු තොප්පි සහ කදුරු ලී

අම්මා පොඩි එකාට රූකඩ පෙන්නන්න එක්කන් ගිහින්. පාට පාට රූකඩ හැමතැනම. බලන්න ඇවිල්ලා ඉන්නව සිය ගානක්. සමහරු සරම් ඇඳලා. තව අය සාරි ඇඳලා මොට්ටු තියලා. තොප්පි දාපු අය. කලිසම් කෝට් ඇඳපු අය. කොල්ලො කුරුට්ටො. ආච්චිලා සීයලා. එක එක වයස් වල අය. රැස් වෙලා බලාගෙන ඉන්නවා රූකඩ සංදර්ශනේ දිහා. පොඩි එකා ආසාවෙන් රූකඩ දිහා බලන් ඉන්නවා. අර ඇවිල්ලා ඉන්න අය වගේම රූකඩ වලට ඇඳුම් අන්දලා. ආභරණ දාලා. වෛවාරණ ලයිට් දාලා. තිර ඇදලා හරි ලස්සනයි

එක එක සින්දු කිය කිය රූකඩ නටෝනවා. බලන් ඉන්න අය හිනාවෙවී අත්පොඩි ගහනවා. මේ මිනිස්සුන්ට දාහක් ප්‍රශ්න, ඔහොම හිටියට. එදාවේල හොයාගන්නෙත් අමාරුවෙන්. සමහරු කුලීවැඩ. සමහරු ගොවිතැන්. සමහරු කම්කරුවො. ගමෙත් ඉතින් එක එක ප්‍රශ්න.ළමයි ඉස්කෝලෙ යවන්න ඕනෙ. කන්න බොන්න ඕනෙ. බෙහෙත් හේත් ගන්නත් ඕනෙ. කීයක් හරි ඉතුරු කරගන්නත් ඕනෙ. නානා මුදලාලිලා වත්තෙ මහත්තයලා එහෙම නං ඉතින් රට බීම බෝතලයක් ගෙනල්ලා අඩියක් ගහන ගමන් සෙට්වෙලා ටීවි එකෙන් ඕවා බලනවනෙ.

මේ මිනිස්සුන්ට ඉතින් රූකඩ සංදර්ශනේ තමයි තියෙන්නෙ.

අම්මෙ කොහොමද මෙව්වා හෙල්ලෙන්නෙ.. පොඩි එකාට දාහක් ප්‍රශ්න.සුදු මහත්තයො අර බැඳලා තියන නූල් වලින් තමයි උඩ ඉන්න මාමලා ඕවා හොල්ලන්නෙ.. කෝ කවුරුත් පේන්න නෑනෙ.. ඔව් එයාලා ඉන්නෙ උඩ. වත්තෙ මහත්තයගෙ ගෙදර සෝමෙ මාමයි නානා කඩේ මුදලාලිගෙ කාෂිමුයි තමයි උඩට වෙලා ඉන්නෙ. එයාලා නටවනකොට තමයි රූකඩ ටික නැටවෙන්නෙ. පොඩි එකා ආසාවෙන් අප්පොඩි ගහ ගහ බලන් ඉන්නවා..

ඔන්න රූකඩ යුද්ධයක්. ගහගන්නවා රූකඩ. එක රූකඩයක් අතේ කඩුවක්. අනිකා අතේ තව පොල්ලක්. සිංහයෙකුත් ඉන්නවා. තව එකෙක් ත්‍රිෂූලයක් අරන් එනවා. කොළපාට රෙද්දක් පෙරෝගෙන මූණ වහන් තව එක්කෙනෙක්. එකම යුද්ධයක් එතන. ටං ටර ටං ටර ටං ටර... යුද්ධ වාදනේකුත් යනවා. කඩුවෙන් කොටා ගන්නවා.. පස්සට පනිනවා. ඉස්සරහට පනිනවා.. ගමේ කොල්ලො විසිල් ගහ ගහ බලන් ඉන්නවා.. ඔක්කොම හිනාවෙවී අත්පොඩි ගහහනවා.. ඉස්සි ඉස්සි බලනවා..

අනේ කොච්චර ලස්සන සෝ එකක්ද නේ මහත්තයලා මේ පෙන්නන්නෙ කියලා ගමේ ගෑනු කතා වෙනවා.. හෙට මහත්තයලෑ වත්තෙ දළු කඩන්න යන්න ඕනෙ කියලා මතක නෑ කාටවත්. නානගෙ කඩෙ ණය ගැන කාටවත් වගේ වගක් නෑ.. ඔක්කොම හිනාවෙවී නාට්ටිය බලනවා..  ගල්වලේ බෝරෙට යටවෙච්ච සිරිගෙ කකුලට මොකද බං දැන්. වත්තෙ මහත්තයා ඌට කීයක්වත් දීලා නෑලු. ලයනල් කටහඬේ සද්දෙ බාල කරලා අහනවා ළඟ ඉන්න වීරෙගෙන්.. ඩිෂ් ඩිෂ්.. ඩාම් ඩාම්

ඩාම්... ඩිෂ්...!!

පොඩ්ඩක් හිටහන්, බං අර බලහන්කො සිංහයා පනින හැටි.. පස්සෙ ඕවා කතා කරමු දැන් මේක බලහන්..  හම්මේ.. මුං මාර විජ්ජාකාරයො බං. බලපන්කො මේව්වා නටෝන අපූරුව..  වීරෙ ලයනල්ට කියනවා රූකඩ දිහා බලන්.. අර බලහන්. අර කොළපාට රෙද්ද දාන් ඉන්න සෙබලා.. ඌ මරු. ඔන්න බලහන් ඌ ත්‍රිෂූලෙ තියන එකාට ගහයි වැටෙන්නම..  හ්ම්ම්ම්ම්...

මම නං හිතන්නෙ ත්‍රිෂූලෙ තියන එකා ඌට ගහයි කියලා. ඒ උනාට බං සිංහයා එක්ක හැප්පෙන්න බෑනෙ උන්ට මං කියන්නෙ.. පලයන් බං යන්න.. උඹ කියන්නෙ ඌට ආයුධයක් නැතුව දිනයි කියලද.. බලපන් ඌ සිංහයට එක කඩු පාරක් ගහයි මැරිලා වැටෙන්නම..  එහෙම වෙන්නෙ කොහොමද බං. උඹ කියන්නෙ එදා ලතාගෙ තැනේදි උඹට බාබු ගැහුවා වගේ වැටෙන්නම දෙයි කියලද.. හහ් හහ් හා.. නිකන් පලයන් බං යන්න. ඇයි උඹ කෑවෙ නැද්ද.. ලතත් උඹට කොසු පාරක් දුන්නෙ පිනට බොන එකා කියලා.

කවුද යකෝ පිනට බොන්නෙ. තෝ බොරු කියන් එන්නෙපා මෙතන මිනිස්සු ඉස්සරහ.  

සෙනඟ අස්සෙන් හූවක් ඇහෙනවා..

ඒ වීරෙ පින් බෙබා.. හූ.....

ඔක්කොම මිනිස්සු බල බල හිනාවෙනවා..

තෝ තමයි මේක පටන් ගත්තෙ.. වීරෙ ලයනල්ගෙ බෙල්ලෙන් අල්ලන් බිම දාගෙන ගහන්න ගත්තා...

දැන් එතන එක කාලගෝට්ටියයි. බේරන්න ආපු උන්ටත් පාරක් දෙකක් වැදිලා.. උනුත් ගහගන්න අරන්. අර දෙන්නගෙ රණ්ඩුව දැන් මහලොකු කලබගෑනියක් වෙලා එතන බඩු පෙරලගෙන ගහගන්න ගත්තා.. අන්තිමට රූකඩ බැලිල්ල පැත්තක තියලා අර අම්මා පොඩි එකාවත් අරන් අරුන්ට බැන බැන ගෙදර යනවා.

පොඩ්ඩා තාම රූකඩ සිහියෙන් ඉන්නෙ. එතකොට අම්මේ ඒවා හදන්නෙ මොනවෑන්ද.. ඔය පාට පාටට තිබ්බට එක විදිහට අන්දලා ඒවා ඔක්කොම කදුරු පුතේ..මුලින් උන් ඔක්කොම කදුරු ලී...!! පස්සෙ තමා සරම් ඇන්දුවෙ. මොට්ටු, තොප්පි දැම්මෙ.

[චමල් අකලංක පොල්වත්තගේ] [සුජිත් ප්‍රියන්ත]

මාතෘකා