ඉදිරියේදීවත් තරුණ හඬට කන් දෙමු

 ඡායාරූපය:

ඉදිරියේදීවත් තරුණ හඬට කන් දෙමු

නව පළාත් පාලන පනත යටතේ පළමු ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වා අවසන් වුවද මේ වන තෙක් කිසිම ප්‍රාදේශීය සභාවක් නිල වශයෙන් පිහිටුවීමට හැකියාව ලැබී නොමැත. කාන්තා නියෝජනය, පළාත් පාලන නියෝජිතයින්ගේ ප්‍රමාණය වැඩිවීම, බොහෝ ප්‍රාදේශීය සභාවල බහුතර බලය අහිමි වීම වැනි හේතු සාධක මත තවමත් ප්‍රාදේශීය සභාවල නිල කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇත. බරපතල කාරණය වනුයේ පළාත් පාලන පනත යටතේ ඇති  40% තරුණ නියෝජන  කෝටාව ඉවත් කිරීමත්, 1989 ඇති වූ තරුණ අසහනය නැවත ඇති නොවීම සඳහා තරුණ අසහනය වැළැක්වීමේ අරමුණින් බිහිකළ තරුණ කොමිසමේ ප්‍රධාන නිර්දේශයක් වූ ප්‍රාදේශීය සභා ඇතුළු දේශපාලන නියෝජිත ආයතන වල ‍තරුණ නියෝජනය 40%ක් වත් අවම වශයෙන් පැවතිය යුතුයි යන නිර්දේශය නොසලකා හැර තිබීමය.


ඒ අනුව 1992 පළාත් පාලන පනත යටතේ 40%ක තරුණ කෝටාවක් නාමයෝජනා වලින් ලබාදිය යුතු බවට ඇතුළත් කරන ලදී. එකී අවස්ථාව නිසා ප්‍රාදේශිය මට්ටමේ තරුණ නායකයන් රැසකට ප්‍රාදේශීය සභාවට පිවිසීමටත් ඒ තුළින් පළාත් සභාවට හා පාර්ලිමේන්තුව කරා යෑමටත් අවස්ථාව උදාවිය. එවැනි තරුණ නියෝජිතයින් අදටත් පාර්ලිමේන්තුව හා පළාත් සභාව තුළ සම්ප්‍රදායික දේශපාලනයට වඩා යහපත් දේශපාලනයක නිරත වෙමින් සිටී.  
එසේ වූවද පසුගිය පළාත් පාලන සංශොධනයත් සමඟ තරුණ කෝටාව මුළුමනින්ම ඉවත් කර කාන්තාවන් සඳහා 25% අනිවාර්ය කෝටාවක් ඇතුළත් කරන ලදී. ලෝකයේ කිසිම රටක තරුණ කෝටාවක් සම්පුර්ණයෙන් ඉවත්කර කාන්තාවන් සඳහා පමණක් අලුත් කෝටාවක් ලබා දී නොමැත. මින් පැහැදිළිවන කාරණය වන්නේ මේ සඳහා සම්බන්ධ වූ ප්‍රත්පත්ති සම්බන්ධයෙන් දේශපාලකයින් මැතිවරණ කටයුතුවල නියැලි රජය හා සිවිල් නියෝජිතයන් නව තරුණ ප්‍රජාව ගැන පවත්නා ආකල්පයයි. පළාත් පාලන අමාත්‍යංශය හරහා පළමු කෙටුම්පත් කරන අවස්ථාවේ සිට සංශෝධන සහිතව අවසන් පනත සම්මත වීම දක්වා මේ සඳහා සහභාගී වූ කිසිම කණ්ඩායමක් තරුණ නියෝජනය අහිමි වීමට එරෙහිව කටයුතු නොකර සිටීමය.   


සිවිල් හා තරුණ නියෝජිතයින් නිල වශයෙන් මෙකී ක්‍රියාවලියට දායකත්වය දැක්වීම හා අදහස් ඉදිරිපත් කිරීමට කිසිම කමිටුවකට අවසථාව නොලැබීම කැපී පෙනෙයි. එහෙත් අප විසින් දේශපාලන පක්‍ෂ නියෝජිතයින් වෙන වෙනම මුණගැසී මේ සඳහා පාර්ලිමේන්තුව තුළ හඬක් නැඟීමට දැනුවත් කළ අතර එසේ කිරීමට පොරොන්දු වූවද, පාර්ලිමේනතුව තුළදී ඔවුන් කිසිවෙකු කථා කළේවත් නැත.   
ඔවුන්ට තව දුරටත් තරුණයන් යනු පෝස්ටර් ගසන, පෙළපාලි යන පිරිසක් බව ඒත්තු ගැන්වීය. 


රටේ වැදගත් දේශපාලන තීන්දු පනත් නීති සම්පාදනයේදී හා ජාතික ගැටලුවලට විසදුම් සෙවීමේදී තමන් හරියැයි ක්‍රියාකරන සම්ප්‍රදායික පාරම්පරික වැඩිහිටි නියෝජිතයින් නිසා විවිධ වූ දේශපාලන අර්බුද නිර්මාණය වීමට හේතු වී තිබේ. ජාතික ප්‍රශ්නවලදී හෝ ජාතික වශයෙන් වැදගත්වන කිසිදු තීරණ ගැනීමේ කටයුතුවලට ප්‍රමාණවත් තරුණ නියෝජනයක් ලබාදීමේ පූර්වාදර්ශයක් නොමැතිවීම තව දුරටත් සිදු නොවිය යුතුය.   
සාම්ප්‍රදායික, ගතානුගතික ආකල්ප වලින් හෙබි තමාගේ බලය කෙසේ හෝ පවත්වා ගැනීමට බලාගෙන සිටින වැඩිහිටියන් වෙනුවට තමන්ගේ අනාගතය වෙනුවෙන් ගන්නා තීරණ සඳහා වැඩි ඉඩක් තරුණ ප්‍රජාවට ලබා දිය යුතුය. එසේ නොවුණ හොත් රට ඉදිරියට නොව තව තවත් ආපස්සට යන බව පසුගිය පළාත් පාලන පනත අනුව නිර්මාණය වූ අවුල් ජාලාවෙන් තේරුම්ගත හැකිය. කිසිදු දේශපාලන පක්‍ෂයක් හෝ දැනට සිටින දේශපාලනඥයින් ඔවුන්ගේ බලය රැක ගැනීමට බලය ආරක්‍ෂා කිරීමට මෙකී පනත් සංශෝධනය හරහා කටයුතු කර ඇති බව පැහැදිළි වන අතර කිසි දිනක ඔවුන්ගෙන් රටට ජයග්‍රහණ වෙනුවෙන් සංශෝධන බලාපොරොත්තු විය නොහැක. ආරම්භයක් ලෙස පළාත් සභා පනතේ සංශෝධන සිදුකර තරුණ නියෝජනය සඳහා කෝටාවක් ලබා දිය යුතුය. පසුගිය පළාත් සභා මැතිවරණ වලදී තරුණ තරුණයින් 20%ක් පමණ නාමයෝජනා ලැබී ඇති අතර ඉතිරි 80% පැරණි පළාත් සභා මන්ත්‍රීවරු හා ආසන සංවිධායකයන් වෙත හිමි වී තිබේ. නව පනතින් කාන්තාවන් 30% පමණක් තහවුරු කළහොත් එකී කොටස අහිමි වන්නේ තරුණ ප්‍රජාවටයි.  


එම නිසා අනාගත පාර්ලිමේනතුව නියේජනය කිරීම සඳහා තරුණ නියෝජිතයන් හඳුන්වා දීමට, ප්‍රජාව අතරට යෑමට, දැනුම පළපුරුද්ද ලැබීමට පළාත් සභාවට ඒමට තරුණ ප්‍රජාවට අහිමි වුවහොත් සිදුවන්නේ අනාගත පාර්ලිමේන්තුව තුළ තරුණ නියෝජනය තව දුරටත් අහිමිවී යාමයි.  
නැවත නැවතත් තරුණ විප්ලවයන් සිදු නොවීමට නම් සිදු කළ යුත්තේ තරුණ අසහනය වැළැක්වීමේ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමය. 

මාතෘකා