රූපයෙන් විභූෂිත අභිරාමිය...

 ඡායාරූපය:

රූපයෙන් විභූෂිත අභිරාමිය...

චෙන්නායි තොටින් බැස කිලෝමීටර තුන්සියයක් පමණ දකුණට යන විට තමිල් නාඩුවේ නැගෙනහිර වෙරළබදව තිරුක්කඩවුර් මුණගැසෙයි. තිරුක්කඩවුර් වෙත බැතිමතුන් ඇදෙන්නට ප්‍රධානතම හේතුවක් වන්නේ එහි ඇති සුප්‍රසිද්ධ අම්රිතඝතේස්වරර්-අභිරාමි කෝවිලයි. මෙම කෝවිල වටා ඇති පුරාවෘත්ත අතුරින් ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන්නේ මර්කන්දේය සෘෂිවරයාගේ කතාන්තරය සහ අභිරාමි භට්ටර් හෙවත් අභිරාමි දෙවඟනගේ පූජකවරයාගේ කතාන්තරයයි. මෙම කථාවේ එන පුරාණ කෝවිල මෙය නොවේ. එකොළොස්වන සියවසේ නිර්මාණය වූ එම පුරාණ කෝවිල වර්තමානයේදී හැඳින්වෙන්නේ තිරුමේඥාණම් යන නමින් වන අතර, සමුද්‍රයෙන් විනාශ වී ගිය එම කෝවිලේ අද ඇත්තේ නටඹුන් පමණි.

මෙම කෝවිල අභිරාමිය වැඩ සිටිනා තැන වුවත්, මෙතැන ප්‍රධානත්වය හිමිවන්නේ නිසඟයෙන්ම මහේෂ්වර ශිවයන්ටයි.  පුරාවෘත්තයන්ට අනුව කියැවෙන්නේ මන්දර පර්වතය මත්දඬුව ලෙසින් ගෙන කිරි සයුර කැළඹවූ ශිව එයින් මතුකරගත් අමෘතය හෙවත් අම්රිතාවෙන් එක් කළයක්, දේවගණයා විසින් තිරුකඩයුර්හි තැන්පත් කර තිබූ බවයි. මෙම අමෘත අම්රිතා කුම්භය භූමිය හා එක්ව එය ශිව ලිංගයක් බවට පත්වුණු බවයි . එසේම මර්කන්දේය සෘෂිවරයා විසින් සදාකාලයටම මරණයට මුහුණ නොපෑමේ වරයක් ඉල්ලමින් නීලකණ්ඨ ශිවයන්ට යාඥා කරන්නට යෙදුණේද මෙම කෝවිල් භූමියේම සිට බවද තවත් වෘතාන්තයකි. අම්රිතඝතේස්වරර් කෝවිලට පැමිණෙන බැතිමතුන් අයදින්නේ තමන්ට දීර්ඝායුෂ සම්පත්තිය දෙන ලෙසයි.

අභිරාමි දෙවඟනගේ වචනයේ පරිසමාප්තාර්ථය වන්නේ ඇය "සදාකල්, සැමකල් රමණීය" වන බවයි. ඇය වෙනත් ප්‍රාදේශීය දේව දෙවඟනන් මෙන් නොව අතිශයින්ම බලවන්ත බවත්, ඇගේ බැතිමතුන් ඉල්ලා සිටිනා වරයන් ඉෂ්ට කර දෙන බවත් පොදු විශ්වාසයයි. අභිරාමි භට්ටර් යනුවෙන් හැඳින්වෙන්නේද ඇගේ භක්තිමත් අනුගාමිකයෙකි. සුබ්‍රමනියා අය්යර් නම් මෙම කථා නායකයා අභිරාමි දෙවඟනගේ පූජකවරයෙකු බවට පත්වන්නේද ඔහු තුළ දෙවඟන කෙරෙහි ඇති වර්ණනාවිෂයාවික්‍රාන්ත සැදැහැ නිසාවෙනි. ඔහුගේ බැතිය කෙතරම්ද කියන්නේ නම් ඔහු අභිරාමිය ගැන හැරෙන්නට වෙනත් කිසිවක් ගැන සිතන්නට තරම් හෝ හුරු වී නොතිබුණි. බොහෝ විට කෝවිල් පරිශ්‍රයේ කොණක හිඳ අභිරාමිය ගැන සිතමින්, ඇය ගැන ස්‍තෝත්‍රයන් මුමුණමින් සුබ්‍රමනියා සිටින්නට ඇතැයි අපට මවා ගත හැකියි.

කෙසේ හෝ එක් දිනකදී කෝවිලට පැමිණෙන්නේ ප්‍රබල මරාති රජෙකි වූ රාජා සෙර්ෆෝජියි. ඔහු දු‍ටු අනෙකුත් පූජකයින් රජුට ආචාර කළත්, සිය කල්පනා ලොව අභිරාමිය පිළිබඳ සිතමින් ගැඹුරින් නිමග්න වී හිඳිනා සුබ්‍රමනියා රජු ගැන තැකීමක් නොකරයි. මේ නිසා ඔහු ගැන රාජා සෙර්ෆෝජි විමසා සිටින අතර, අනෙකුන් පවසන්නේ ඔහු අභිරාමි භට්ටර් හෙවත් අභිරාමි බැතිමත් පූජකයා බවයි. නැවත පැමිණෙන රජු සාමාන්‍ය ලෙසින් සුබ්‍රමනියාගෙන් විමසා සිටින්නේ එදින තිථියයි. එනම් එදින ඇත්තේ පුර සඳද නැතිනම් නවසඳද යන්නයි. තම කල්පනා ලෝකය සිය රූසිරියෙන් කාන්තිමත් කරමින් සිටිනා අභිරාමිය දකිමින් හිඳින සුබ්‍රමනියා පිළිවදන් දෙන්නේ ඒ පූර්ණමී හෙවත් පුර සඳ බවටයි. නමුත් සැබවින්ම නම් තිථිය වන්නේ අමාවස්‍ය හෙවත් නව සඳයි.

රජු කිපී ඔහුට පුර සඳ පෙන්වීමට නොහැකි නම් මරණ දණ්ඩනය නියම කොට එතැනින් යයි. තම වැ‍රැද්ද වටහාගන්නා සුබ්‍රමනියා ඒ ගැන තැවී කෝවිල් පරිශ්‍රයේ සුවිසල් ගිණි ගොඩක් ගසයි. ඊට ඉහළින් ‍රැහැන් සියයකින් බැඳී පවතින පලක් මත හිඳිනා සුබ්‍රමනියා අයියර් හෙවත් අභිරාමි භට්ටර් විසින් තමන් නිවැරදි යැයි සනාථ කරන ලෙසින් අභිරාමි අම්මාන් වෙත යාඥා කර සිටී. ඔහු විසින් අභිරාමියට ගුණ ප්‍රශංසා කරනා ශ්ලෝක සියයක් නිර්මාණය කරමින් ගායනා කරන අතර, එක් එක් ශ්ලෝකයක් පූර්ණ කිරීමේදී එක් එක් ‍රැහැනක් කපා දමයි මෙම ශ්ලෝකයන්ගේ විශේෂත්වය වන්නේ එක් එක් ශ්ලෝකයක් ඇරඹෙන්නේ ඉන් පෙර වූ ශ්ලෝකයේ අවසන් ස්වරයන් වීමයි.

කෙසේ හෝ පුරාවෘත්තයට අනුව ඔහු හැත්තෑ නව වෙනි ශ්ලෝකය සම්පූර්ණ කරනා විට අභිරාමිය මනුශ්‍ය වෙස් ගෙන ඔහු ඉදිරිපිට පෙනී හිඳී. ඇය තම කන්‍තෝඩුව ගලවා අහසට විසි කරන අතර, එය මහා දීප්තියකින් දිලිසෙන්නේ පුරා සඳ පෑයූ පරිද්දෙනි. අභිරාමියගේ නියමය පරිදි සුබ්‍රමනියා ශ්ලෝක සියයම ගායනා කර අවසන් කරයි. රාජා සෙර්ෆෝජි සිය වැ‍රැද්ද වටහා ගෙන අභිරාමි භට්ටර් වෙත ගෞරව කර සිටී.

මෙම අභිරාමි ගුණ වර්ණනා ශ්ලෝක සියය අභිරාමි අන්දාති ලෙසින් අදටත් ප්‍රචලිතව තිබෙයි.

සැබවින්ම සුබ්‍රමනියා අය්යර් අභිරාමියට දැක්වූ භක්තිය මිනිස් සිතුම් පැතුම් ඉක්මවා ගිය ප්‍රේමයක් නොවුණිද? භක්තිය යනුම එක්තරා ආකාරයකට අසීමිත වූ ප්‍රේමයක් නොවනු ඇතිද? මෙම බ්‍රාහ්මණ තරුණයාගේ ජීවිතයේ එකම ප්‍රේමය වූයේ අසමාන රූප ශෝභාවකින් යුතු වූ අහිරාමියම නොවේද? ඔහුගේ උමතුව වූයේ අභිරාමිය කෙරෙහි වූ භක්තිමත් ප්‍රේමයම නොවේද?

සුබ්‍රමනියා අය්යර් හෙවත් අභිරාමි භට්ටර්ගේ කථාන්තරය එසේ අවසන් වුවත්, අභිරාමියට මුළු සිතින් පෙම් බැඳි ගුණාගේ කථාන්තරය අවසන් වන්නේ සිය අභිරාමිය අහිමි වීමෙන් සහ ඇය වෙනුවෙන් සිය ජීවිතයම දීමෙනි. ඉලෙයරාජාගේ සංගීතයෙන් වර්ණවත් වුණු ගුණාගේ සහ අභිරාමියගේ කථාන්තරය අතරේදී  "මාගේ ඇස වන් මාහැඟි වස්තුව, මේ ආදර ලියුම ලියන්නේ නුඹගේ ආදරවන්තයා වන මමයි" යනුවෙන් ඉලෙයරාජාගේ කෙලිලොල්, හැඟීම්බර සංගීතය දැව‍ටුණු ගීතයක් වෙයි. චිත්‍රපටය අවසානයේ ගුණා තම අභිරාමිය වන රෝෂ්නීගේ ප්‍රාණ නිරුද්ධ සිරුරද වැළඳ පවසා සිටින්නේ "මෙය මිනිසත් බව ලැබූවෙකුට තේරුම් ගත නොහෙන, මිනිසත් බව ඉක්මවා ගිය දිව්‍යමය ප්‍රේමයක්" බවයි. ඉන්පසුව ගුණා තමන් වැලඳ සිටින අභිරාමිය සමඟින්ම කන්දෙන් පහළට පනී. චිත්‍රපටයේ අවසානයේ පෙන්වන්නේ ඒ පූර්ණ චන්ද්‍රයා පායා ඇති දිනයක් වන බවයි!

සුබ ලාලිලාලියේ ලාලිලාලියේ... අභිරාමි ලාලියේ ලාලියේ...

අදටත් ඒ ඇසෙන විට හද රිදුම නවතාගත නොහැකි වෙයි.

[අරමානිස් බලසේක්කු]

මාතෘකා