නජජ්ජා වසලෝ හෝතී...?

 ඡායාරූපය:

නජජ්ජා වසලෝ හෝතී...?

අනේ පලයන් බං යන්න. ආවා මෙතන බණ කියන්න. උඹ දන්න බම්බුව. උන් ඔක්කොම පරයො යකෝ. තෝ හිතන් ඉන්නෙ මේක උන්ගෙ රට කියලද.

නෑ බං මං කියන්නෙ දැන් උන්ව කොහෙ යවන්නද. උන්ට වෙන රටක් නෑනෙ.

ඉතින් අපිට මොකද ඕයි. උන්ට මුහුදට පැනලා මැරෙන්න කියාපිය. මේකෙ එක එක උන්ට පාට් දාන්න දෙන්න බෑ. යකෝ අපේ පරම්පරාවල ඉඳලා ආර්ය සිංහල. තෝ දන්නවද අපේ තාත්තගෙ පරම්පරාව, මේ රට බේර ගන්න පෘතුගීසි කාලෙ ඉඳන්ම යුද්ධ කරලා තියනවා. අපේ ඇඟේ දුවන්නේ රාවණාගෙ ලේ බං. ඔය පස්සෙ ආපු එක එක පරයන්ට මේකෙ රඟන්න දෙන්න බෑ..

හරි බං මම කියන්නෙ ඉතින් උන්ගෙ අන්තවාදයක් තියනවනං කරන්න ඕනෙ ගහ මරාගන්න එක නෙමෙයිනෙ. නීතියෙන් බුද්ධිමත්ව වැඩ කරන එකනෙ. යුද්ධ කරලා මැරෙන්නෙ දෙපැත්තම වගකියන්න ඕනෙ උන්ද. නෑනෙ. අහිංසක පොඩි උන්. කොල්ලො කෙල්ලො..

අනේ උඹ පාඩුවෙ හිටහන් බං. ඊයෙ අපි අර කඩේ ගිනිතියලා කුඩු ක‍ෙළ් නැත්තං ඕකුන් පාඩමක් ඉගෙනගන්නවද. නෑනෙ. මරලා මිසක් මේක විසඳගන්න බෑ. මතකනෙ 83 දි දුන්නා ඇට්ටි හැලෙන්න.. ඉතින් මිනිහෝ ඊට පස්සෙ අවුරුදු 30 ක් මරාගත්තා තොපිට මතක නැද්ද. යකෝ පළිගන්න එකවත් යුද්ධ කරන එකවත් විසඳුම නෙමෙයි. යුද්ධෙදි මැරිච්ච උන් එකෙක්වත් යුද්ධෙට හේතුව දන්නෙ නෑනෙ. තෝත් පටන් ගත්තද උන්ට කඩේ යන්න. යකෝ. තෝ කියන්නෙ බ්‍රෙෂියර් ඇතුලට වඳ පෙති දාලා දෙනකොට කට වහන් ඉන්න කියලද.

පිස්සුද බං බණ්ඩාර උඹට. පෙත්තක් ගෑවුණම වඳ වෙන්නෙ කොහොමද. අනික බං එහෙම එකක් කරනවනං උඹලා ඇත්තටම කරන්ම ඕනෙ ඒක අල්ලලා පොලීසියට බාර දීලා නීතියෙන් උන්ට දඬුවම් කරන එක මිසක් නීතිය අතට අරන් පිස්සො වගේ හැසිරෙන එක නෙමෙයිනෙ. එතකොට තොපෙයි ත්‍රස්තවාදියන්ගෙයි වෙනස මොකක්ද .

බණ කිය කිය ඉන්න බෑ මිනිහෝ. ලොකුද පොඩි ද කියලා වෙන් කර කර ඉන්න බෑ. පව් පින් බලන්න බෑ ජාතියයි ආගමයි රකින්න. යකෝ මරලා හරි මේක රැකගත්තෙ නැත්තං අපේ පොඩි උන්ට ආගමක් ජාතියක් ඉතුරු වෙනවද. ඉතින් බං බුදුහාමුදුරුවො කිව්වෙ ජාති ආගම් වැඩක් නෑ. ඔක්කොම මිනිස්සුය. වසලයෙක් බ්‍රාහ්මණයෙක් වෙන්නෙ ක්‍රියාවෙන් කියලනෙ. අනේ මෙතෙන්ට බුද්ධාගම ගාවගන්නෙපා උඹ. යකෝ එහෙනං අපේ හාමුදුරුවෝ එන්නෙ අපි එක්ක කඩුව අරගෙන. උඹ ගිහින් උන්වහන්සේට කියහන්කො බලන්න ඕක.

ඒක වැරදිනෙ බං ඉතින්. සිවුර දාගන්නෙ මිනි මරන්න නෙමෙයිනෙ. මං කියන්නෙ බං වෙන උන්ගෙ වැරදි තියනවනං උන්ට විරුද්ධ වෙන්න ඕනෙ නීතියෙන් මිසක් උන්ගෙ ඔක්කොම උන්ව කැතිගාලා නෙමෙයි කියලා. යකෝ තේරුම් ගනින් මිනිහෝ. මේ ඔක්කොම පොලිටිකල් ප්‍රොජෙක්ට්ස්. තොපිව අන්දලා ඉන්නෙ.

සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම ලොකු ලොකු උන් එකට කකා බිබී ආතල් එකේ ඉන්නවා. තොපි වගේ පොඩි උන් මරාගන්නවා. යකෝ මේකෙ ජාතිය ආගම කියන්නෙ පට්ට සෙන්සිටිව් දේවල්. ඒවා අවුලලා සිරා ප්‍රශ්ණ අමතක කරවලා උන්ට බලයේ ඉන්න පුළුවන්. උඹලා වගේ හරක් අහුවෙනවා ඕවට. දැන් බලපන් සමාජවාදී, ධනවාදී කියලා ලේබල් ගහපු ඔක්කොම රටවල් ජාතිය ආගම අවුස්සලා උන් ආතල් එකේ ඉන්නවා. සිරියාවේ

ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං.... හලෝ..

අප්පා එහෙමද.ෙ ඉන්න අම්මෙ මං ඉක්මන්ට එන්නං දැන්ම..

අඩෝ සීයට අමාරුයිලු‍ වරෙන් මං එක්ක හොස්පිට්ල් එකට යන්න.. ( රෝහල් කාමරය තුළදී )

එහෙම කරන්නෙ කොහොමද. අපෙත් තාත්තනෙ.

අපිටත් අයිතියි ඔය ඉඩම. උඹලා විතරක් අරන් කොහොමද..

ලොකු අම්මේ... අම්මේ.. පොඩ්ඩක් නවත්තගන්න ඕක..

සීයට අමාරු වෙලා ඉද්දි ඔයාලා රණ්ඩු වෙලා කොහොමද..

මොන විකාරයක්ද මේ... අනේ උඹ හිටහන් කටවහගෙන..

අරන් හදාගත්ත එකා.. තෝ එනවද අපිට පාට් දාන්න..

අපේ පරම්පරාවේ ඉඩං කොහෙවත් යන දෙමළෙක්ට අයිති වෙන්න දෙන්න පුළුවන් ද...

මොකක්.. මොකක්ද ලොකු අම්මෙ ඒ කතාව..

ඇයි උඹෙ අම්මා කියලා නැද්ද උඹට..

උඹෙ අම්මටයි අප්පටයි ළමයි නැතුව ඉද්දි උඹව දෙමළ මනුස්සයෙක්ගෙන් අරන් හදාගත්තෙ..

ඉතින් පිට උන්ට අපේ ඉඩං ලියලා දෙන්න කියලද උඹ කියන්නෙ දැන්..

උඹලට මේවෑ අයිතියක් නෑ..

බණ්ඩාර කියලා නම තිබ්බට මේ උඹේ අම්මා අප්ප නෙමෙයි යකෝ...!!!

[චමල් අකලංක පොල්වත්තගේ] [සුජිත් ප්‍රියන්ත]

මාතෘකා