බිග් බෑඩ් වුල්ෆ්!

 ඡායාරූපය:

බිග් බෑඩ් වුල්ෆ්!

ඊනියා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක් නොව සැබෑ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක් මේ දිනවල කොළඹ 10, ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වේ. ඒ, The Big Bad Wolf ප්‍රදර්ශනයය. ජාත්‍යන්තර ප්‍රදර්ශනයකියි පාඨකයා මුළා කරමින් සැප්තැම්බරයේ බී.එම්.අයි.සී.එච්. හි පැවැත්වෙන ප්‍රදර්ශනය මෙන් නොව මෙහි විශ්ව සාහිත්‍යයේ අලුත්ම නවකතා, විචාර ග්‍රන්ථ, යොවුන් කතා, ළමා කතා පමණක් නොව විශාල ප්‍රමාණයේ ඡායාරූප හා සිතුවම් ග්‍රන්ථද ආදී සාහිත්‍යයේ සෑම සියලු ශානරයකටම අයත් කෘති - ඔවුන් පවසන පරිදි මිලියන 1.5කට වඩා වැඩි කෘති ගණනක් - තිබේ. ඒ ඇත්තේ ඉතා අඩු මිලකටය. පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සැප්තැම්බරයේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රදර්ශනයට තබන පොත්වල මිල හා සැසඳූ විට මේ පොත්වල මිල තුන් ගුණයකටත් වඩා අඩුය. නිදසුනකට කෆ්කාගේ පොතක් මෙහි ඇත්තේ රුපියල් 530ක් වූ මිලකට වුවත් අර ප්‍රදර්ශනයේ මිල රුපියල් 1500 ඉක්මවන තරම්ය. සෙසු සෑම පොතක්මත් එසේය. අනෙක් වැදගත්ම කරුණ මෙරටට ආගන්තුක විශ්ව සම්භාව්‍ය සාහිත්‍යකරුවන්ගේ කෘතිද එහි අඩංගු වීමය. ඇත්ත වශයෙන් විලියම් ෆෝක්නර්ගේ කෘතියක්, රේමන්ඩ් කාවර්ගේ කෘතියක් මා මුල් වරට දුටුවේ මේ ප්‍රදර්ශනයෙනි. (මේ එකදු ලේඛකයකුගේ කෘතියක් අපේ පොත් ප්‍රකාශකයකු මෙරට පාඨකයාට හඳුන්වා දී නැත.)

පොත් ප්‍රදර්ශනයක් කී විට එහි අලුත් පොත් තිබීම නිබඳවම සිදු විය යුතු දේකි. නොඑසේ නම් වන්නේ එය පැරණි පොත් ප්‍රදර්ශනයක් වීමය. එසේ බැලූ කල

බී.එම්.අයි.සී.එච්. ප්‍රදර්ශනය පැරණි පොත් ප්‍රදර්ශනයකි. මෙම ප්‍රදර්ශනයේ ඉසබෙල් අයියන්දේ, කසුවෝ ඉෂිගුරෝ, පාවුලෝ කොයියෝ ආදීන්ගේද අලුතින්ම නිකුත් වූ කෘති දැකිය හැකි විය. මෙනිසා The Big Bad Wolf වූකලී ප්‍රවර්ධනය කළ යුතු සහ මෙරට පාඨක ඇස දැල්විය යුතු පොත් ප්‍රදර්ශනයකි.

ඇත්ත වශයෙන් සෙසු ප්‍රදර්ශනවලින් රුපියල් 1500ට ගන්නා පොතක් මෙහිදී රුපියල් 530කට මිලදී ගන්නා පාඨකයකුට හැඟෙන්නේ මෙරට පොත් සංස්කෘතියක් ඇති කිරීමට කියා හෝ පාඨකයා උසස් රසවින්දනයට හුරුකරවීම කියා හෝ නවකතාවේ අභිවෘද්ධියක් ඇති කිරීමට කියා ප්‍රකාශකයින්ගේ සංගමය කරන්නේ කුමනාකාර රැවටීමක්ද කියාය. භාණ්ඩයක් ලාභයක් තබා විකිණීම ගැටලුවක් නැත. එහෙත් ඒ ලාභය භාණ්ඩයේ සැබෑ මිල මෙන් තුන්ගුණයක් වීම සදාචාරාත්මක නොවේ. වෙසෙසින් පොත් වැනි ඥානය හා රසාස්වාදනය මූලික පාරිභෝගික ද්‍රව්‍යයකට එසේ කිරීම ජාවාරමක්ය. එහෙත් අපේ ප්‍රකාශකයින් විදෙස් පොත්වල මිල වැඩිවීම ගැන කියන්නේ එසේ වන්නේ ඉහළ නැව් ගාස්තු නිසා බවය. පෙනේද නැව් ගාස්තුවල තරම!

The Big Bad Wolf පොත් ප්‍රදර්ශනය නිරුවත් කරන්නේ අපේ ‘ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක’ මුද්‍රාවක්ය. වරක් බී.එම්.අයි.සී.එච්. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹීමට පුරෝගාමී වූ එක්ස්පෝග්‍රැෆික් ප්‍රකාශක රංජිත් සමරනායක සමඟ මා කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු දුන් පිළිතුරක් විය. ඔහු කීවේ “අපි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන ආකෘතියක් මෙහේට හඳුන්වා දුන්නත් අපේ ප්‍රකාශකයින් එවැනි මට්ටමකින් එවැන්නක් පවත්වාගන්න තරම් සංස්කෘතික වෙලා නැහැ” කියාය. ඔහු කී දේහි සැබෑව මට පසක් වූයේ The Big Bad Wolf ප්‍රදර්ශනයේ පොත් සහ ඒවායේ මිල ගණන් විමසූ විටය. මෙනිසා මේ ප්‍රදර්ශනය ප්‍රකාශකයන්ගේ සංගමයට වෙනස් වීමට මඟ කියාදෙන්නකි.

සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනයේදී විශාල පොත් ප්‍රමාණයක් අලෙවි වන බව සැබෑය. එය හොඳය - ප්‍රකාශකයන්ටත් හොඳය. ලේඛකයන්ටත් හොඳය. එහෙත් ඒ තුළින් රටේ පොත් සංස්කෘතියක් ඇති කිරීමට නම් ඔවුනට හැකි වී නැත. පොත් සංස්කෘතියක් ඇති කිරීම තනිකර ප්‍රකාශකයන්ට කළ හැකිද නොවේ. එය රටේ ජනයාගේ කියවීම හා රසඥතාවද පිළිබඳ ප්‍රශ්නයකි. එහෙත් ප්‍රකාශකයනට පොත යනු පාරිභෝගික භාණ්ඩයක්ම පමණක් නොවන බව, පොත් විකිණීම හා පොත් මිලදී ගැනීම වෙනස් පාරිභෝගික තලයක සිදු වන්නක් බව ඔවුනට පාඨකයනට ආදර්ශයෙන් පෙන්විය හැකිය. එහෙත් එවැන්නක් ඔවුනතින් සිදු වේද? වරක් බී.එම්.අයි.සී.එච්. ප්‍රදර්ශනයේදී පොතක් සොරකම් කළා යැයි කියා කිසියම් වැදගත් පෙනුමැති කාන්තාවක් අදාළ පොත් කුටියේ හිමිකරුවා විසින් කුදලාගෙන ගොස් ප්‍රකාශක සංගමයේ නිලධරයන් වෙත පමුනුවනු ලබනු මට දැකගත හැකි විය. එහිදී මා දුටුවේ ප්‍රකාශකයන්ගේ සංගමයේ නිලධරයන් පවා අර කාන්තාව මහා අපරාදකාරියක ගණයට දමා කටයුතු කරනුය. එම කාන්තාව එහිදී හඬමින් කියා සිටියේ තමා අන් කුටියකින් ගත් අදාළ පොතේ රිසිට්පත නැති වී ඇති බවය. එහෙත් සංගමයේ වැදගතුන් ඈ කී දේ පිළිගත්තේ නැත. අනෙක් අතට ඇය පොත සොරකම් කළාම කියමු. කෙනෙකුට - පාඨකයකුට - එසේ දඬුවම් දීම සුදුසුද? (නැවත දඬුවම් ලාභිනිය මේ ප්‍රදර්ශනයට පොත් ගැනීමට ඒද?) මේ නම් රංජිත් සමරනායක මහතා කියූ ප්‍රකාශකයන් සංස්කෘතික නොවීමේ ගැටලුවටය.

පොත් කර්මාන්තය වූකලී දිනෙන් දින සංවර්ධනය වන ක්ෂේත්‍රයකි. එය විද්‍යාව හා තාක්ෂණය සමඟද වෙනස් වේ. එහෙත් අප කර්මාන්තයක් වශයෙන් සිටිනුයේ එය පටන්ගත් තැනමය. අපේ පොත්හල් දෙසම බලමු. පොත් කෙතරම් අලෙවි වුවත් අපේ පොත්හල් යැයි කිව හැකි තැන් ඇත්තේ දෙක තුනකි. පොත්හල යනු පොතක් අලෙවි කරන තැනක් පමණක් නොවේ, පොත කියවිය හැකිද තැනකි. මා දන්නා ලෙස අලෙවිසැලෙන් එහා ගොස් පොතක් පුස්තකාලයක් මෙන් කියවිය හැකි පරිසරයක් ඇත්තේ පැලවත්ත එක්ස්පෝග්‍රැෆික් පොත්හලේ පමණි.

කෙසේ වෙතත් The Big Bad Wolf ප්‍රදර්ශනය කර්මාන්තයක් වශයෙන් පොත යා යුතු තැනද අපට පෙන්වා දෙයි. ජාත්‍යන්තර ප්‍රකාශන සමාගමකින් පළ වූ කෘතියක පිටු දෙස බලන්න. එහි පිටකවරය හා නිමාව දෙස බලන්න. ඒ සියල්ල සාහිත්යික වශයෙන් අනර්ඝය. The Big Bad Wolf ප්‍රදර්ශනයේ පොත්වල ඒ තත්ත්වය කෙබඳුදැයි කිවහොත් එම පිටු ඇසට සුවදායීය. පිටකවරය භාව ප්‍රකෝප නොකරයි. කෘතියේ නිමාව පවා කෘතියේ ඉලක්කගත පාඨකයා අනුව වේ. නිදසුනකට අපරාද කතා ශානරයේ පොත් වෙනස්ම වර්ණ රටාවලින්, එම්බෝස් කළ පිටකවර හා පිටුවලින් සෑදී තිබෙනු පෙනේ. වීර කාව්‍ය නවකතා නුහුරු වර්ණ රටාවකින් හා සිතුවමකින් යුත් පිටකවරයකින් සෑදී තිබේ. හැරි පොටර් වැනි ෆැන්ටසි යොවුන් කතා තවත් ආකාරයක් ගෙන තිබේ. ඒවායේ පිටකවරයත් ෆැන්ටසියකි. මෙනිසා එම පොත් පිටතින් බැලූ මතින් පාඨකයාට හඳුනාගත හැකිය. එහෙත් අපේ පොත් කෙබඳුදැයි දැනගත හැක්කේ පොත මිලදී ගෙන ගෙදර ගොස් පිටු කීපයක් කියවන විටය. ඇතැම් විට අපේ ස්වර්ණ පුස්තක සම්මාන ලබන නවකතාවක් වුව පෙනුමින් අපරාද ප්‍රබන්ධයක් හෝ යොවුන් කතාවක් බඳුය.

The Big Bad Wolf ප්‍රදර්ශනයේ තිබූ ඇතැම් පොත් සම්මත ඍජුකෝණාස්‍රාකාර හැඩය නොවේ, ත්‍රිකෝණාකාර හෝ වෘත්තාකාර හැඩයය. ඇතැම් පොතක කවරය විවෘත කර පිටු පෙරළද්දී ඇතුල් වන්නේ පොතකට නොවේ, මාලිගාවකටය. එය ත්‍රිමාණ මාලිගයකි. ඒ ඒ පිටුවේ එන කතාව පිටුව තුළ ත්‍රිමාණව මතු කරනු ලැබේ. එය ඉලක්ක පාඨකයා අනුව පොතෙහි කළ සංවර්ධනයකි. ඇතැම් පොත්වල පිටු කඩදාසි පිටු නොව ඝන කාඩ්බෝඩ් පිටුය. තවත් පොතක් බෙලෙක් තහඩුවකින් සෑදී ඇත.

විදෙස් පොතක පිටුවල වර්ණයද අපූරුය. ඇතැම් පොතක පිටු සුදු පාටය. ඇතැම් පොතක පිටු රත්‍රන් පාට (Gold Colour) ය. නැත්නම් ළා කහ පාටය. නැත්නම් ළා කොළ පාටය. ළා නිල් පාටය. එහෙත් ඒ කවර වර්ණයක්වත් කාලය සමඟ වියැකෙන්නේ නැත. සුදු කඩදාසියෙන් යුත් පිටු සැබැවින්ම කිවහොත් ඇසට හානිකරය. වැඩි වේලාවක් කියවද්දී ඉන් ඇස් දැවිල්ල ගනී. ඇසට කඳුළු එයි. ජාත්‍යන්තර ප්‍රකාශකයන් මේ ගැටලුවෙන් මිදෙන්නේ පිටු සුදු වර්ණයෙන් බැහැර කරලීමෙනි - බොර පාට සුදු, අළු පාට සුදු, කහ පාට සුදු හෝ ළා කහ පාට ආදී වර්ණයෙන් පිටු වෙනස් කරවීමෙනි. (බටහිර පොතක අපේ මෙන් තද සුදු පාට පිටු කවර අවස්ථාවක හෝ තිබේද? නැත.) පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අරඹා වසර දහයකුත් කල් ඉකුත්ව ඇතත් පොතේ පිටුවවත් පාඨක ඇසට සූකර ලෙස නැංවීමට හැකි වී නැත. එහිලා ඔවුන් කළ එකම පිළියම බටහිර පොතට අනුකාරක, ලාභ කහපාට (Cream Colour) කඩදාසියෙන් යුත් පොත් හඳුන්වා දීමය. එහෙත් ඒ කහපාට පිටු මසෙන්, දෙකෙන් වර්ණ දියවී, පුස් සැදී, තිත් වැටිණි.

ජාත්‍යන්තරයේ පොතක නිමාව එය ඉලක්ක පාඨකයා අනුව කළ වෙනසකි. වෙසෙසින් ළමයින් ලිවීමට හුරු කරවනු වස් ආකර්ෂණීය දින සටහන් පොත් ලෙස නිම වූ පොත්ද The Big Bad Wolf ප්‍රදර්ශනයේ දැකිය හැකිය. සාමාන්‍යයෙන් අප දිනපොත් ලෙස දන්නේ ‘ඈන් ෆ්‍රෑන්ක් දිනපොත’ (Diary of Anne Frank) වැනි ඒවාය. එහෙත් මෙහි දිනපොත් අත්අකුරෙන්ද, රූපසටහන්වලින්ද යුතුය. එවැන්නක් ළමා පාඨකයා දිනපොත් තැබීමට පෙළඹවීම ස්වභාවිකය. ඉලෙක්ට්‍රොනික මාධ්‍යය ඉදිරියට යන පරිසරයක පොතට පාඨකයා ආකර්ෂණය කරගැනීමට මෙවැනි විකල්ප ඉතා වැදගත් වේ.

මේ අනුව The Big Bad Wolf ප්‍රදර්ශනය වූකලී මෙරට පොත් කර්මාන්තය නව දිශාවකට යෑමට පාර පෙන්වන මාලිමාවකි. එහෙත් එය ඵලදායී වන්නේ ඒ මාලිමාව පෙන්වන මඟ ගියහොත්ය.

[රවින්ද්‍ර විජේවර්ධන]

මාතෘකා