හිත හදන හිත කඩන වචන

 ඡායාරූපය:

හිත හදන හිත කඩන වචන

අතීතයේ සිට විවිධ අවස්ථා, සිද්ධි පිළිබඳව කතා කිරීමේදී, සමාජය දැනුවත් කිරීමේදී විවිධ ආබාධ සහිත තත්ත්වයන් ඊට ඈඳා ගනු ඔබ අසා ඇත. ජාතක කතා, උපමා කතා වගේම ජනප්‍රවාදවලින් පැමිණෙන ප්‍රස්ථා පිරුළුවල පවා ඒ තත්ත්වයන් දැකිය හැකි ය. විවිධ කරුණු පැහැදිලි කිරීමේදී ඒ ඒ ආබාධ තත්ත්වයන් උපමා, උදාහරණ වශයෙන් දක්වනු අසන්නට ලැබේ.

නිදසුන් වශයෙන් අන්ධයා කිරිකෑ හැටි, අන්ධයා අලියාගේ හැඩරුව දැක්වූ හැටි ආදිය දැක්විය හැකිය. පූජකයින්, දේශකයින් සහ වර්තමානයේ බොහෝ දේශපාලකයින් තම කතාව, මාතෘකාව වැඩිදුර පැහැදිලි කරගනු වස් එවන් වැකි භාවිත කරනු නිතර අසන්නට ලැබුණත් එය නූතන සමාජයට කොතරම් උචිතදැයි සිතා බැලිය යුතු කාරණයකි. අද වන විට විවිධ ආබාධ සහිත පුද්ගලයන් සමාජය හා උරෙන් උර ගැටී ක්‍රියාශීලීව සිටින අතර එවන් වදනක් භාවිත කරන විට ඔවුන්ට දැනෙන සිත් වේදනාව පිළිබඳව කල්පනා කළ යුතු නොවේද? එවන් ආබාධ සහිත අයෙකු සිටින පවුලේ කෙනෙකු එවිට සිටී නම් ඔහුට හෝ ඇයට ද යම් සිත් පීඩාවක් ඇති වීම ස්වභාවිකය. එබැවින් ඔබ මෙතෙක් කල් එවන් වදන් සිතා හෝ නොසිතා භාවිත කළා නම් ඉන් හැකිතාක් මිදී ඊට උචිත වචන භාවිතයට හුරු වන්න. යම් අනතුරක්, වැරදීමක් තුළින් අද සමාජයේ ඕනෑම කෙනෙකු සුලු මොහොතක් තුළ ආබාධිත විය හැකි ය. ඔබට හෝ ඔබ පවුලේ කෙනෙකුට, හිතවතෙකුට එවන් දෙයක් වූ විට ඔබට ද එවන් අපහාස වදන් ඇසිය හැකිද? ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් ඒ බව විමසා බලන්න.

අන්ධයා, කණා, එකැස්කණා, පොට්ටයා, අබ්බගාතයා, අබාධිතයා, අංගවිකල, කොටා, කොරා, අතකොට, බෙල්ලඇදයා, බෙල්ලකොට, කුදා, මන්දබුද්ධිකයා / මන්දබුද්ධික, බීරා, මොංගලයා, ගොලුවා යනාදී අපහාසාත්මක වදන් වෙනුවට ආබාධ සහිත පුද්ගලයින් , ශ්‍රව්‍යාබාධ සහිත පුද්ගලයින්, දෘශ්‍යාබාධ සහිත පුද්ගලයින්, ශාරිරික ආබාධ සහිත පුද්ගලයින්, මානසික ආබාධ සහිත පුද්ගලයින්, බුද්ධි ඌනතා සහිත පුද්ගලයින්, රෝද පුටු භාවිතා කරන්න්නන්, බහු ආබාධ සහිත පුද්ගලයන්, සුදු සැරයටි භාවිතා කරන්නන් වශයෙන් ඔබට වචන භාවිත කළ හැකි නම් කොතරම් වටිනවාද? එමෙන්ම අද වන විට ආබාධිත යන වදනට වඩා භාවිත වන්නේ සහ උචිත වන්නේ වෙනස් වූ හැකියා සහිත පුද්ගලයන් යන්න ය.

උපතින් හෝ වෙනත් අනතුරකින් යම් ආබාධ සහිත තත්ත්වයට පත් කිසිදු පුද්ගලයෙකු අවමානයට ලක් කිරීමද සමාජයට නොගැළපෙන අතර විශ්වවිද්‍යාල තුළ දමනා නාම වලදි හෝ එසේ අවමානයට ලක් කිරීමක් කිසිසේත් සිදු නොවේ. ප්‍රසිද්ධ දේශන ආදී අවස්ථාවන්හීදි මෙවන් වචන භාවිතය තුළින් එකී අහිතකර වචන සමාජ ගතවනවා විනා සුභදායී වෙනසක් සිදු නොවේ. බුදුන්වහන්සේ අන්ධ යන්න විග්‍රහ කර ඇත්තේ අනුවණ, අඥාන යන අර්ථයෙනි. නමුත් අද ඇතැම් දේශකවරුන් සහ හිමිවරුන් එය වරදවා අර්ථ කථනය කරන අතර එය දෘෂ්‍යාබාධිත යන අර්ථයෙන් විග්‍රහ කරනු අසන්නට ලැබේ. එමෙන්ම යම් ආබාධිත තත්ත්වයකින් පසුවන්නට පවුකාරයන් කරුමක්කාරයන් කියනා මිනිසුන් ද නැතුවා නොවේ. ගෝලීයකරනය වූ ලෝකයක, එසේත් නැතිනම් විශ්ව ගම්මානයක් තුළ වූ තත්ත්වය මෙයයි.

විශේෂයෙන් මෙම තත්ත්වය වෙනස් කළ හැක්කේද, හිතකර වචන සමාජ ගත කළ හැක්කේ ද ප්‍රසිද්ධ දේශකයින්, දේශපාලකයින්ට වගේම විශේෂ වශයෙන් පූජකවරුන්න්ට ය. මෑතකදී ගුවන්විදුලියෙන් දේශිත බණ කිහිපයකදීම විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් පිළිබඳව සුබවාදී ආකල්ප ගොඩනැගීමට වෙරදරනු අසන්නට ලැබුණි. එය ඉතාමත් හොඳ තත්ත්වයකි. ඇතැම් ආබාධ සහිත පුද්ගලයෝ් තම ආබාධ සහිත තත්වය මත කාන්සාවට, ඉචඡාභංගත්වයට වගේම ආතතියට පත්ව සිටිති. එවන් පුද්ගලයෙකුට ඔබ නොහිතා හෝ යමක් කීවට දැඩි අසහනකාරී තත්ත්වයකට පත් වීමට පුලුවන.

එසේම දියුණු වෙමින් පවතින රටක් වුව ද 'ගොළුමඩම හන්දිය' යන්න වෙනස් කර ගැනීමට මෙතෙක් නොහැකි විය. එය ද වෙනස් කළ යුතු කාලයයි. ඊට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු ය. ඒ වගේම සිංහල අවුරුදු උත්සවයන්හීදී පවත්වන කණා මුට්ටිය බිඳීම, අන්ධයාට කිරි කැවීම ආදී ක්‍රීඩා නාම ද වෙනස් කළ යුතු නොවේද? විශේෂයෙන් කනා මුට්ටියට බිදීම යන ක්‍රීඩාව මෑතකදී 'වාසනා මුට්ටියට පහරදීම' වශයෙන් බොහෝ තැන්වල වෙනස් කර තිබෙනු දක්නට ලැබුණු අතර එය සුභවාදී තත්ත්වයකි.

එමෙන්ම මෙහිදී මාධ්‍ය සතුව ද විශාල වගකීමක් පවතින අතර ඇතැම් පුද්ගලයන් සහ දේශපාලකයින් ආබාධ සහිත පුද්ගලයන්ට අපහාස වන ලෙස යමක් ප්‍රකාශ කරයිද? එහි වූ වරද පෙන්වීම ඔබ සතු යුතුකමක් නොවේද? විශේෂයෙන්ම පෙර කී ලෙස ගරුතර ස්වාමීන්වහන්සේලා ඇතුළු පූජ්‍ය පක්ෂයට මේ සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි ය. ආබාධ සහිත වූවන් උදෙසා භාවිත වදන් මෙන්ම ඔවුන් පිළිබඳව ආකල්ප සංවර්ධනයක් ද සමාජයේ මේ විශේෂ සාධකවලට කළ හැකි ශක්‍යතාවක් පවතින බව අපගේ විශ්වාසයයි.

මෙකී කාරණය පිළිබඳව මයි රයිට් (my rite) ආයතනය මගින් පසුගිය 2016 වර්ශයේදී මාධ්‍ය හමුවක් පවත්වා දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පවත්වන ලදි. නැවත සිහි කැදවීමක් ලෙස මෙය සඳහන් කරන අතර ඔබ ඉහත කී අපහාසාත්මක වදන් වෙනුවට හිතකර වදන් භාවිතය පිළිබඳව සිතා බලමින් ඔබ ද මේ සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකරුවෙකු වන්න. එය විශේෂ හැකියා සහිත පුද්ගලයන් වෙනුවෙන් ඔබ කරනා මහඟු සේවයක් වනු ඇත.

[සත්‍යා නිර්මාණි]

මාතෘකා