සල්ලඩෙන් හැලී ඉතිරි වුණ ජීවිතේ

 ඡායාරූපය:

සල්ලඩෙන් හැලී ඉතිරි වුණ ජීවිතේ

ගුවන් විදුලියේ පුහුණු කාලය අවසන් වීමෙන් පසුව මගේ ස්ථිර පත්වීම ලැබුණේ මහවැලි ප්‍රජා ගුවන් විදුලියට. ටික කාලයක් පේරාදෙණිය සංඝාරාමයේ පිහිටි මහවැලි ප්‍රජා ගුවන් විදුලියේ වැඩ කළාට පස්සේ එය ස්ථානගත කළා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයට යාබදව පිහිටි පැරණි ගොඩනැගිල්ලක. අපේ වෘත්තීය දඩබිම වුණේ මහවැලි H කලාපය පදනම් කරගත් අනුරාධපුර දිස්ත්‍රික්කය. ඊට අමතරව පොළොන්නරුව, කුරුණෑගල, මාතලේ යන දිස්ත්‍රික්කවලත් කොටස් කිහිපයක් අපේ වැඩසටහන්වල පදනම වුණා. ඒ 1988 අවුරුද්ද.

1988 / 89 තරුණයෙක් ලෙස යළි සිහිපත් කරන්න අකමැතිම වකවානුවක්. තරුණයෙකු වීම ශාපයක් ලෙස සිතන්නට සිදුවූ ඒ වකවානුවේ මරණය අතින් ගෙන අවදි වූ අපි යළි නින්දට යන්නේත් මරණය තුරුළු කරගෙනමයි. සඳුදා පාන්දර 5ට මහනුවරින් අනුරාධපුරය බලා යන බස්රියෙන් වැඩට ගිහින් සිකුරාදා හෝ සෙනසුරාදා ආපසු නුවර එනවා. දවස් 5ක් ජීවත් වුණේ චමරියේ. ගිනි කාස්ටකය, නියඟ, වඳුරු වසංගත, දුප්පත්කම, විරැකියාව අඩු නැතුව මේ ප්‍රදේශ මතින් දෝරේ ගැලුවේ කලාවැව වාන් දානවා වගේ. අක්කර දෙකක මඩ ඉඩමත්, අක්කර බාගයක ගොඩ ඉඩමත් සන්තකේට තියන් පදිංචි වුණ අම්මලා තාත්තලා පොළොවත් එක්ක හැප්පෙද්දි මහවැලි කලාපයේ තරුණ ජීවිතවල අනාගතය වැසී තිබුණේ අපහැදිලි දුමාරයකින්. ඇල කණ්ඩියේ, වැව් ඉවුරේ, කඩමංඩියේ එකතු වුණ තරුණයෝ තමන්ගේ උපකල්පනීය අනාගතය වෙත යා හැකි විකල්ප මාවත් හෙව්වා. “කොළඹට කිරි - අපිට කැකිරි” නුවර කලාවියට අපූරුවට ගැලපුණා.

මේ තරුණයන් එක්ක අපිට තිබුණේ සහෝදර බැඳීමක්. දේශපාලනිකවත්, සමාජයීයවත් අප අතර තිබුණේ සමානකමක්. තැනින් තැන අපි ඔවුන් සමඟ දේශපාලනය කළා. රෑට නන්නාඳුනන තුවක්කුකරුවෝ දඩයම් හොයාගෙන ගම් වැදුණා. තරුණයෝ තමන්ගේ අනාගතය හොයාගෙන කැළෑ වැදුණා. දේශපාලන අන්තේවාසිකයෝ දඩබල්ලන්ට දඩ මං කියා දුන්නා. තැනින් තැන ටයර් පිච්චුණා තරුණ සඳ එළිය යට. වැව් තාවුලු, ඇල දෑල, මංමාවත් දෙපස ඇවිලෙන මිනී කනතු බවට පෙරලුණා. කම්පාව, වේදනාව, බිය, චකිතය අපේ ජීවිත වෙලාගත්තා. ඒත් අපි ගුවන්විදුලි වැඩසටහන් කරන්න ගම්වලට ගියා. සමහර අම්මලා අපේ හිස අතගාලා කිව්වේ පරිස්සමෙන් ඉන්න කියලා. ඔවුන්ගේ ඇස්වල තිබුණේ අනියත බියක්. සමහර අම්මලා අතුරුදන් වු තමන්ගේ දරුවන් සොයමින් තැනින් තැන ඇවිද ගියේ පටාචාරවන් සිහි කරමින්. රජයේ සෑම මාධ්‍ය ආයතනයකටම දේශපාලන තර්ජනයක් තිබුණා. ඒත් ප්‍රජා ගුවන් විදුලියට එහෙම තර්ජනයක් තිබ්බේ නෑ. හැම පාර්ශවයක්ම දැනගෙන හිටියා ප්‍රජා ගුවන් විදුලියේ දේශපාලනය ගැට ගැහිලා තිබුණේ ප්‍රජාව එක්ක නැත්නම් ජනතාව එක්ක බව. අපි කළේ ජනතාවගේ ජීවිත වඩාත් ඉහළට ඔසවා තබන්නට ගුවන් විදුලි මාධ්‍යය භාවිතා කිරීම. ඔවුන් ඒ ගුවන් විදුලිය දැක්කේ ඔවුන්ගේ දෙයක් හැටියට. ඔවුන්ගේ ජීවිතයේ කොටසක් හැටියට. මේ නිසාම ප්‍රජා ගුවන් විදුලියට ඒ කාලයේ පොදුවේ තිබුණු දේශපාලන තර්ජනයන් බලපෑවේ නෑ.

කෙසේ වෙතත් සමහර සති අන්තවල අපි මහඉලුප්පල්ලම චමරියටම සින්න වුණා. පාරවල් අවහිර වෙලා. ඇඳිරි නීතිය නිළ හා නොනිළ වශයෙන් පනවලා. අපි හතර පස්දෙනෙක් චමරියට වෙලා ගත කළ රාත්‍රීන් තිබුණා. රාත්‍රියේ ආහාර සොයා එළිබහින අප පිටුපස මරණය බර අඩි තියමින් පැමිණෙනු ඇතැයි අපි සිතුවා. මධුසැල් වැසී තිබෙන දිනයන්වල මහඉලුප්පල්ලම වැව් තාවුල්ලේ පෙරුණ මධු මිහිර අපේ භීතිය තාවකාලිකව තුරන් කළා. නමුත් සිත්වල සැම වෙලේම සැරිසැරුවේ වේදනාවක්. සමහර තැනෙක අපි දන්න කියන තරුණයෝ අතුරුදන් වී තිබුණා. සමහර හන්දියක අපි දන්න අපිත් එක්ක ප්ලේන්ටියක් බී කතාබහ කළ තරුණයෙකුගේ විකෘති කළ මළ සිරුරක් මුණගැසුණා. මේ සියල්ල අපට එක්කලේ කෝපයක් වගේම ඉසිලිය නොහැකි වේදනාවක්. ඇයි මේ තරුණයින් මේ විදියට තමන්ගේ ජීවිතයට සාධාරණය ඉල්ලා නැගී සිටියේ. ඒකට ඓතිහාසිකව හේතු වුණ සමාජ දේශපාලන ආර්ථික හේතූන් මොනවාද කියා කවුරුත් සොයා බැලුවේ නෑ. එහෙම හිතලා කවුරුත් ඒකට උත්තර හෙව්වේත් නෑ.

එසමයේදි මිනිසුන් දේශීය මාධ්‍ය ප්‍රවෘත්ති බැහැර කළේ අළුයම ඉවත ලු කෙළ පිඬක් වගේ. මිනිස්සු දැනගෙන හිටියා අත්දැකීමෙන් ඒවායෙන් නිවැරදි ප්‍රවෘත්ති දැනගත නොහැකියි කියලා. ඒ නිසා ඔවුන් වෙනත් තොරතුරු මූලාශ්‍ර සොයා ගියා. ඒ නිසාම තමයි පිලිපීනයේ සිට ක්‍රියාත්මක වූ වෙරිටාස් ගුවන් විදුලියට ශ්‍රී ලාංකිකයෝ කන් දෙන්න පටන් ගත්තේ. වෙරිටාස් ගුවන් විදුලිය ශ්‍රී ලංකාවේදී ඇසිය හැකි වුණේ කෙටි තරංග (Short Waves) ඔස්සේ. සාමාන්‍යයෙන් කෙටි තරංග ඔස්සේ කන් දෙන්න අපහසුයි. ඒකට හේතුව වායු ගෝලයේ ඇතිවන වෙනස් කම් අනුව හඬ උස්පහත් වීමත් සංඛ්‍යාතය වෙනස් වීමත් යන කාරණා නිසා. නමුත් මිනිස්සු ඒ තරම් අමාරුවෙන් ගුවන් විදුලි යන්ත්‍රයට කණ තියාගෙන වෙරිටාස් ගුවන් විදුලිය ඇහුවා. ඇයි ඒ ? ඇත්ත දැනගන්න.

අපි ඇත්ත කියමු. ප්‍රශ්න දිහා සෑම පැත්තකින්ම බලමු. එතකොට අසන්නාට සල්ලි දීලා ගුවන් විදුලි අහන්න කියන්න අවශ්‍ය වෙන්නේ නෑ. සල්ලි නෙමේ මිනිස්සුන්ට අවශ්‍ය ඇත්ත තොරතුරු.

[කපිල එම්. ගමගේ]

මාතෘකා