රසාස්වාදය ගැන හැඟීමක් නැති තුන්වැනි පරම්පරාව ගැන කනගාටුයි... | ඇස පාදන රැස


රසාස්වාදය ගැන හැඟීමක් නැති තුන්වැනි පරම්පරාව ගැන කනගාටුයි...

 ඡායාරූපය:

රසාස්වාදය ගැන හැඟීමක් නැති තුන්වැනි පරම්පරාව ගැන කනගාටුයි...

1960 දශකයේ ද ලවර්ස් සංගීත කණ්ඩායමේ නායක පූර්ණ කුමාර පතිරාජ

ඔබ කොහොම හඳුන්වනවටද කැමති?

සංගීත ශිල්පියෙක් විදියට හඳුන්වනවට මම කැමතියි.

සංගීත ආභාසය ලැබෙන්නේ කොහෙන්ද?

මට සහජයෙන්ම සංගීත හැකියාවක් තිබුණා. කුඩා කාලෙ ඉඳලම මම මේ ක්ෂේත්‍රයට ලැදියි. මගේ අම්මා තමයි සංගීතයට යොමුකළේ. මගේ අයියලා දෙන්නත් ගීත කිවුවා. හැමෝටම ගීත ලියලා දුන්නේ අම්මා.

අම්මා ගී රචිකාවක්ද ඒ කියන්නේ?

ඇත්තෙන්ම ඔව්. ඇය සුනන්දා පතිරාජ. රේගු නිලධාරිනියක්. ඒත් සිංහල සංගීතය ගැන ලොකු අවබෝධයක් තිබුණා. ඇය ලියූ " දොයියන් සිඟිති පුතා " කියන ගීතයට ජපානයෙන් රන් පදක්කමක් පවා හිමිවුණා. ඇය ගීත තිහක් පමණ නිර්මාණය කරලා තියෙනවා.

පාසල් ගියේ කොහේද? සංගීතයට මොන වගේ උනන්දුවක්ද තිබුණේ?

මම කොළඹ ආනන්ද විද්‍යාලයට ගියේ. උසස්පෙළ කරන තුරුම මට සංගීතය ගැන කිසිම උනන්දුවක් තිබුණේ නැහැ. මම ඒ කාලේ ලජ්ජාශීලී චරිතයක්.

එතකොට සංගීතයට අවතීර්ණ වෙන්නේ මොන කාලෙද?

1969 දී "ද ලවර්ස්" කියන සංගීත කණ්ඩායම පටන් ගත්තා. ඒ උසස් පෙළ අවසන් කිරීමත් එක්ක. මට මතක විදියට ඒ වෙද්දි මට අවුරුදු 21යි. ඒ කාලේ උත්සවවලට යනවා. සංගීත සංදර්ශනවලට යනවා.

සංගීතය වෘත්තියක් විදියට පටන්ගැනීමත් ඒ සමඟම සිදුවුණාද?

1971 වන විට අපේ සංගීත කණ්ඩායමට විවිධ පාර්ශ්වවලින් ආරාධනා ලැබුණා. තරුණ ක්‍රිස්තියානි සංගමයේ ස්ථිර සංගීත කණ්ඩායම විදියට අපිට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණා. ඒත් මම රැකියාවක් කළා. කටුනායක සයිනෝටෙක්ස් හි නිෂ්පාදන කළමනාකරු විදියට වැඩ කළා. ඒ නිසා ආර්ථිකය වෙනුවෙන් දේවල් කළේ නැහැ.

දැනට සංගීත කණ්ඩායමට වෙලා තියෙන්නේ මොකක්ද?

දැන් සංගීත කණ්ඩායම සී සී කඩ ගිහින් තියෙන්නේ. සංගීත කණ්ඩායමේ නායකයා මම. දැනට ඉන්නේ මමයි, අනුර සමරවීරයි, බන්දුල සුරවීරයි පමණයි. කලින් හිටියේ චාරක කුමාර, අනුර කුමාර, නිමල් සමරවික්‍රම සහ ගාමිණී පෙරේරා. හැටේ හැත්තෑවේ දශකයෙන් පස්සේ කණ්ඩායම් සංගීතයට තියෙන තැන නැතිවුණා. ඉන්පසු කණ්ඩායම් සංගීතය මිනිසුන් අතර රැඳුණේ නැහැ.

සම්මාන ලැබිලා නැද්ද?

ලැබුණා. ඒ සම්මානය මට විශේෂයි. මොකද අමරදේව, වික්ටර් රත්නායක වැනි ප්‍රවීණයන් සමඟ මගේ ගීතයට එදා සම ස්ථානය ලැබුණා. ඒ කාලෙ සංස්කෘතික අමාත්‍යංශයෙන් ජපානයේ යමහා පදනමට සිංදු තේරුවා. ගීත 21ක් තෝරාගෙන තිබුණා. ඒ ගීත අතරින් ගීත 06ක් තෝරගත්තා. ඒ ගීත 06 අතරෙ මගේ ගීතයත් තිබුණා. රන් සම්මානයක් ලැබුණා. ඒ සම්මානය මට වැඩිපුර වටින්නේ ප්‍රවීණයන් එක්ක මට ඒ සම්මානය ලැබුණු එක.

සම ස්ථාන ලැබුණු අනෙක් ගීත මොනවද?

අමරදේව ශූරීන්ගේ නීල කොබෙයි, මින්දද හීසර කියන ගීත දෙක, වික්ටර් රත්නායකගේ ආදරයේ උල්පත වූ අම්මා, සිරිමා බෝ වැලි මලුවේ කියන ගීත, අමරා රණතුංගගේ දෝන කතිරිනා ගීතය සහ මගේ දොයියන් සිඟිති පුතා කියන ගීතය. ඒ ගීතය මම මුලින් ගායනා කළේ සිනමා නළු මාක්ස් සමරනායකගේ දුව ශිරානි සමරනායක සමඟ. ඒත් දැනට මම ඒ ගීතය ගායනා කරන්නේ නවෝද්‍යා සමරවීර සමඟ.

ඒ කාලේ හිටපු සමකාලීන සංගීත කණ්ඩායම් මොනවද?

මූන්ස්ටෝන්ස්, ත්‍රී සිස්ටර්ස්, ලා සිලෝනියන්ස්, ලා බම්බාස්

ගිය අවුරුද්දේ BMICH එකේ තිබුණු ප්‍රසංගය ගැන කියමු?

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ අධ්‍යක්ෂිකා චිත්‍රා කුමාරි කලුබෝවිල මහත්මියට අවශ්‍යතාවක් තිබුණා අපේ යුගයේ තිබුණු සියලුම ජනප්‍රිය කණ්ඩායම් එකතු කරලා ප්‍රසංගයක් පවත්වන්න. ගිය අවුරුද්දේ ඒ සියලුම කණ්ඩායම් එකතුකරලා ප්‍රසංගයක් කළා. මේ වෙද්දි ඒ ප්‍රසංගයම ගුවන් විදුලි සංස්ථාවේ අනුග්‍රහයෙන් නෙලුම් පොකුණට ගේන්න දැනට කටයුතු යොදලා තියෙනවා.

සංගීතයෙන් මේ වෙද්දි ඔබ ඈත්වෙන්න හේතුව කුමක්ද?

අපි රටවල් කිහිපයක සංචාරය කළා, ප්‍රසංග පැවැත්වුවා. මම හදපු බොහෝ ගායකයන් අතෑරලා ගියා. මට ඇත්තටම එපා වුණා.

දැනට සංගීත ක්ෂේත්‍රයේ ඉන්න අය ගැන මොකද හිතෙන්නේ?

දැන් ඉන්නේ තුන්වැනි පරම්පරාව. නවකයන් පිළිබඳ මට තියෙන්නේ කණගාටුවක්. හොඳ අයත් අතරින් පතර ඉන්නවා. රසස්වාදයක් ගැන කිසිම හැඟීමක් නැහැ. ඒක සංගීතයට කරන අගෞරවයක් විදියට මට දැනෙන්නේ.

පවුලේ විස්තර මොනවද?

මගේ තාත්තා වෛද්‍යවරයෙක්. ඔහු ජයන්ත පතිරාජ, මගේ බිරිඳ රෝහිනි ඉස්සර ඉඳන්ම මගේ රසිකාවියක්. මට පුතෙක් ඉන්නවා. ඔහු ගයාන් පතිරාජ.

[නදී මාණික්කගේ]

මාතෘකා