ප්‍රොමිතියස්

 ඡායාරූපය:

ප්‍රොමිතියස්

ප්‍රොමිතියස් පිළිබඳව කතාව පදනම් කරගෙන ඊස්කිලස් විසින් ලෝක ප්‍රසිද්ධ ප්‍රොමිතියස් බන්ධනය නම් නාට්‍ය රචනා කරනු ලැබීය. ග්‍රීක යුගයේ සිට මේ දක්වාම යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින් හා පුද්ගල කණ්ඩායම් ප්‍රොමිතියස් පිළිබඳ කතාව පරමාදර්ශ කර ගනී.

ක්‍රෝනෝස් දෙවියන්ගේ කාලයෙහි මිනිස් වර්ගයා මවන ලද බව ග්‍රීක විශ්වාසයයි. මෙසේ මවන ලද මිනිසුන් අඳබාල- බුද්ධිහීන පුද්ගලයින් බව කියනු ලැබේ. ආහාර සොයා ගැනීමට හෝ වෙනත් ශිල්පයක් කිරීමට ඔවුහු නොදත් අතර ම්ලේඡ්ච අයුරින් ජීවත් වූහ. එකිනෙකා කපා කොට ගනිමින් ජීවත් වූහ. ස්ථීර නිවාස නොවූ අතර ගස් බෙනවල හෝ ගල් ගුහාවල විසූහ. සැබෑ ලෙසින්ම ක්‍රෝනෝස් දෙවියන් තමා විසින්ම මවන ලද මනුස්ස ප්‍රජාව ගැන අතිශයින්ම කණගාටුවට පත්විය.

මේ කාලයේ දී ඔහුට එරෙහිව දියත් කළ දීර්ඝ යුද්ධයකින් පසුව, ක්‍රොනොස් පාතාලයේ සිරකොට ඔහුගේ පුත් සියුස් දෙවි ලොව අගරජු බවට පත්විය. දෙවිවරුන් දෙපසට බෙදී යුද වැදුණු අතර, මෙම අරගලයේ දී සියුස්ගේ පාර්ශ්වය ගෙන ඔහුට උපකාර කරන්නට ප්‍රොමිතියස් නම් දෙවියා කටයුතු කළේය. සැබෑ ලෙසින්ම සියුස්ගේ ජයග්‍රහණයට අනුපමේය මෙහෙයක් කළ තැනැත්තා ප්‍රොමිතියස්ය. ප්‍රොමිතියස් මිහිපිට වාසියෙකු වුවද දෙවියන්ගෙන් ජනිත වූවෙකු විය. එවැනි දෙවිවරුන් ග්‍රීකයින් හඳුන්වනු ලැබූවේ ටයිටන් වරුන් වශයෙනි. ප්‍රොමිතියස්ගේ පියා වූයේ ඉයාපෙටස්ය. මව ක්ලිමීන් නම් විය. ඉයාටෙස් නම් ප්‍රොමිතියස්ගේ පියා යුරේනස් හා මහී කාන්තාවගේ පුත්‍රයෙකි.

ප්‍රොමිතියස් අනෙක් ටයිටෙන් වරුන්ට වඩා බුද්ධිමත් විය. වෙනස් විය. ඔහුට අනාගතය දකින්නට අරුම පුදුම බලයක් වීය. ප්‍රොමිතියස් නම් නාමයේ අර්ථය වන්නේත් ‘වෙන්නට ඇති දේ පෙනෙන්නා‘ යන්නයි.

අලුතින් බලය ගත් සියුස් තම පාලනය ආරම්භ කරන්නට සැලසුම් කරන ලද්දේම බිහිසුණු තීරණයකිනි. තම පියාගේ කාලයේ මවන ලද මෝඩ මනුස්ස සංහතිය මුළුමනින්ම විනාසකර නව බුද්ධිමත් පරම්පරාවක් මැවීම සියුස්ගේ අරමුණ විය. සියුස්ට පක්ෂග්‍රාහී වූ දෙවිවරු මෙම යෝජනාවට කැමති වූ අතර සියුස් පමණක් ඊට එකඟ නොවී ය.

එසේ විරුද්ධ වූ සියුස් එතෙක් බුද්ධිය නොමෙහෙයවා හුදෙක් දළ ශරීර ශක්තිය මත පමණක් විශ්වාසය කළ මිනිසාට තර්කය හා බුද්ධිය මෙහෙයවන ආකාරය ඉගැන්වීය. උපායශීලීව කටයුතු කරන ආකාරය ඉගැන්වීය. කලා ශිල්පයන් හා භාෂා ශාස්ත්‍රයන් ඉගැන්වීය. මේ සියල්ලටම වඩා ප්‍රොමිතියස් විශාල දායාදයක් මිනිස් සංහතිය වෙනුවෙන් දායාද කළේය. මෙතෙක් දෙවියන්ට පමණක් තිබූ මහා අනර්ඝ වස්තුව වූ ගින්දර සඟවාගෙනවිත් මිනිසුන් හට ලබාදුනි. මිනිසාට ගින්දර ලබා දීම මිනිස් ශිෂ්ටාචාරයේ වර්ධනීය අවධියක් දක්වා විකාශය වීමට දායක විය.

මේ පිළිබදව උරණ වූ සියුස් තමාට පාලන බලය ලබාගැනීමටත් කළ උපකාරය අමතක කර ඈත හුදකලා ගල් පර්වතයක බැඳ තැබීමට නියෝග කිළේය. මෙම දඬුවම ප්‍රකාශ කිරීමෙන් පසුවත් ප්‍රොමිතියස් අවනත නොවූ අතර දිගින් දිගටම සියුස්ට බැණ වැදුණේය. ඉන් කිපිණු සියුස් ප්‍රොමිතියස්ව බැද තිබූ ගල්පර්වතය ද අසණි සරයක් එවා මුහුදු පත්ලෙහි ගිල්වා දැමීය. මීටත් අමතරව හිරු උදාවීමත් සමග ගිජු ළිහිණියෙක් පැමිණ ප්‍රොමිතියස්ගේ අතුණුබහන් ඉවතට ඇද දමා ඔහුගේ අක්මාව ටිකින් ටික කා දැමීමට නියෝග කළේය. රාත්‍රී කාලයේ නැවතත් ඔහුගේ අක්මාව ලියලයි. පසුදින උදෑසන එළඹීමත් සමග ඔහුගේ අක්මාව කන්නට ගිජු ළිහිණියා පටන් ගනියි. මෙසේ වසර දහතුනක් පුරා ප්‍රොමිතියස් වධ බන්ධනයට මුහුණ දුන්නේය.

මේ දීර්ඝ කාලය අතරතුර සියුස් ප්‍රොමිතියස් සමග යම් එකඟතාවයක් ඇතිකර ගන්නා අතර හර්කියුලීස් නම් යෝධයාට ගිජු ළිහිණියා මරාදැමීට නියෝග කරන්නේ එම එකඟතාවය මතය. ප්‍රොමිතියස් වෙනුවට පාතාලයට යාම සදහා වෙනත් මරණාසන්න දෙවියෙකු කැමති වීම නිසා ප්‍රොමිතියස් හට නිදහස ලැබෙයි.

ප්‍රාග් ඵෙතිහාසික ග්‍රීක යුගයේදී පමණක් නොව පාලකයාට එරෙහිව යමින් ජනතා සුභ සිද්ධිය ළඟා කර දීමටත්, සමෘද්ධිය ඇති කරන්නටත් වෙහෙස වෙන්නා වූ සියල්ලෝම බලය ඇත්තවුන් විසින් සිරගත කිරීම වර්තමානයේ ද දක්නට ලැබීම අරුමයක් නොවේ. එහෙත් ප්‍රොමිතියස්ලා මිනිස් වර්ගයාට ලබාදුන් ඥානය හා ආදර්ශය අතිමහත්ය.

මාතෘකා