බයිසිකල් පදින දොස්තරලා

 ඡායාරූපය:

බයිසිකල් පදින දොස්තරලා

“ඩොක්ටර් රාජන් ගේ නංගියි දරුවයි හැප්පිලා එතනම මැරිලා මළ මිනී දෙක ඕ ඩී එකට ගෙනාවේ . එවෙලේ රාජන් තමයි ඇඩ්මිෂන් රූම් එකේ හිටියේ, ඩොක්ටර්ට හිතා ගන්න බැරි උනා. අපි ඒ වේගෙන්ම ඇක්සිඩන්ට් වෝඩ් එකට ගෙනිච්චා ඒත් දෙන්නම එතනමයි.”

A9 මාර්ගය පිළිසකර කර තිබූ ඒ කාලයේ මාර්ගයේ යන එන රියදුරන් රථ වාහන ධාවනය කරන්නේ හරියට අත්තටු ලැබුණා වගෙයි.

රාජන්ගේ නැගණිය සහ දරුවා මෝටර් බයිසිකලයේ ගමන් කරද්දී ටිපර් රථයක් විසින් යට කර දමා තිබුෙණ් රෝහල පෙනෙන මානයේ තිබුණු කහ ඉරක් අසලමයි. එපමණක් නොව දිනකට එක වරක් හෝ තුවාල වීම් නිසා ඇතුළු කරන රෝගීන්ද මසකට මරණ කීපයක්ද සිදුවේ.

අද උදේ ශල්‍යාගාරයේ සැත්කම් සිදු කරන අතර කණ වැටු‍ෙණ් මීට දිනකට උඩදී බයිසිකලය ටිපරයක හැපී මෙහි ගෙන ආ දරුවා මිය ගිය බවය. මෙවැනි මරණ නිරන්තරයෙන් සිදුවේ.

යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ විශ්‍රාමික ශල්‍යාගාර සිස්ටර්ගේ එකම පුතා යාපනයේ සිට ගෙදර එද්දී වෑන් රථයක හැපී මිය ගියේ ඔහු බයිසිකලයක ගමන් කරද්දීය.ටිපර් රථ රියදුරෙකුගේ දරුවා ඔහු පැදවූ ටිපර් රථයටම යටවී මෙහි ගෙන ආවේ, ගෙදර මිදුලේ සිට උදෑසනම එය පාරට ගැනීමේදී සෙල්ලම් කරමින් සිටි දරුවා යටවීමෙනි. ඒ නම් දෙමාපියන්ගේ නොසැලකිල්ලය.

මේ උතුරු ප්‍රදේශවල සියල්ලන්ම පාහේ පා පැදිවල ගමන් බිමන් යති. එය සාමාන්‍ය ජනයාගේ වාහනයයි. ගැහැණු පිරිමි බේදයකින් තොරව , ඇතැම් විට පිරිමින්ට වඩා ගැහැණුන් පා පැදිවලින් ගමන් බිමන් යති. එහෙත් උතුර දකුණ යාවීමත් සමගම වාහන එන්න එන්නම වැඩි වීමත් එක්කම පා පැදි වල ගමන් කරන මිනිස්සුන්ට සිදුවන අනතුරුද වැඩිවේ.

මම ද විටින් විට බයිසිකල් රැසක හිමි කම් දැරීමි. මා වැඩෙද්දී බයිසිකල් ප්‍රමාණය විශාල විය. උතුරු කොන ගිය විගස මටද ඕනෑ කළේ බයිසිකලයක් ගැනීමට ය.අනෙක් හැමෝම ලෝන් දමා කාර් ගන්න හීන මවද්දී මගේ සිහිනය වු‍ෙණ් බයිසිකලයක් ගැනීමය. ඒ එය පරිසරයට හිතකාමී එකම වාහනය වන නිසාය. පරිසරයට හානි නොකර ජීවත්වෙන්න පොඩි කාලේ ඉඳන්ම පුරුදු වී ඇති නිසා දුම් දමන ඛණිජ තෙල් බොන වාහන වලට කොහෙත්ම ආසා නැත. එමෙන්ම එය සෞඛ්‍යයටද හිත කරය. මා බයිසිකලයක් පදින බව දැනගත් ඇතැම් පොෂ් යැයි කියා ගන්නා මිතුරෝ “අපොයි ලැජ්ජා නැද්ද ඩොක්ටර් කෙනෙක් වෙලා බයිසිකල් පදින්න” යැයි කීවෝය.මම විතරක් නොවේ, තව බොහෝ වෛද්‍යවරුද විශේෂඥ මනෝ වෛද්‍යවරයා, ශල්‍ය වෛද්‍යවරයා වැනි විශේෂඥ වෛද්‍යවරු පවා බයිසිකලයෙන් රෝහලට පැමිණේ.

උතුරේදී බයිසිකලයක් පැද්දත් කොළඹදී නම් එය කරන්නම බැරි වැඩකි. එහෙදී උනත් බොහෝ වෙලාවට A9 ප්‍රධාන මාර්ගයේ ධාවනය කරන්නම නො හැකිය. කරන්නේම අතුරු පාරවල ගමන් කර අදාළ ස්ථානයට යන එකයි. එහෙම නැත්නම් මාර්ගයෙන් එපිට කුඩා බොරළු තීරුවේ ධාවනය කරන එකයි. A9 එකේ ධාවනය වන ටිපර් ලොරි සහ බස් රථ සංඛ්‍යාවයි, බස් තරඟයයි නිසා අපේ රෝහලට තව දොස්තර කෙනෙක් අඩු වෙන එකයි වෙන්නේ.

ලංකාවේ තත්වේ ඔහොම වෙද්දී වෙනත් රටවල නම් හැකි තාක් බයිසිකල් පදින්නටම උත්සහ කරන බවක් පෙනේ. යුරෝපයේ ඇතැම් රටවල ඒවාට පදික වේදිකාවේම වෙන් කළ තීරුවක් පවා තිබෙනවා. ඉතින් ඒක මහ මාර්ගයේ සෙසු වාහන වලටද පහසුවක් වගේම බයිසිකල් පදින අයටද හිතකරය. අපේ රටේ මාර්ගවල ආරක්ෂාව වැඩිනම් මෙලෙස විකල්ප මාර්ග තීරුවක් තිබේනම් මීට වඩා බයිසිකල් පදින්නට මිනිස්සු උනන්දු වෙනවා ඇති යැයි මට සිතේ.

බොහෝ වෙලාවක් ඉඳගෙන රෝගීන් බලන, ශල්‍යාගාරයේදී පැය ගණන් සිටගෙන සිටින අපට වෙරිකෝස් , අධික රුධිර පීඩනය, දියවැඩියාව මෙන්ම තරබාරුව වැනි තත්වයන්ට ඉක්මනින් ළඟා වීමේ අවදානමක් තිබෙනවා. එමෙන්ම පරිගණක ආශ්‍රිතව වැඩ කරන අයටද මේ අවධානම වැඩියෙන් තිබෙනවා. මොකද හැමෝම ජිම් එකකට හෝ ශරීර සුවතාවයට කියලා වයායාම් නොකරන නිසා. අනික අපේ රටේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේකාබෝහයිඩ්‍රේට් හෙවත් පිෂ්ඨය අධික ආහාර, ෆ්‍රයිඩ් රයිස් , කොත්තු රොටී, පරාටා වැනි පිටි තෙල් අධික කෑම වලින් කුස පුරවාගන්නයි. මේ හැම එකටම විසඳුමක් බයිසිකලයක් තුළින් ලැබෙනවා.තමන්ගේ ශරීරයේ බර බයිසිකල් පැදීම මගින් අඩු කර ගත්ත වෛද්‍යවරයෙක් ඒ ගැන සටහනක් පවා ලියා තිබුණා. දරිද්‍රතාවයෙන් බැටකන අතර පාරවල් වල යන්න එන්න බැරි තරමට වාහන අධික වන ඉන්ධන මිල ඉහළ යන මේ කාලයේ යන්න හැකි කුඩා දුරවල් හෝ බයිසිකලයෙන් යා ගත හැකි නම් කොයි තරම් අගනේදැයි මට සිතේ.

වෛද්‍ය [බෝධිනී සමරතුංග]

මාතෘකා