ඩයොනීසියානු සටහන්

 ඡායාරූපය:

ඩයොනීසියානු සටහන්

මුස්ලිම් ඈස්හෝල්ස්
සිංහල ඈස්හෝල්ස්
දෙමළ ඈස්හෝල්ස්

සිංහල අපිට දෙමළ මිනිහා එක්කත්, මුස්ලිම් මිනිහා එක්කත් ප්‍රශ්න තියෙනවා. සමහර වෙලාවට ක්‍රිස්තියානි මිනිහා එක්කත් ප්‍රශ්න තියෙනවා. අවුරුදු තිහක් ඇදුණු සන්නද්ධ අරගලය සහ වාර්ගික අර්බුදය, තවමත් අළු යට ගිනි වගේ විටින් විට මතුවෙන වාර්ගික ආතතීන්, නිදන්ගත වාර්ගික බෙදීම් ඊට උදාහරණ. එතකොට මුස්ලිම් මිනිහාට සිංහල මිනිහා එක්ක ප්‍රශ්නයක් තියෙනවා වගේම දෙමළ මිනිහා එක්කත් ප්‍රශ්න තියෙනවා. තාමත් උතුර සහ නැගෙනහිර එකම පළාතක් කරන්න දෙමළ මිනිහාට වුවමනා වුණත්, මුස්ලිම් මිනිහා ඉඩ දෙන්නෙ නැත්තේ ඒ නිසා. ක්‍රිස්තියානි මනුස්සයාට මුස්ලිම් මනුස්සයා එක්ක තියෙන ප්‍රශ්න, දෙමළ මනුස්සයාට ක්‍රිස්තියානි මනුස්සයා එක්ක තියෙන ප්‍රශ්න වගේ දේවල් මතුපිටින් පේන්නේ නැහැ. තවමත් ඒ තරම් සංකීර්ණ තත්වයකට පත් වෙලාත් නැහැ. වාර්ගික-ආගමික පදනමෙන් බලනකොට මේ වාර්ගිකත්වයන් සහ ආගමිකත්වයන් ඡේදනය වෙන ලක්ෂ්‍ය තිබීමත්, පොදුවේ බහුතරය හා සුළුතරයට ප්‍රධානතම ගැටලුව තිබීමත් ඊට හේතු විය හැකියි. හැබැයි මේ වාර්ගික-ආගමික පදනම කියන එක පැත්තකින් තියලා ආගමිකත්ව පර්යාවලෝකයකින් බැලුවොත් මේ හැමෝටම, හැමෝමත් එක්ක ගැටලු තියෙනවා.

මේ ගැටලුවල මූලය, තිරසාර විසඳුම්, තිරසාර සංහිඳියාව වගේ දේවල් ගැන එක කොලමකින් කථා කරන්න ඩයොනීසියානුවාට අදහසක් නැහැ. ඒක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒත් හැමදාමත්, හැමතැනමත්, හැබෑ ලෝකයේ වගේම සයිබර් ලෝකයේත් දකින්න තියෙන වර්ගය නැතිනම් ආගම මත පදනම්ව කරන ඒකාකෘතික කිරීම්, එහෙමත් නැතිනම් 'ස්ටීරියෝටයිපින්ග්' ගැන කතාබහකට මුල පුරන්න පුලුවන්.

මේ ස්ටීරියෝටයිප්වල සරලම ආකාර තමයි, මුස්ලිම් මිනිහා කපටියි, දෙමළ මිනිහා අවස්ථාවාදියි, සිංහල මිනිහා උද්දච්ඡයි, බර්ගර් මිනිහාගේ සෝබනේ විතරයි කියලා කියන එක. ඒක අද ඊයේ ඇතිවුණු අදහසක් නෙවෙයි, ඉංග්‍රීසිකාරයෝ රට දාලා යන්න කලින් ඉඳලම පැවත එන ඒකාකෘතීන් තමයි ඔය.

හැබැයි මේ මූලාකෘතීන් මේ වෙනකොට තවත් සංකීර්ණ වෙලා තියෙනවා. සිංහල භාෂා පුවත්පත් තුළ යම් කිසි අපරාධයක්, වැ‍රැද්දක් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී දමිළ ජාතිකයෙකු විසින් නැතිනම් මුස්ලිම් ජාතිකයෙකු විසින් මෙය සිදුකරන ලදී කියලා වාර්ගිකත්වය විශේෂණයකින් සඳහන් කිරීමත්, සිංහල පුවත්පතේ සිංහල ජාතිකයෙකු විසින් සිදුකළ වැ‍රැද්දක් හෝ අපරාධයක් සඳහා කිසිත් විශේෂණයක් නොමැති වීමත් මේ මූලාකෘතිවාදයේ එක් ආකාරයක්. 'යන එන මං නැති සිංහල අම්මාට මුස්ලිම් තරුණයින් පිරිසක් උදවු කරයි' කියලා යන හෙඩින් පවා මේ ගැටලුවටම එක් ආකාරයකින් සහාය ලබාදෙනවා. අනෙක් අතට මුස්ලිම් දොස්තරවරු හරිම කාරුණිකයි, සිංහල දොස්තරවරු උද්දච්ඡයි කීමත් ඒ ආකාරයේම ඒකාකෘතික කිරීමක්. මුස්ලිම් වෙළෙන්දන් කපටියි කියන එකත් ඒ ආකාරයේම ඒකාකෘතික කිරීමක්.

ඇත්ත තත්වය වෙන්නේ වාර්ගිකත්වයන් සහ ආගමිකත්වයන් තුළ මුල්බැස තියෙන යම් යම් සිරිත් විරිත්, සමාජ ආකල්පයන්, සාම්ප්‍රදායික හික්මවීම් සහ සරලවම පසුබිම් තලයන් නිසා මිනිහෙක්ගේ ඇතුළේ යම් යම් සුවිශේෂී ගුණාංග, ගතිගුණ සහ ආකල්ප තියෙන්න පුලුවන් කියන එක. ඒත් පොදුවේ හොඳ ගතිගුණ හෝ නරක ගතිගුණ සඳහා මේ දේවල් බලපවත්වන්නේ නැහැ. පෝයට පන්සල් යන බෞද්ධයෙක් වීම නිසා මිනිහෙක් හෝ ගැහැනියක් හොඳ වෙන්නේ නැහැයි කියන එක විශ්වාසයෙන් කියන්නන් පුලුවන්. දෙවියන් වහන්සේගේ සැමට සමාන සාමකාමී රාජ්‍යයක් ගැන විශ්වාස කළ පමණින් මුස්ලිම් ජාතිකයෙක් හෝ බර්ගර් ජාතිකයෙක් සංහිඳියාව ගැන විශ්වාස කරන්නේත් නැහැයි කියලා විශ්වාසයෙන් කියන්න පුලුවන්. රටේ සුළුතර කොටසක් වුණු නිසාම සෑම දෙමළ ජාතිකයෙක්ම හොඳ වීම හෝ නරක වීමවත්, බහුතර කොටසක් වීම නිසාම සෑම සිංහල ජාතිකයෙක්ම නරක වීම හෝ හොඳ වීමවත් වෙන්නේත් නැහැයි කියලා විශ්වාසයෙන් කියන්න පුලුවන්.

ඇයි මේ ආගමික අරුත් සහ දර්ශනයන් ගැන කථා කරන ඩයොනීසියානුවා අද දේශපාලනික අර්ථයකින් වාර්ගික-ආගමික කණ්ඩායම් අතර ගැටීම් සහ ඡේදන ලක්ෂ්‍යයන් ගැන කථා කරන්නේ? සරලයි. මිනිහෙක්ට ඈස්හෝල් වර්ගයේ එපා කරපු එකෙක් වෙන්න ආගමක් හෝ ජාතියක් අවශ්‍ය නොවෙන නිසා. ඒකට ආගම හෝ ජාතිය අදාළ නොවෙන නිසා. අපි ඈස්හෝල් වර්ගයේ මිනිස්සුන්ට කැමති නැති නිසා. එච්චරයි.

[අරමානිස් බලසේක්කු]

මාතෘකා