තරු ලකුණ

 ඡායාරූපය:

තරු ලකුණ

පසුගිය දවසක රත්න ශ්‍රී විජේසිංහ කවියාගේ හැටපස්වන ජන්ම දිනය වෙනුවෙන් ගාල්ල සංහිඳ පර්ෂදය විසින් පැවැත්වූ සාහිත්‍ය අභිනන්දන උළෙලකදී, ප්‍රවීණ ‍ගේය පද රචක මහින්ද චන්ද්‍රසේකර කළ දේශනය ප්‍රසිද්ධ දිනපතා පුවත්පතක සාහිත්‍ය අතිරේකයක පළ වී තිබුණා. එහි මැදට වන්නට තිබු එම කවියාගේ ඡායාරූපය මම මගේ දෑ අවුරුදු දියණියට පෙන්නුවා. තවමත් බහතෝරන බිම්බසාරා මෙම කවියා විසින් දැයේ දරුවනට තනා දුන් ‘පොල්පිති හරකා’ කෘතියේ අග ඇති ඔහුගේ සේයාරුව වහා හඳුනා ගත්තා. ‘රත්නෙ මාමා...’ ඇය හුරතල්ව ඇද පැද පිළිවදන් දුන්නා. සත්තකින්ම මට මේ කවියා ගැන යම් ආඩම්බරයක් දැනුණා. ඒ ඔහු දෑ අවුරුදු දරුවෙකුගේ ස්මරණයක් තුළ පවා ජීවත්වෙමින් සිටින නිසා. ඒ අනුව බැලුවොත් ඔහු ජීවමානව සිටයදීම පරම්පරා තුනක් ඔහු ලියූ කවි ගීත රසවිඳිනවා. ඉදින් එයම කවියෙකු තම දිවිය තුළ ලබන මහා ආශිර්වාදයක් නොව්ද?

සැබවින්ම රත්න ශ්‍රී යනු දුලබ මනුෂ්‍යත්වය කවිය මඟින් වරනඟන කවියෙක්. වස්සානයක් සේ අප පරම්පරාවට ජීවය කැවූ, හෙට මල් පීදෙනු සඳහා කටුපඳුරම නැමැති කටුක ජීවතය වැලඳ ගනිමින් එය සිඹ විටින් විට කවිමල් පුබුදුවන කවියා ඔහුය. අත්දැකීම මඟින් පණපෙවූ ජීවිතය දරාගනිමින් ඔහු තිරව අප දෙසට ඇඟිල්ල දිගුකොට ඇසුවේ එකම පැනයක්. ‘දුෂ්කර ය කියා හැර යා යුතුද ජීවිතය?’ අප පරම්පරාව තවමත් නිරුත්තරය. එයින් නොනවතී. ‘එකක් නොව දෝතක් ම කටු පොකුරු ගනු පිණිස ඒ එදාටත් වඩා දුෂ්කරම තැනවෙත’ කැමති නම් ජීවිතය හැරයන ලෙස ඔහු යෝජනා කරන්නේ සැබවින්ම ඔහුගේ ජීවන අත්දැකීම ප්‍රමුඛකොටගෙන බව අපි දනිමු.

පාසල් සමයේ සිටම මුණ ගැසීමට අපේක්ෂාවෙන් සිටියත්, ඔහු විසූ ලේන්බාන් වීදීයේ අනේක වාරයක් ගමන්කර ඇතත් මෙතෙක් ශාරීරිකව මුණගැසීමට නොහැකි වූ ඔහුගෙත් මගෙත් හමුවීම විනාඩි කිහිපයක දුරකතන සංවාදයකට පමණක් සීමා වුණා. ඒ මා අතිශයින් සහකම්පනයට පත්කළ ඔහුගේ කවි පැබැඳුමක් ගැන. මහින්ද චන්ද්‍රසේකර ඉතා නිවැරදිව වචන කර ඇති පරිදි, රත්න ශ්‍රී ට ඇත්තේ රට සහ දැය ගැන අපිරිමිත ස්නේහයකින් පණපෙවුණු සජීවී හදවතක්. ඔහුගේ කවි සිතෙහි පහළ වූ, මා අතිශයින් සසල කළා වූ, නූතන යශෝධරාවතයැයිද කිව හැකි ඒ කවිය මෙයයි.

‘‘දඹුලු ගලේ කළුගල උඩ නිදනවද

අනුරපුරේ ගල් කණුයට හෙවණකද

නැඹුළු වසවතුන් ආවේ කොයි සිටද

යකුලු පහර වැදුණේ හිමි සිරසටද

කොමළ අනගි සිරිපයටද පපුවටද

මහා කරැණා සීතල හද රිදෙනවද...’’

රත්න ශ්‍රීට මේ කවිය සඳහා විෂය වෙන්නේ පානම ‘කුමන’ ප්‍රදේශයේ බඹරගස්තලාවේ ඇති සැතපෙන බුදු පිළිමයට කළ විනාශයෙයි. මෙම කවිය ප්‍රේමසිරි කේමදාස පදනමේ

සිසු-සිසුවියන් විසින් සෙබස්තියන් බාක්ගේ කොන්ටා පනක්ටස් (contrapunctus ) නැමැදි සංගීත ආභාසයට ‘යශෝධරා වැලපිල්ල හෙවත් නිදන් මංකොල්ලය’ නමින් සුගායනය කරනවා. මේ අයුරින්ම ලාහුගල මහ වනයේ සහ මොනරාගල තරුලෙන්ගල වැනි ගුහා ආශ්‍රිතව ඇති බුදුපිළිමවලද කුස හාරා, බුදුරුව විනාශ කොට ඇති අයුරු සැබවින්ම හදසසල වන අත්දැකීම්. එ‍හෙත් එවැනි අත්දැකීම් සහකම්පනයට පත්වන කවිබසකින් ඉදිරිපත් කළ හැක්කේ රත්න ශ්‍රී වැනි අතිශය ළයාර්ද්‍ර මිනිසෙකුට පමණයි. ඔහු දුලබ කවිසිතක් දරන දුලබ මිනිසෙකු වන්නේ පරිධියට විසිකර දමා ඇති කුරාකුහුඹු මිනිසුන්ගේ සිතැඟි පවා විනිවිද දැකිය හැකි සහකම්පිත හදවතක් දරන නිසා. පාළුවට ගිය විසල් පුරාවිද්‍යා වැඩබිමක බිඳුණු ගල්වැටි, බෝධිඝර මැද පොළවට උදලු පහරකුදු නොලා, යවුල ද අතැර සියතින්ම බිම හාරමින්, සිය කෙසඟ අතැඟිලිවලින්, බුදු සිරුරක් මතුකර ගැනීමට, තනිවම වෙහෙසෙන මහලු මිනිසෙකු රත්න ශ්‍රී ගේ නවතම කාව්‍ය සංග්‍ර‍යෙහි එන තවත් කවියකට වස්තු විෂය වෙලා තියෙනවා.

මෙවනි අත්දැකීම් කාව්‍යමය වාගාලංකාර ලෙසින් බැහැර කළ නොහැක්කේ, පුරාවිද්‍යා නිලධාරීන් තවම පයවත් තබා නැති ඓතිහාසික උරුම ස්ථාන අදටත්, ඈත පිටිසර ගම දනව්වල මෙවැනි බොහෝ මිනිසුන්ගේ ගැමියන්ගේ අතින් සුරැකෙමින් තිබෙන නිසා. මට මතක්වන්නේ, පුරාවිද්‍යා කැණීමකට ගිය ගමනකදී හමු වූ, කල්තොට මොහොර සහ උඩවලව නිම්නයේ පුරාවිද්‍යා උරුමය ස්වේච්ඡාවෙන්ම ආරක්ෂා කරමින් ජීවත් වන ‘රත්තරන් හාමි’ මාමා.

කිවිවර රත්න ශ්‍රී තවමත් පෙරඹර අහසේ දිලෙන ගුරුතරුව යැයි සිතමි. ඔහුගේ කවිසිත තවම තරුණයි.

 

‘‘කවි වලින් ලියා ඇත්තේ ටිකයි

මල් වුණත් පිපෙන්නට හිතුවා විතරමයි

පෙති ඇරී තියෙන්නෙ භාගෙටයි

ඉතින් අප යළි

හමු නොවනු ඇයි...’’ දැයි කියන්නේද, රත්න ශ්‍රී ම යි.

 

වෙණ තතක් පරිදි සසැලෙන -

කවි සිතින් අප ද හඬවන

අපෙ කවියෙ ‘තරු ලකුණ’ ඔබම ය -

නොබෝදා හැට පහක් සපිරුණ...

 

චිරං ජයතු රත්න ශ්‍රී...!

මාතෘකා