කථා කරන පොත් සහ මොරොක්කෝ සම්මුතිය

 ඡායාරූපය:

කථා කරන පොත් සහ මොරොක්කෝ සම්මුතිය

‘පොත් අපගේ නෙත් වගේ’ මේ අපට නිතර ඇසෙන පද පෙළකි. සත්‍ය වශයෙන්ම පොත් යනු නෙත් වැනිම වු දෙයකි. එහි වටිනාකම කිව නොහැකි තරම්ය. ලොවක් දකින්නට, ලොවක් දිනන්නට, පොතකින් හැකි වේ. එමෙන්ම පොතක් යනු විශ්වයකි.

දැනුම් පිරි සාගරයකි. එහි කිමිදීමට ඇති දෑස පින්වන්තය. පුරාණ ජන කවියක පද පෙළක් මෙසේ වේ.

'ඇස නැති දා පොත ගත්තේ කියන්නද?'

මෙම පද පෙළ ඇසෙත්ම හිත රිදෙන පිරිසක් සිටිති. එනම් දෘශ්‍යාබාධිත පුද්ගලයන්ය. දෑස අහිමි ඔවුනට ඔබට මෙන් පොතක් තනිව පරිශීලනය කිරීමට නොහැකිය. නමුත් ඔවුහු ද සාහිත්‍ය රසය විඳිති. එහි රසය තොල ගා බැලීමට කැමැත්තෝ වෙති. නමුත් එහි බාධා රැසක් අතීතයේ සිට පැවත ඇත. ඔබ දන්නා පරිදි දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ ලිවීමේ ක්‍රමවේදය බ්‍රේල්ය. ඒ ඔස්සේ ද පොත් නිර්මාණය කරන අතර සාමාන්‍ය පොතක පිටු 100ක් ඇති නම් එය බ්‍රේල් මාධ්‍යයට පරිවර්තනය කළ විට පිටු 200, 250ක් පමණ වේ. බ්‍රේල් මාධ්‍යයට ග්‍රන්ථයක් පරිවර්තනය කරන විට විශාල පිරිවැයක් දැරීමට සිදු වන අතර දැනට පාසැල් පෙළපොත් පමණක් ජාතික අධ්‍යාපන ආයතනය විසින් බ්‍රේල් මාධ්‍යයට පරිවර්තනය කර පාසැල්වලට ලබාදෙනු ලැබේ.

නමුත් සාමාන්‍ය අකුරින් ඇති එක පොතක් වුවද බ්‍රේල් මාධ්‍යය ඔස්සේ වෙළුම් කිහිපයකට මුද්‍රණය කිරීමට සිදු වේ. එවිට තරමින් විශාල පොතක් වීම හා පොත් කිහිපයක් වීම හේතුවෙන් පරිශීලනය ඉතා අපහසු වේ. එමෙන්ම අධික පිරිවැයක් යාම නිසා පොත් එසේ බ්‍රේල් මාධ්‍යයට පරිවර්තනයද සිදු නොවේ.

එහෙත් තාක්ෂණයෙන් දියුණු වර්තමානයේ මෙම තත්ත්වයට විසඳුම් ලැබී ඇත. එමෙන්ම එය සාර්ථක මෙන්ම වැඩි දෙනෙකුගේ පරිහරණයටද ඉතා පහසු වේ. මේ වන විට දෘශ්‍යාබාධිත පුද්ගලයන් උදෙසා ග්‍රන්ථ පරිශීලනය වන්නේ ඕඩියෝ තාක්ෂණයටය. ඒවා කථන පුස්ථක ලෙස හඳුන්වනු ලැබේ.

ඔබ කියවන්නාවූ පොතක් සම්පූර්ණයෙන්ම mystudiopc නම් මෘදුකාංගයට කියවා පටිගත කරනු ලැබේ. ඉන් පසු එහි තාක්ෂණික දෝෂ, කියවීමේ දෝෂ නිවැරදි කර භාවිතයට පහසු කථන ග්‍රන්ථයක් ලෙස නිෂ්පාදනය කරයි. මෙමගින් දෘශ්‍යාබාධිත පාඨක ප්‍රජාවට තමන් භාවිත කරන ජංගම දුරකථනය, පරිගණකය හෝ වෙනත් ශ්‍රවණ උපකරණයක් භාවිතයෙන් ග්‍රන්ථය පරිශීලනය කළ හැකිය. පිරිවැය අඩු බැවින් වැඩි පොත් සංඛ්‍යාවක් නිෂ්පාදනය කිරීමටද හැකි වේ.

දැනට ශ්‍රී ලංකාවේ කථන ග්‍රන්ථ නිෂ්පාදනය නියාමනය කරන්නේ ඩේසි ලංකා පදනම විසිනි. එහි උපසභාපති කසුන් නයනජිත් මහතා අප සමග ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ කථන ග්‍රන්ථ නිෂ්පාදනය කරන්නේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලය, දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය සහ අන්ධ ජන සේවා මණ්ඩලය බවයි. ඊට අමතරව කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේගේ මාර්ගෝපදේශනය ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විනිවිද නමින් කථන ග්‍රන්ථ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත.

නුවන් නයනජිත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි ආකාරයට නවමු පුවතක්ද හෙළි විය. එනම් දැනට ශ්‍රී ලංකාව තුළ පවතින නීතියට අනුව මුද්‍රිත මාධ්‍යයෙන් ඇති කිසිවක් ඉලෙක්ට්‍රොනික හෝ වෙනත් මාධ්‍යයකට පරිවර්තනය කළ නොහැකිය. මේ නීතිය හේතුවෙන් දෘශ්‍යාබාධිත පාඨක ප්‍රජාවගේ කියවීමේ අයිතිය ඔවුනට අහිමි වී ඇත. නමුත් මේ ගැටලුවට පිළියමක් ලෙස මොරොක්කෝ සම්මුතිය මේ වන විට අත්සන් තබා ඇත.

එක්සත් ජාතීන්ගේ සම්මුතියක් වන මේ හරහා ඉහත කී නීති අවශ්‍යතාව අනුව වෙනස් කිරීමට පුළුවන. ඒ අනුව මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පවතින ඕනෑම ලිඛිත යමක් දෘශ්‍යාබාධිත ප්‍රජාවට භාවිතයට පහසු මාධ්‍යයකට පරිවර්තනය කළ හැකි වේ.

මෙම සම්මුතිය අනුමත වීමට නම් රාජ්‍යයන් 20ක් අත්සන් තැබිය යුතු අතර දැනට ඊට රටවල් 30කට වැඩි සංඛ්‍යාවක් අස්සන් තබා ඇත. එය එසේ නම් මොරොක්කෝ සම්මුතිය බලාත්මක වේ. අපි රට ඊට අස්සන් තැබූ 24 වන රට වෙමු. එතුමා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට ඊට අදාළ නීති සංශෝධන බුද්ධිමය දේපළ පනතට ඇතුළත් කර ඇති බවත්, ළඟදීම එය ක්‍රියාත්මක වන බවත්ය. මෙය දෘශ්‍යාබාධිත පාඨකයන්ට සතුටුදායක පුවතක්වනු නොඅනුමානය.

මේ වන විට විවිධ සංවිධාන මගින් ග්‍රන්ථ කථන ග්‍රන්ථ ලෙස නිෂ්පාදනය කළද එය කතුවරුන් සහ ප්‍රකාශකයින් සතු කාර්යයකි. දැනට අප රටේ ඇති පොත් ප්‍රමාණය ඉලක්කමකින් කීමට අපහසු වුවද කථන ග්‍රන්ථ සංඛ්‍යාව 3000ක් වැනි සුළු සංඛ්‍යාවක් බව කීමට අපට අපහසුවක් නැත. ඒ අතරට ළමා කෘති නැති තරම් වන අතර ද්‍රවිඩ කෘති 200ක් පමණවේ. වෙනත් අධ්‍යාපනික ග්‍රන්ථ ඇත්තේ සුළු ප්‍රමාණයකි. සාහිත්‍ය රසවින්දනයට ඇත්තේ ගැණිය හැකි තරම් සීමිත කෘති සංඛ්‍යාවකි. එය ඉහත සංඛ්‍යාව අනුවද පසක්වනු ඇත. ශ්‍රී ලංකාව තුළ ඇති ග්‍රන්ථ සංඛ්‍යාවෙන් හරි අඩක් ජනගහනයෙන් හරි අඩක්වත් කියවා නැති බව සහතිකය. නමුත් දැනට මෙරට වෙසෙන දෘශ්‍යාබාධිත පාඨකයන් බහුතරයක් කථන ග්‍රන්ථ ලෙස නිර්මාණය කර ඇති කෘති සියල්ල කියවා ඇතැයි කිවහොත් ඔබ විශ්වාස කරනවාද? නමුත් සත්‍යය එයයි. දෘශ්‍යාබාධිත පාඨකයන් ප්‍රකාශ කරන ලෙස ඕනෑම ග්‍රන්ථයන් පරිශීලනය කිරීමට, සාහිත්‍ය රසවින්දනයට ඔවුන් තුළ වැඩි කැමැත්තක් ඇතත් අවශ්‍යතා සපුරාලීමට තරම් ග්‍රන්ථ ඔවුනට නැත. ඔවුන් කියවීමේ පිපාසයකින් පෙලෙන බව පෙනීගිය කාරණයකි.

ග්‍රන්ථ කතුවරුන් සහ ප්‍රකාශකයින් තම කෘතිවල හඬ පටද (ඕඩියෝ ක්‍රමයෙන්) නිපදවනවා නම් ඔවුන්ගේ පාඨක ජාලය විසල් වනු ඇත. මන්ද ඔවුන් ඒ කෘතිය රසවිඳින්නේ ඇසින් නොව මසැසින් බැවිනි. මොරොක්කෝ සම්මුතිය අප රටේ ක්‍රියාත්මක වීමෙන් දෘශ්‍යාබාධිත පාඨකයන්ගේ ග්‍රන්ථ පරිශීලන පිපාසයද සන්සිෙඳනු ඇත. කතුවරුන්ගේ හා ග්‍රන්ථ ප්‍රකාශකයින්ගේ නොමඳ සහයෝගය ලැබී, මොරොක්කෝ සම්මුතිය අප රට තුළ හැකි ඉක්මනින් ක්‍රියාත්මක වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

[සත්‍යා නිර්මාණි]

මාතෘකා