වැදි භාෂාවෙන් කතාදමන්න ගොස්

 ඡායාරූපය:

වැදි භාෂාවෙන් කතාදමන්න ගොස්

මහනුවර ඉඳන් ගිරාඳුරුකෝට්ටේට ඇති දුර සාමාන්‍යයෙන් කිලෝ මීටර් 130ක් විතර වෙනවා. කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ සංවර්ධනය වන දෙවන මහවැලි කලාපය වුණේ “මහවැලි L” කලාපයයි. ඊට අයත් ප්‍රධාන නගර දෙක වෙන්නේ ගිරාඳුරුකෝට්ටේ සහ දෙහිඅත්තකණ්ඩියයි. මේ දෙකම නව නගර දෙකක්. පළමු මහවැලි කලාපය වන “මහවැලි H” කලාපය වගේම “මහවැලි L” කලාපයත් නව පදිංච් කිරිම් වලින් ජනාවාස කෙරුණ ප්‍රදේශ. ලංකාවේ විවිධ පැති වලින් විවිධ සමාජ පදනම් වලින් මේ නව පදිංචිකරුවන් මෙම ප්‍රදේශ වලට පැමිණ තිබුණා. මේ නිසා ලංකාවේ සාම්ප්‍රදායික ගම්වල තිබුණු අන්තර් මානව සම්බන්ධතාවන්ට වඩා මෙම නව ගම්මානවල සම්බන්ධතාවන් තිබුණේ දුරස්ථ ස්වරූපයකින්. එයට ආගම, කුලය, ජීවන වෘත්තිය වගේ කාරණා තදින් බලපෑවා. මේ නිසාම මේ නව පදිංචි කිරීම් ඇතුළේ වෙනස් ආකාරයේ සමාජ ප්‍රශ්න පැන නැගී තිබුණා. ඒවා කිසියම් ආකාරයකට සමනය කර නව ජීවන රටාවකට, නව ජීවන වෘත්තීන් වුණ කෘෂිකර්මාන්තය, සත්ව පාලනය හා මිරිදිය ධීවර කර්මාන්තය වැනි වෘත්තීන්ට මෙම පදිංචිකරුවන් හුරුකරවීමත් එවකට අත්‍යාවශ්‍ය සමාජ කාරණයක් බවට පත්වී තිබුණා.

“ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන් විදුලිය” ලංකාවේ දෙවන ප්‍රජා ගුවන් විදුලිය (lommunith radio) ලෙස ගිරාඳුරුකෝට්ටේ ස්ථානගත වෙන්නේ මේ නව සමාජ සැකැස්ම සඳහා අවශ්‍ය සන්නිවේදන අවශ්‍යතාව ඉටුකිරීම එක් අරමුණක් කරගෙන. අනික ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන්විදුලිය ලංකාවේ පළමු ස්ථානගත ප්‍රජා ගුවන්විදුලිය වුණා. ඊට කලින් ආරම්භ කර තිබූ “මහවැලි ප්‍රජා ගුවන්විදුලිය” මහවැලි H කලාපය සිය සන්නිවේදන භූමිය ලෙස සලකා පිහිටුවා තිබුණත් එය ක්‍රියාත්මක වුනණ් පේරාදෙණියේ සිට. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත් “සංඝාරාමය” නම්වූ භික්ෂු නේවාසිකාගාරය තමයි එහි මූලස්ථානය වුණේ. නමුත් ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන් විදුලිය ආරම්භ කළේ තමන්ගේ ඉලක්ක ග්‍රාහකයාගේ භූමිය ඇතුළේ.

කෙසේ වෙතත් මා පුහුණුව ලබන ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළාට පසුව මාස තුනක් තරම් දිගු වු පුහුණු කාලයේ මගේ ප්‍රායෝගික පුහුණුව සඳහා මට ලබා දුන් සේවා ස්ථානය වු‍ණේ “ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන්විදුලිය”. මා සමග පුහුණුව ලබන ප්‍රේමලාල් විජේසිංහ හා ගාමිණී විජේවර්ධන යන සහෝදර නිෂ්පාදකවරුන් දෙදෙනාත් ප්‍රායෝගික පුහුණුවට ගිරාඳුරුකෝට්ටේ බලා ගියා. අපව පුහුණු කිරීම භාරවුණේ එවකට එහි සේවයේ නියුතුව සිටි ජ්‍යේෂ්ඨ නිෂ්පාදකයින් වුණ උපුල් කරුණාරත්න, වීරසිංහ කරුණානායක හා එම්. ජේ. ආර්. ඩේවිඩ් යන තිදෙනාට. ඊට අමතර කාර්මික අංශයේ නිළධාරීන් දෙදෙනෙක් එහි සිටියා. ඒ හෙන්රි ධනපාල හා අශෝක හැරිසන් පීරිස්. වෘත්තියෙන් තාක්‍ෂණික කටයුතු භාරව සිටියත් අශෝක ගේ වැඩි නැඹුරුවක් තිබුණේ වැඩසටහන් නිෂ්පාදනය පැත්තට. ප්‍රජා ගුවන්විදුලියේ වැඩසටහන්වල පදනම වුණේ මිනිස්සු. ඔවුන්ගේ හඬ, ප්‍රශ්ණ හා ගැටලු, දක්ෂතාවන් හා සුවිශේෂතාවන්, සංස්කෘතික අනන්‍යතාව ආදී දේවල්. ඒ නිසා වැඩසටහන් නිෂ්පාදනය වුණේ ක්‍ෂේත්‍ර පටිගත කිරීම් පදනම් කරගෙන. නිෂ්පාදකවරු තමන්ගේ ජංගම පටිගත කිරීම් යන්ත්‍ර අරන් මිනිස්සු මුණ ගැසෙන්න ක්‍ෂේත්‍රයට ගියාම ආපසු එන්නේ වැඩසටහන් ගණනාවකට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගෙන.

අපටත් මේ ක්‍ෂේත්‍ර පුහුණුව වගේම මැදිරි නිෂ්පාදන කටයුතු හා සජීවී විකාශන කටයුතු සම්බන්ධව පුහුණුව ලැබුණා. ඒක අලුත් අත්දැකීමක්. පුහුණුව අවසානයේ අපට විනාඩි 15ක වැඩසටහනක් නිෂ්පාදනය කර කොළඹ අභ්‍යාස ආයතනයේ දී එය ඉදිරිපත් කරන්නට නියමිතව තිබුණා. මම තෝරාගත්තේ මීමැසි පාලනය පිළිබඳ මහවැලි අධිකාරියෙන් විධිමත් පුහුණුව ලැබූ වැදි සම්භවයක් ඇති තරුණයෙකුගේ එදා සහ අද අත්දැකීම් ගැන කතා කරන්න. ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක උපුල් කරුණාරත්න සමඟ ක්‍ෂේත්‍රයට ගිහින් වැදි තරුණයා මුණගැසී පටිගත කිරිම කරන්න පටන් ගත්තා. මේක අලුත් අත්දැකීමක් වුණ නිසා මගේ පූර්ව නිගමනය වුණේ මගේ සිංහල භාෂාව හැසිරවීම වැදි තරුණයාට නොතේරේවී කියන එක. ඒ නිසා මම ඔහුට තේරුම් ගත හැකි යැයි හිතෙන මට්ටමට භාෂාව සරළ කරලා, දන්න වැදි භාෂා වචන කිහිපයකුත් එකතුකරලා ඔහුගෙන් ප්‍රශ්න අහන්න ගත්තා. පුදුමයක මහත, වැදි තරුණයා මා දන්නවාට වඩා හොඳ සිංහලෙන් උත්තර දෙන්න පටන් ගත්තා. මේක බලාගෙන හිටිය උපුල් පැත්තකට වෙලා හිනා වෙනවා. අවසානයේ මේ නිසා මට කතාවක් පටබැඳුණා. “කපිල වැද්දා වෙලා, වැද්දා කපිල වුණා වාගේ” කියලා.

පුහුණුව අවසානයේ කොළඹ ගුවන් විදුලි අභ්‍යාස ආයතනයේ දී මේ වැඩසටහනට කන්දීලා විජයානන්ද ජයවීර මහත්තයා මගෙන් ඇහුවේ දැන් මේ වැඩසටහනට කන්දුන්නාම අසන්නා තුළ ඇතිවන ධනාත්මක වෙනස මොකද්ද කියලා. එතකොටයි තේරුණේ ගුවන් විදුලි වැඩසටහනක් නිෂ්පාදන කරන්න කලින් අසන්නාගේ පැත්තෙන් අභිමතාර්ථයක්, අරමුණක් ඒකට සකසා ගන්න ඕනේ කියන එක. ඒ පාඩම අද ඉන්න බහුතරයක් ගුවන් විදුලි සන්නිවේදකයින් දන්නවාද, ඒ ගැන හිතනවාද කියන එක ඔවුන්ගේ වැඩසටහන් අහගෙන ඉද්දි හිතෙනවා. අද ගුවන් විදුලි වැඩසටහන්වලට ග්‍රාහක කේන්ද්‍රීය අරමුණු නෑ. තියෙන්නේ වෙළඳ පොළ කේන්ද්‍රීය අරමුණු. ඔවුන් ග්‍රාහකයාගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරමින් ඉන්නේ ඒ නිසා. ඒක තමයි මාධ්‍ය ආයතනවල ලාභය තරකරන වෙළෙන්දාගේ උවමනාවත් වෙන්නේ.

[කපිල එම්. ගමගේ]

මාතෘකා