හිස මුඩු කළ පමණින්

 ඡායාරූපය:

හිස මුඩු කළ පමණින්

ශ්‍රී ලංකාව බහු ආගමික රාජ්‍යයකි. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි මේ බහු ආගමික රාජ්‍යය තුළ බහුතර පිරිසක් අදහන ආගම් වෙයි. ඒ අතරින් බහුතරය අදහන්නේ බුද්ධාගම බව නොරහසකි. වෙනත් කෝණයකින් කීවොත් මහජාතිය යැයි සැලකෙන සිංහලයන් බහුතරයක් අදහන්නේ බුද්ධාගමය. මෙරට දැනට බලපැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුද්ධාගමට මුල් තැන හිමිවේ.

ඒ අනුව බුද්ධාගම අදහන්නෝ යම් මාන්නයක් හිතේ දරාගෙන අනෙක් ආගම් අදහන්නවුන් දෙස බලන්නට හුරු වී සිටිති. ඒ මාන්නය අද වන විට දේශපාලනික දෘෂ්ඨිකෝණයෙන් බලද්දී ආගම් දේශපාලනීකරණය කරගන්නට තරම් දේශපාලකයෝ පහත් තත්ත්වයට ඇද වැටී සිටිති. තමන්ට සින්න කරගත් ආගමේ නාමයෙන් දේශපාලනික අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මේ දේශපාලකයෝ පෙනී සිටිති. ඔවුහු ආගමික ස්ථාන සහ ආගමික නායකයන් දේශපාලනීකරණය කරගෙන තම දේශපාලන අරමුණු වෙනුවෙන් ඒවා යොදාගැනීමට සහ පාවිච්චි කිරීමට කටයුතු කිරීම තුළ මහජනයාගේ දේශපාලනික චින්තනයටත් දැඩි බලපෑමක් කරමින් සිටිති.

ඒ අනුව පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමය අවසන් කරමින් බිහිවූ යහපාලන රජයට දැවැන්ත චෝදනාවක් එල්ල කරන්නට පරාජිත පාර්ශ්වය කටයුතු කළේ පන්සලේ දේශපාලනය මාධ්‍ය හරහා ඉදිරියට ගෙන එමිනි.

එසේම විවිධ චෝදනාවන් එල්ල වූ ඇතැම් භික්ෂූන්ට අධිකරණ ක්‍රියාදාමය තුළ කටයුතු කරද්දී එය බුද්ධාගමට කරන නිග්‍රහයක් සේම අධිකරණය භාවිත කරමින් භික්ෂුන් දඩයමක් කරන්නට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවට චෝදනා කරන්නට 2015 ජනවාරි 08 මැතිවරණයේ පරාජිත පාර්ශ්ව කටයුතු කරන්නට විය.

ඒ චෝදනා පදනම් කරගමින් ‘කහ සිවුරේ’ බලය භාවිතා කරමින් ඥානසාර පන්නයේ චීවරධාරීන් සහ එවැනි ගිහි මැරයින් සුළු ජාතීන්ට පීඩා කරන්නටත් ඉන් ඔබ්බට ගොස් නීතියට අභියෝග කරමින් හැසිරෙන්නටත් පටන් ගත්හ.

ඔවුහු සාමාන්‍ය සමාජයේ පමණක් නොව අධිකරණ භූමිය තුළද වළං කඩේට පැන්න ගොනුන් සේ කටයුතු කරන්නට වූහ. එහි එක් අවස්ථාවක් වන්නේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් හෝමාගම අධිකරණයේ සිදුවන අධිකරණ කටයුත්තකට පැමිණි අවස්ථාවේ ප්‍රගීත්ගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩට අධිකරණ භූමිය තුළදීම බැණ තර්ජනය කරන්නට තරම් මේ දේශපාලනීකරණ වූ ආගමික අන්තවාදයට හැකි වීමය.

කුණුහරුපයෙන් බැණවදිමින් ‘තෝව මරනවා බැල්ලි’ යැයි කියමින් අධිකරණ භූමිය තුළ ඥානසාර හිමියන් ඇතුළු පිරිස සිංහ සෙයියාවෙන් හැසිරුණේ , අතුරුදහන් වූ සිය ස්වාමිපුරුෂයා කොහේදැයි දිගින් දිගටම උසාවි ගානේ යමින් ඇසූ ගැහැනියකටය. තම ස්වාමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලූ ගැහැනියකටය. නොසිතූ වේලාවක සිය පියා අහිමි වීමෙන් මානසික ව්‍යාකූලත්වයට පත් දරුවන් දෙදෙනෙකුට පිය සෙනෙහසත් නොඅඩුව ලබාදෙන්නට කටයුතු කරමින්, ඔවුන්ට රැකවරණය සලසමින් සිටි පුතුන් දෙදෙනෙකුගේ මවකටය.

එසේ බැණවැදුණේ මත්පැන් පානය කරමින් වාහනයක් ධාවනය කළ බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුව තමා වරදකරු යැයි අධිකරණයේ දී පිළිගත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ම බව සැවොම සිත් තබා ගත යුතුය.

ඒ කෙසේ වෙතත් සන්ධ්‍යා එක්නැළිගොඩට බැණ තර්ජණය කිරීමේ සිද්ධියට වරදකරු කරමින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම විය.

හෝමාගම අධිකරණයෙන් ලබා දුන් ඒ තීන්දුව දේශපාලනීකරණ වූ ආගමික අන්තවාදීන් අතින් පීඩාවට ලක්වූ බොහෝ දෙනෙකුට ‘යුක්තිය’ පිළිබද නැවුම් බලාපොරොත්තු ඇති කරන්නකි. නමුත් එය නොතේරෙන සේ ජනයා කුපිත කරන ප්‍රචණ්ඩකාරී පිරිස් තම පෞද්ගලික දේශපාලනික අරමුණු මුදුන්පමුණුවා ගැනීම වෙනුවෙන් විවිධ පිරිස් තම ඉත්තන් බවට පත් කර ගනිමින් සිටිති. ඒ ඉත්තන් අතර දේශපාලනික වශයෙන් අනාථ වූ විවිධ පිරිස් මෙන්ම මහා සංඝරත්නය ද සිටිති.

මේ භික්ෂූන්ට මෙසේ බුදු දහමට නිගා දෙමින් හැසිරෙන්නට තවත් ඉඩ දෙනවාද නැද්ද යන්න දැන් මහනායක හිමිවරුන් තීරණය කළ යුතුව ඇත.

2017 මැයි මාසයේදී බුරුමයේ ඉහළම සංඝ සභාව එනම් සංඝ මහා නායක කමිටුව විශේෂ නිවේදනයක්‌ කරමින් අශ්වින් විරාතු හිමියන් නායකත්වය හොබවන මාබාතා සංවිධානය දැනුම් දුන්නේ රට පුරා ඔවුන් විසින් ප්‍රදර්ශනයට තබා ඇති පුවරු ඉවත් කරන ලෙසයි. බුරුමයේ දී ජාතිකවාදයේ නාමයෙන් ආගමික අන්තවාදය පැතිරවූ අශ්වින් චිරාතු හිමියන්ටත් එරට සංඝ මහා නායක කමිටුවට තීරණයක් ගන්නට හැකි වූවා නම් බුද්ධ ශාසනයේ නාමයෙන් එවැනි තීරණයක් ගන්නට මහනායක හිමිවරුන්ට ශක්තිය තිබිය යුතුය.

මන්ද බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව බුද්ධ ශ්‍රාවකයෙක් මොන යම් රටක වැඩ වාසය කළත්, ධර්මප්‍රචාරය හෝ මොන යම් කටයුත්තකට වෙනත් රටකට ගියත් අනිවාර්යෙන් ජනපද නිරුක්තියට අවනත විය යුතුය. ඒ අනුව බලද්දී දැන් ඥානසාර හිමි අතින් උල්ලංඝනය වී තියෙන්නේ බුදුන් දේශනාකල ධර්මයක් සේම විනය නීතියකි.

ඒවා එසේ වෙද්දී අවසානයේ කියන්නට තිබෙන්නේ න මුණ්ඩකේන සමණෝ - අබ්බතෝ අලිකං භණංඉච්ඡාලෝභසමාපන්නෝ - සමණෝ කිං භවිස්සති කියා පමණි.

[දිලංක ගුණතිලක]

මාතෘකා