ඇස් පෙන්නැති, කන් ඇහෙන්නැති කතා කරන්න බැරි අපි

 ඡායාරූපය:

ඇස් පෙන්නැති, කන් ඇහෙන්නැති කතා කරන්න බැරි අපි

සියල්ල කළු පාට වෙච්ච ලෝකයකට හීන් සුදු ආලෝකයක් කියන්නෙ වර්ණාවලියක රශ්මි කදම්භයක්. ඇස් පේන්නෙ නැති කන් අැහෙන්නෙ නැති මිනිස්සුන්ට දැනෙන හැඟෙන දේ වැඩී කියල අපි කියනවා. හැබෑවට ඇස් නොපෙනුණාට උන් අපිට වඩා දේ දකිනවා, අපිට වඩා දේ අහනවා. මේක, කළු ගැහිච්ච ජීවිතයක් ඇතුළෙන් උපදින්න පුළුවන් අධිෂ්ඨානයේ කතාවක් ද නැත්නම් ප්‍රේමයේ කතාවක් ද කියනවට වඩා ඒ දෙකම මුහුන් වෙච්ච කතාවක් කියන්න මං කැමතියි.

ගැහැනු බව ලබපු ශරීරයක් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙච්ච පුංචි කෙල්ලක්. ඒකි දකින්නෙ කළුපාට විතරක්ම බව තේරෙන්නෙ පිට ඉඳන් ඒකි දිහා බලන අපිට. ඒකි ඒ බව වගක්වත් දන්නෙත් නෑ.

දැනෙන්නෙත් නෑ. ඒතරමටම ඒ ලෝකෙ කළුයි. ඇස් පෙන්නෑ, කන් ඇහෙන්නෑ වගේම කතා කරන්නත් බෑ. මේ තුන් කට්ටුවම එකක් වෙලා රූපෙන් ලස්සන කෙල්ලකගෙ ඇඟ ඇතුළට රිංගලා කියල දකින අපට ඉහිලුම් නෑ.

'ඇය වංශවත් පවුලකට ඉපදුණු කාලකණ්ණි කෙල්ලෙක්'. තාත්තාට වෙලාවකට එහෙම හිතෙනවා. කෙල්ලගෙ නංගි දිහා බලලා ඔහු හිත හදා ගන්නව. අම්මා, හැම මොහොතක්ම සෙනෙහසින් ඉවසනවා. මේ වංසක්කාර මාලිගාවෙ ප්‍රෞඩත්වය , තේජවන්තකම ඇතුළාන්තයේ තියෙන ඒ වගේ දරුණු හිඩැස් ලෝකෙන් වහං කරන ඉන්න තරං ඔවුන් කපටියි.

කෙසේ හෝ දවසක මේ ආදරණීය මවට උවමනා වෙනවා මිශෙල් , මේ පුංචි කෙල්ලට මුල් ළමා වියේ කාර්යයන් ඉගැන්විය හැකි ගුරුවරයෙකුට ඇයව භාර කරන්න. මේ විදියට තමයි දබ්රාජ් සහයි ඒ නිවසට එන්නෙ. ඔහු හරි අමුතුයි. ඔහු අසාමාන්‍ය ගුරුවරයෙක්. ඔහු මුල් වතාවට ඇය දකිනවා. ඒත් ඒ දකින කිසිම මොහොතක පුදුම සහගත බැල්මක් ඔහුගෙ නැහැ. මිශෙල්ව ඔහු පිළිගන්නෙ අසාමාන්‍ය දරුවෙකු ලෙස නොවේ. ඒ නිසාම ඇයට කේන්ති යනවා. තමන්ගෙ මවගෙ අත්වල තියෙන සියුමැලි බව, ඒ කරුණාව ඔහුගෙ දෑතින් ඇයට දැනෙන්නෙ නෑ. ඇය ඇවිස්සෙනවා. මේ නිසා මිශෙල්ගෙ පියා ඔහුව එලවනවා.

ඔහු පිටත් වෙන්න යන මොහොතෙදි කැරලිකාර මිෂෙල්ව වඩාගෙන ගිහින් එළියෙ තියෙන පොකුණට අතාරිනවා. ඇය ගිරිය යටින් කෑගහනවා. ඒත් එක මොහොතක ඇය නවතිනවා. වතුර බින්දුවල තියෙන හීතල ගැන, සොබාදහමේ චමත්කාරය ගැන ඉඳුල් කට ගාන්න ඇය පටන් ගන්නෙ එතනින්.

දැන් ඇගේ ශරීරය තරුණියක් වෙන්න සූදානමින් වගේම ඇය දැන් ඉන්නෙ උසස් අධ්‍යාපනය ලබමින්, විශ්වවිද්‍යාලයෙ. ඒ ඔහු නිසා. ඇගේ ගුරුවර සහයි නිසා. ඇගෙ කම්මුලක මුදු ගැස්සීමක් පවා කියවන්න ඔහුට දැන් පුළුවන්. ඇය විශ්වවිද්‍යාලයෙ සිටියත්, අවුරුදු හතක් පුරා උපාධිය සම්පූර්ණ කර නැහැ. ඒ ඇගේ යතුරුලියන වේගයේ මඳකම නිසා. අවසානයේ ඇය අවුරුදු 40දී කලා උපාධිය සම්පූර්ණ කරන්නෙ, සැවොම පුදුමයට ඇද දමමින්.

ඒත් මිෂෙල්ගෙ කතාව ඇතුළෙ, ඊට එහා ගිය කතාවක් තියෙනවා. මට ඕන කරන්නෙ ඒ හැඟීම් කන්ද පහුරු ගාලා අගිස්සවන්න. මේ කතාවෙ වටිනාම චරිතය මිස්ටර් සහයි. ඇගේ ගුරුවරයා. ඇගේ ස්ත්‍රී කය විනාශ කිරීමට අවස්ථා ගණනාවක්ම සහයිට ලැබෙනවා. මොකද ඇගේ කණවැල වන්නෙ ඔහු. ඇය මවගෙ තුරුල්ලෙන් මිදිලා පියාඹන්නෙ ඔහු නිසා. ඒත් ඔහුගෙ උත්තරීතර බව අසහායයි. එය අසාමාන්‍යයි. ඒ බව මේ කතාව අවසානයේ අපට පෙන්නනවා සහ අපව ගොළු කරවන්න තරං ප්‍රබල වෙනවා.

මිශෙල්, තමන්ගෙ නංගිගෙ විවාහයට සහභාගී වෙනවා. වෙනදා වගේම දිව්‍ය පූජාවේ, පියතුමාගෙ වචන ඇය තේරුම් ගන්නෙ සහයිගෙ තොල් අතින් ස්පර්ශ කිරීමෙන්. නැගණිය අවසානයේ තම සැමියා සිපගන්නවා. එතැන........ඇයට ඇයගෙ ලෛංගික අවශ්‍යතාව තේරෙන්න පටන් ගන්නෙ එතැනින්. පිරිමියෙකුගෙ සංස්පර්ශය , ප්‍රේමයක උවමනාව දැනෙන්නෙ එතැනින්. පරිපූර්ණ ගැහැනියක බවට පත්වෙන්න උවමනා වෙන්නෙ එතැනින්. ඒකට ඇය තෝරගන්නෙ තමන්ගෙ ගුරුවරයව. ඒ මොහොත අතිශයින් දුකයි - සතුටුයි. එය මිශ්‍රිතයක්.

අවසානයේ ඔහු, ඇයව සිප ගන්නවා. ඒ මොහොතෙම ඔහු ඇගේ ජීවිතේ පිටස්තරයකු බවට පත් වෙන්නට තීරණය කරනවා. උපාධියක් දක්වා ආබාධිත ඇයව රැගෙන විත් අවසානයේ ඇගේ කායික අවශ්‍යතාව තුළ ද ඇය පරිස්සම් කරමින් ඔහු, සුවඳවත් නොතබා යන්න ගිහින්. ඇගේ පරිපූර්ණත්වය ඔහුය.

සංජය ලීලා බන්සාලි, ඒ විදියට black නිම කරන්නේ ප්‍රේක්ෂකයව blank කරමින්. ඒ ශුන්‍යත්වය සංවේදාත්මකයි. ඒ වේදනය මට දැනුදු දැනේ. ඔබටත් නොවරදවාම දැනේවි.

[සසංකා විතානගේ]

මාතෘකා