සාහිත්යික කාර්යසාධනය!

 ඡායාරූපය:

සාහිත්යික කාර්යසාධනය!

 

සාහිත්‍යකරුවකුගේ කාර්යසාධනය ඔහු ලියන කෘති කොපමණක පවතීද?

මේ පිළිබඳ සාකච්ඡාව අපි ඩබ්ලියු. ඒ. අබේසිංහ නම් ලේඛකයාගෙන් අරඹමු. නොබෝදා (12 වෙනිදා) ඔහු සිය ලේඛන දිවියේ අඩසියවස් කඩඉම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේද ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී මහත් හරසරින් සැමරූ බැවිනි.

අබේසිංහ මහතා වූකලී ලියන කිසිවක් අහක දමන ලේඛකයෙක් නොවේ. පුවත්පතකට, සඟරාවකට, පත්‍රිකාවකට ලියන ලිපියක්ද, කිසිවෙකුගේ පොතකට හදිසියේ ලියන පෙරවදනක්ද ඔහු නොපමාව එකතු කර තමාගේ අලුත් කෘතියක් ලෙස පළ කරයි. පසුගිය සතියේ (8 වෙනිදා) ‘භාව’ අතිරේකය සමඟ කළ සම්මුඛ සාකච්ඡවේදීද ඔහු පවසා තිබුණේ තමා පසුගිය කාලයේ පුවත්පත්වලට ලියූ ලිපි එකතුවක් පොතක් ලෙස පළ කළ බවයි. ඉතින් අබේසිංහ මහතාගේ පොත් ලැයිස්තුව දිගය. එය කෘති සියය පසු කළේ මීට විසි වසකට පමණ පෙර නිසා දැන් ඒ ලැයිස්තුව පොත් දෙසීය ඉක්මවා තිබෙනු ඇත. එහි ගැටලුවක් නැත. එහෙත් ඒ සා වූ පොත් ගොන්න තුළ සැබෑ සාහිත්‍ය කෘති කොපමණ වේද? ශාස්ත්‍රීය යැයි කිව හැකි පොත් දෙක තුනක්, අයිත්මාතව්ගේ හා ගාන්ධිගේ පොත් කිහිපයක පරිවර්තන ඇතුළුව අතළොස්සක්ය. මට සිතෙන ලෙස අබේසිංහ මහතාගේ සමස්ත කාර්යසාධනයම රැඳී ඇත්තේ අර පොත් සම්භාරය තුළ නොව මේ පොත් අතළොස්ස තුළය.

දැන් අපි සෙසු ලේඛකයන් වෙත හැරෙමු. සම කර්තෘක කෘති තුනක් හා ඉංග්‍රීසියෙන් තනිව කළ කෘතියක් හැරුණු විට මහාචාර්ය හේමපාල විජයවර්ධන ජීවිත කාලයේම ලියූ පොත් ගණන හතරකි. ඒ, ‘සංස්කෘත කාව්‍ය විචාරයේ මූලධර්ම’, ‘කාව්‍ය විචාර ගවේෂණ’ යන ශාස්ත්‍රීය කෘති දෙකත්, පූජ්‍ය ඌරාපොල හේමාලෝක හිමියන් සමඟ ලියූ ‘ගසක කඳුළු’ හා ‘සාර භූමි’ යන පරිවර්තන නවකතා දෙකත්ය. එහෙත් ඔහුගේ කාර්යසාධනය ලෙස සේම මෙරට විචාර කලාවේ මූල ග්‍රන්ථ ලෙසද ඉතිරිව ඇත්තේ එහි විචාර කෘති දෙකය. දිගු කලක් ජීවත් නොවූ කුමාරතුංග මුනිදාසයන්ද ලියූ කෘති රැස තුළ ඔහු දීර්ඝායුෂ ගෙවූයේ නම් ලිවීමට තිබූ සියලු දෑ හැකිළී තිබේ. ලෝක සාහිත්‍යයෙන් බලතොත් ෆ්‍රාන්ස් කෆ්කා ජීවිතය පුරා ලීවේ නවකතා තුනක් වුවත් ඒ තුළ ඔහුගේ සමස්ත ලේඛන චාරිකාව හැකිළී තිබේ. මින් පෙනෙන‍්නේ කුමක්ද? ලේඛකයකුගේ කාර්යසාධනය ඇත්තේ ඔහු ලියන මුළුමහත් කෘති සම්භාරය තුළ නොව ඔහුගේ කෘතියක, දෙකක බවය. එහෙත් මෙසේ තිබියදී ලේඛකයින් සංඛ්‍යාව බලාම පොත් ලියන්නේ ඇයි? වසරකට මෙපමණ පොත් සංඛ්‍යාවක් පළ කළ යුතු යැයි සිතා ලියන්නේ ඇයි? ඉතා පැහැදිලිය. ඒ, ප්‍රසිද්ධිය හා මුදල් පතාය.

එහෙත් ලේඛකයකු මෙපමණින් එහා ලිවිය නොයුතු යැයි ඔහුට නීති පැනවිය නොහැකිය. ලිවීම ඔහුගේ ආශ්වාස - ප්‍රාශ්වාස මඟය. එහෙත් කාරණය කුමක්ද? ලේඛකයකු කොපමණ ලියූවත් ඔහුගේ කාර්යසාධනය - ඉටු මෙහෙවර - කැටි වන්නේ ඔහු ලියන කෘතියක දෙකක පමණක් බවය. ඇත්ත වශයෙන් ලේඛකයකුට ජීවිත කාලයේ උසස් කෘති තුනක් ලියවීමත් දුලබ සංසිද්ධියකි. ඒ අතින් විලියම් ෆෝක්නර් මහා කෘති හතරක් බිහි කර තිබේ. ඒ, The Sound and the Fury (1929, (As I Lay Dying (1930), Light in August (1932) සහ Absalom, Absalom! (1936) යන නවකතාය. ස්කොට් ෆිට්ස්ජෙරල්ඩ් The Great Gatsby (1925) නම් මහා කෘතිය ලියා තිබේ. හෙමිංවේගේ උත්කෘෂ්ට ප්‍රබන්ධය The Old Man and the Sea (1951 - ‘මහල්ලා සහ මුහුද’) ය. ගාර්සියා මාර්කේස් මහා කෘති දෙකක් ලීවේය. ඒ, One Hundred Years of Solitude (1967 - ‘සියක් වසක හුදකලාව’) හා Love in the Time of Cholera (1985 - ‘කොලරා කාලේ ආලේ’) ය. මාර්ටින් වික්‍රමසිංහද ඒ අතින් භාග්‍යවන්තයෙකි. ඔහුට ‘ගම්පෙරළිය’, ‘විරාගය’ ආදී උසස් කෘති දෙකක් ලිවීමට හැකි විය. සරච්චන්ද්‍රගේ ‘මළගිය ඇත්තෝ’, ‘මළවුන්ගේ අවුරුදු දා’, ‘විලාසිනියකගේ ප්‍රේමය’ සුවිශේෂ කෘතිය. ගුණදාස අමරසේකරට ‘යළි උපන්නෙමි’, ‘දෙපා නොලද්දෝ’, ‘ගල් පිළිමය හා බොල් පිළිමය’, ‘කියනු මැන දිවි අරුත’ වැනි සාහිත්යික තලයෙන් උසස් ප්‍රබන්ධ හතරක් ලිවීමට හැකි විය.

මා දකින ලෙස ලේඛකයකුට ජීවිත කාලයේ කිසියම් හෝ උසස් කෘතියක් ලිවීමට හැකි වන්නේ ඔහු බාහිර ලෝකයේ මුල් ඇදගත්තකු නොව ඉන් පලාගිය අන්තරාවර්තී කෙනෙකු වූ විටය. ඉහත සඳහන් කළ සියලු ලේඛකයින් එසේය. අන්තරාවර්තී ලේඛකයකු කවරක් ලියූවද ඒ තුළ ඇත්තේ අපූර්වත්වයකි. ඔහුට පෙනෙන ලෝකය වැදගත් නොවන නිසාය. පෙනෙන දේ වැදගත් නොවන නිසා ඔහුට ලියන කෘති ගණනද වැදගත් නොවේ. ඇත්ත වශයෙන් ඔහුට කෘති ගණනට වඩා අවධානය යොමු කළ යුතු දේ තිබේ. වෙසෙසින් ඔහු අරගල කරන්නේ භාව විශෝධනය පිණිසය. විශෝධිත භාවයන් නැවත එක්රැස් කර පොත් ලෙස සමාජගත කිරීමට ඔහුට වෙලාවක් නැත. වෙලාවක් තිබුණු විට ඒ ප්‍රකාශන කාර්යයද ඔහුට අභ්‍යන්තර අරගලයේ කොටසක්ය.

ලිවීමට වඩා ලියන දේ පළ කිරීමට වෙහෙසෙන්නන්ගේ නැතහොත් පළ කිරීමට ලියන්නන්ගේ ගැටලුව ඔවුන් හැම විටම පාඨකයා ගැන සිතීමය. තෝල්ස්තෝයිගේ උසස්ම නවකතාවක් වූ ‘ක්‍රොයිට්සර් සොනාටා’ එකල රුසියානු ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප වූ විට තෝල්ස්තෝයි ඊට කිසිදු ප්‍රතිචාරයක් පෑවේ නැත. එම කෘතිය මූලික අවධානය යොමු කළේ සමකාලීන රුසියානු රදල සමාජයේ හා මධ්‍යම පන්තියේ පවුල් සංස්ථාව බිඳ වැටීම කෙරෙහි වුවද ඔහු එය අනුමත කරගැනීමට වෙහෙස දැරුවේ නැත. (අවසන එය පළ වූයේ තෝල්ස්තෝයි බිරිඳ සෝන්යා සාර් රජු හමු වී කාරණය පැහැදිලි කර දීමෙනි.) ඔහුට එය පළ කරගන්ට අරගල කිරීමට වුවමනා නොවූයේ ඇයි? මට සිතෙන ලෙස හේතු දෙකක් නිසාය. එකක් ලියන දෙයක් කෙසේ වාරණය කළද එය කවදා හෝ කලඑළි දකින බව ඔහු දැන සිටි නිසාය. දෙවැන්න ඔහුට ඒ මොහොතේ පාඨකයා එතරම් වැදගත් නොවූ නිසාය. (අපේ සිනමාකරුවන් වාරණයකදී නඟන හඩ බලන්න. ඔවුනට තත් ප්‍රේක්ෂකයා කෙතරම් වැදගත්ද?) ලියද්දී පාඨකයා ගැන සිතන්නේදැයි වරක් විලියම් ෆෝක්නර්ගෙන් විමසූ විට ඔහු කීවේ පාඨකයා ගැන සිතනවාට වඩා ඔහුට වැඩ ඇති බවයි. එනම් ලේඛකයකුට තමා සමඟ ඇති අරගලයට මිස බාහිරස්ථ දේ වෙත අවධානයට ඉඩක් නැති බවයි. (බාහිර සාධක වෙත අවධානයෙන් ප්‍රබන්ධයක් බිහි නොවන බව ඔහු දනී.)

පාඨකයා ගැන සිතන බාහිරාවර්තී ලේඛකයකුට නොමැත්තේ සාහිත්‍යය බිහි වීමට ඇවැසි ආත්මකථනයය. ආත්මකථනය නොමැති නිසා ඔහුගෙන් ලියවෙන්නේ පුවත්පත් වාර්තාකරුවකුගෙන් හෝ සමාජ විද්‍යාඥයකුගෙන් ලියැවෙන සමාජකථනයකි. එනිසා ඒ ලිවීම කෙළවර වන්නේ ප්‍රචාරකවාදී ජනතාවාදයෙනි. ජනතාවාදී සාහිත්‍යකරුවා උත්සාහ කරන්නේ හැකි තරම් ලිවීමටය. ඔහුට ලිවීම අතිපූජනීය දේකි. සමාජය දූෂිත බවත්, ඒ දූෂණයෙන් මිනිසා තැලී පොඩිවී වැනසී යා නොදී ගලවා ගත යුතු බවත් ඔහු කල්පනා කරන අතර ඔහු ලියන්නේ ඒ අනුව ගැලවුම්කාරයකුගේ වෙසකිනි. එනිසා ඔහුට ‘සාහිත්‍යකරණය’ දේවකාරියක් සේම යාන්ත්‍රික ක්‍රියාදාමයකි. වරක් හූලියෝ කොර්තාසා ප්‍රකාශ කළේ ලේඛකයාට අමුතුවෙන් සොයාගැනීමට දෙයක් නැති බවත්, ඔහුට ඇත්තේ පවතින දේ ලිවීමට පමණක් බවත්ය. එහෙත් ජනතාවාදීනට එය අනුගත නොවේ. ඔහු ප්‍රබන්ධය සිතාමතා බිහි කළ යුතු දේකි. නිර්මාණ රචනය ඉගැන්විය නොහැකි යැයි ඔවුන් සිතන්නේ නැත. පළමු වරට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව ඇරඹි අවස්ථාවේ ඊට සරච්චන්ද්‍රයන්ගේ සහයෝගය නොලැබුණු බවත්, එය ගොඩනැඟුවේ තමාගේ තනි පරිශ්‍රමය තුළ බවත් වරක් මහාචාර්ය ඒ.වී. සුරවීර මා හා පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. එය හරිය. නිර්මාණ රචනය ඉගැන්විය නොහැකි බව සරච්චන්ද්‍ර වටහාගෙන තිබුණි.

ඇත්ත වශයෙන් ලේඛකයකුගේ කාර්යසාධනය මෙතෙකැයි පරිමිත කළ නොහැකිය. පරිමිතය ජනතාවාදය හා යන්නක් විනා සාහිත්‍යය හා යන්නක් නොවේ. සාහිත්‍ය කෘතියක විවිධ අර්ථ වේ. උසස් සාහිත්‍යකරුවා කරන්නේ විවිධ අරුත් ජනනයට එය විවෘතව තැබීමය. නොඑසේව (මාර්ටින් වික්‍රමසිංහ ‘විරාගයට’ ‘නවකතාංග හා විරාගය’ ලියූවා සේ) ඊට ව්‍යාඛ්‍යාන සැපයීම නොවේ. ඒ නයින්ම සාහිත්‍යකරුවකුගේ ජීවිතයද කාර්යසාධන වාර්තාවලින් හෝ උපහාර ග්‍රන්ථවලින් පරිමිත නොකළ මනා දේකි. යම් සාහිත්‍යකරුවකු එහිලා ප්‍රයත්න දැරීමෙන් කරන්නේ පෙර කී සේ ඔහු තමා ජනතාවාදී කෝදුවකින් මිනීමට වෑයම් කිරීමය.

ඒ වෑයම තුළද සංස්කාරකයනට හසු වන්නේ ලේඛකයාගේ සාහිත්‍ය පැතිකඩ නොව සමාජ පැතිකඩය. සමාජ පැතිකඩ කථා කරත් කථා කරත් විවරණය වන්නේ ඔහුගේ සාහිත්‍යකරුවා නොවේ, ඔහුගේ ජනතාවාදියාය. බැරෑරුම් සාහිත්‍යකරුවන් එබඳු කාර්යසාධනවලට රුචි නොවන්නේ එහෙයිනි. සැබැවින්ම කාර්යසාධනය ගැබ් විය යුත්තේ කතාකරුවකුගේ ප්‍රබන්ධය තුළ විනා ඒවායේ ව්‍යාඛ්‍යානවල, උපහාර අංකවල, මතක සටහන්වල නොවේ.

මාතෘකා