විප්ලවයේ ආරම්භය සහ අවසානය | ඇස පාදන රැස


විප්ලවයේ ආරම්භය සහ අවසානය

 ඡායාරූපය:

විප්ලවයේ ආරම්භය සහ අවසානය

ඒ වන විට 'භීෂණය' ජනගත වෙලා තිබුණේ නෑ. ඒත් පෙරනිමිති පහළ වෙමින් තිබුණා. ඒ භීෂණයේ මුල් අවධිය කියල කියන්න පුළුවන්. මතක හැටියට 1988 වසරේ සැප්තැම්බර් මාසයේ. පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී වුණ උද්ඝෝෂණයකට පොලිසියෙන් වෙඩි තියල නුගවෙල මාධ්‍ය මහා විද්‍යාලයේ අවුරුදු 15ක සිසුවෙක් මැරුණා. ඒ පිළිබඳව විරෝධය ප්‍රකාශ කරන්න පේරාදෙණිය සරසවියේ ශිෂ්‍යයින් මහනුවර පිකට් කෙරුව.

සුපුරුදු විදිහට පොලීසිය බැටන් පොලු ප්‍රහාරයක් දියත් කෙරුවා. පාරේ එක පැත්තක කඩ පේලියක්, අනිත් පැත්තේ තාවකාලිකව අටවගත්ත රෙදි කඩ. උද්ඝෝෂකයින් කඩවල් ඇතුලට රිංගුවා බේරෙන්න. පාරේ අනිත් පැත්තේ පෝස්ටර් උස්සගෙන හිටපු අයට දුවන්න තැනක් තිබුණේ නෑ.

කඩවල්වලට රිංගපු ළමයි උඩ තට්ටුවට ගිහින් සිද්ධිය බලාගෙන හිටියා. පාරේ එහා පැත්තේ ළමයිට අනුකම්පා විරහිතව පොලීසිය බැටන් පොලුවලින් ගහනවා.

විශ්වවිද්‍යාල සටන්වලට සම්බන්ධ වෙන්නේ ලොකු දේශපාලන දැනීමක්වත් මතවාදී කාරණා විශ්ලේෂණය කරලා සමස්ත සමාජ ආර්ථික දේශපාල වටපිටාව ගැන පුළුල් අවබෝධයක් ලබාගත් අයම නෙවෙයි. සටන සාධාරණයි කියල දැනෙන නිසා, යාලුවෝ සහභාගී වන නිසා, කළ යුත්තේ මෙයයි කියල පොදු මතයක් ඇති වෙලා තියෙන බව තේරුම්ගත නිසා වගේ සරල කාරණා පදනම් කරගෙන සටන් කරන අය තමයි වැඩිපුරම ඉන්නේ.

එවැනි කෙනෙක් එක්තරා කඩයක බැල්කනියේ හිටගෙන මේ පොලිස් පහරදීම් දිහා බලාගෙන හිටියා. ඒ තරුණයා දේශපාලනය ගැන කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. දේශපාලනය ගැන කිසිම උනන්දුවක් තිබුණෙත් නෑ. එයා ආදරය කෙරුවේ කලාවට, විශේෂයෙන්ම සංගීතයට. සංගීත විශාරදයෙක්, ඒ කාලේ වෙද්දීත් විශිෂ්ට දිල්රුබා වාදකයෙක්.

'මේක වැරදියි මචං,' ඒ නිහඬ චරිතය එච්චරයි කිව්වේ.

ශිෂ්‍ය ව්‍යාපාරයටවත් ජනතා විමුක්ති පෙරමුණටවත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයටවත් මේ තරුණයා ඍජුව සම්බන්ධ නොවුණත්, පොදුවේ ආණ්ඩු-විරෝධී කුලකයට එකතු වුණා. යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටියා. අවශ්‍ය තැන් වලදී බය නැතිව කතා කෙරුවා. විප්ලවවාදියෙක් නොවුණත් නායකයෙක් වුණා.

විප්ලව පටන් ගන්නේ එහෙමයි. තමන්ගේ පුද්ගලික අරමුණුවලට එහා දෙයක් දකින මොහොතක. පොදු බව ගැන අදහසක් ඇති වෙන මොහොතක. පහසු දේ වෙනුවට කළ යුතු දේ ගැන හිතන්න පටන්ගන්නකොට. බෙදාහන්න උවමනාවක් උපදින තැනක. මතුපිට තියෙන බොරුව විනිවිදින කවියකින්.

දේශපාලනය දන්න අය, අරගල කරන අය එකඟ නොවෙන්න පුළුවන්. මම කියන්නේ විහිළු කතා කියල හිතන්නත් පුළුවන්. 'විප්ලවය කියන්නේ තේ පැන් සාදයක් නොවේ' කියල කියන්නත් පුළුවන් මාඕ උපුටා දක්වමින්. 'අහෝ! කවි බිඳුවකින් හෝ ආදර බිඳුවකින් මෙලොව ඇති ක්‍රෝධය සමනය කරන්නට හැකි නම්! එහෙත් ඒ සඳහා දෘඩ හදවතම අවශ්‍යයි" -- කවියම විප්ලවයේ අවියක් කරගත් පැබ්ලෝ නෙරුඩා මෙහෙම කිව්වා නේ කියලත් කියන්න පුළුවන්.

ඒත් මේ කතා කරන්නේ විප්ලව ගැන නෙවෙයි, අරගලවල ඇරඹුම ගැනයි. කවියෙන් තෙත් කරන හදවත්වල වරද දකින්නත් එය නිවැරදි කරන්නත් උවමනාවක් අධිෂ්ටානයක් උපදිනවා කියල හිතෙනවා මට.

බොරිස් පැස්ටනැක් ගේ 'ඩොක්ටර් ශිවාගෝ' නවකතාවේ එක මොහොතක් මතක් වෙනවා. ශිවාගෝ විප්ලවවාදියෙක් නොවේ, කවියෙක්. ඔහු ආදරය කළේ ලාරා ඇන්ටිපොවාට. ලාරාගේ නිත්‍යානුකූල ස්වාමියා ස්ට්‍රෙල්නිකොව්. විප්ලවවාදියෙක් නමුත් බෝල්ෂෙවික් පාර්ශවයට විරුද්ධ වුණ කෙනෙක්. මේ දෙන්නා අහම්බෙන් මුණගැහෙන්නේ ශිවාගෝ, ඔහුගේ පවුල සමඟ යූරියැටින් බලා ගමන් කරද්දී. ඒ බව දැනගත් ස්ට්‍රෙල්නිකෝ 'යූරියැටින්?' කියා මුමුනන්නේ ලාරා එහෙ වෙසෙන බව දැනගෙන.

ශිවාගෝ එවිට ලාරා සමග යුධබිමේ තුවාල වුවන්ට ප්‍රතිකාර කළ බවත්, ලාරා පළමුවෙන්ම දුටුවේ ඊට අවුරුදු ගණනකට පෙර බවත්, ඒ මොහොතේ ස්ට්‍රෙල්නිකොව් ද ඈ සමඟ සිටි බවත් පවසන්නේ ඔවුන් දෙදෙනා ඒ අවස්ථාවේ දී අන් සියලුදෙනා ලැජ්ජාවට පත් කළ බවත් මතක් කරමින්.

ස්ට්‍රෙල්නිකොව් මොහොතක් නිහඬව සිට මෙහෙම දෙයක් කියනවා. පුද්ගලික ජීවිතය අවසාන වෙලා ශිවාගෝ; ඉතිහාසය එය ඝාතනය කරලයි තියෙන්න.'

විප්ලවය අවසන් වුණේ කවද්ද කියල හරියටම කියන්න බෑ. සමහරු කියන්නේ 1990 කියලයි. විප්ලවය අවසන් වුණේ ලෙනින් මැරුණ දවසේ කියලත් කියන්න පුළුවන්. ස්ටාලින් බලය ලබාගත් මොහොතේ නැත්තම් ට්‍රොට්ස්කිට පලා යන්න සිද්ධ වුණ මොහොතේ කියලත් කියන්න පුළුවන්. මේවාගෙන් එකක් නැත්තම් ඒ වගේ 'සිදුවීමක්' විප්ලවයේ අවසානය සනිටුහන් කරපු බවට තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. 'අවසානය' ගැන වෙන විදිහකටත් හිතන්න පුළුවන්.

ආදරය අතහරින්නේ යම් මොහොතකද ඒ මොහොතේම විප්ලවයත් අවසන් වෙනවා. මට හිතෙන්නේ එහෙමයි.

[මාලින්ද සෙනෙවිරත්න]

මාතෘකා