විනෝදාංශ අහිමි සමාජයක් | ඇස පාදන රැස


විනෝදාංශ අහිමි සමාජයක්

 ඡායාරූපය:

විනෝදාංශ අහිමි සමාජයක්

විනෝදාංශයක් අප කා ළඟත් තිබිය හැකි ය. විනෝදාංශයක් ලෙසින් අදහස් කරන්නේ අප විවේක වේලාවට, විනෝදයට සහ වින්දනයට කරන්නා වු යම් දෙයකි. විනෝදාංශ පුද්ගලානුබද්ධ වේ. විවිධ වේ. ඇතැම් විට කාලානුරූපීව වෙනස් විය හැකි ය. පොත් කියවීම, මුද්දර එකතු කිරීම, සංචාරය කිරීම, සුරතල් සතුන් ඇති කිරීම ආදිය සුලබ විනෝදාංශ වේ. බොහෝදෙනා අතර මුළු ජීවිත කාලය තුළම එකම විනෝදාංශයක් හෝ විනෝදාංශ කිහිපයක් පැවතිය හැකි අතර තවත් පුද්ගලයන් තුළ කාලයෙන් කාලයට විනෝදාංශ වෙනස් විය හැකි ය. අපගේ ආතතියෙන් පිරි ජීවිතයට වින්දනයක් ලබාදීමට විනෝදාංශ යොදාගත හැකිය. එසේම මෙහි වූ සුබවාදීම තත්වය නම් විනෝදාංශ තුළින් යම් ආත්ම තෘප්තියක් ලැබී ජීවිතයට වින්දනය එකතු වනවා සේම ඉන් පුද්ගල දැනුම, අවබෝධය වර්ධනය වීමය.

එසේම කුඩා කල ඇතැමුන් තුළ පවතින විනෝදාංශ පසුකාලීන පුද්ගල ජීවිතයට විශාල බලපෑමක් එල්ල කිරීමට වුවද සමත් වේ. නිදසුනක් ලෙස පොත් කියවීම, නිර්මාණකරණයේ නියලෙන අයෙකුට තම විනෝදාංශ තම ජීවිතේ වෙනස්ම පැතිකඩක් විවෘත කර ජීවිතේ සාර්ථක කර ගැනීමේ තෝතැන්නක් කර ගත හැකිය. නමුත් ඇතැමුන්ගේ විනෝදාංශ පුද්ගල ජීවිතයට අහිතකර බලපෑම් ද එල්ල කිරීමට පුළුවන. කෙසේ වෙතත් විනෝදාංශවලින් ඕනෑම කෙනෙකුට මූලික වශයෙන් ආත්ම තෘප්තියක් හා වක්‍ර ආකාරයෙන් බුද්ධි වර්ධනයක් සිදු වේ.

මාගේ කුඩා කල පිළිබඳව සිහි කරන විට මටත් මගේ එකම සොයුරාටත් කුඩා කල විවිධාකාරයේ විනෝදාංශ තිබුණි. අප විනෝදාංශ ලෙස විවිධ දෑ එකතු කළ අතර දැන් සිතා බලන විට ඒ කාලයේදී එකතු නොකළ දෙයක් නැත. ඒවා සෑම එකක්ම කාලයෙන් කාලයට වෙනස් විය. නමුත් ආරම්භක සහ දීර්ඝ කාලීන විනෝදාංශය වූ මුද්දර එකතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අදටත් මුද්දර එකතුවක් මා ළඟ ශේෂව ඇත. අපගේ විනෝදාංශවලට දෙමාපියන් ඇතුළු වැඩිහිටියන්ගේ උදවු උපකාර ලැබුණි. එමෙන්ම නිර්මාණකරණය, රසවින්දනය වර්ධනයටද විනෝදාංශ අනියමින් හෝ දායක වේ.

නමුත් වර්තමාන සමාජය මීට වඩා වෙනස්ය. අද දරුවන් විනෝදාංශයක් යනු කුමක්දැයිවත් දන්නේ නැත. විනෝදාංශයක් තිබුණත් ඒ සඳහා වෙන් කර ගැනීමට කාලයක්ද ඔවුනට නැත. වයස අවුරුදු තුන හතර වන විටම දෙමාපියෝ තම දරුවන් විවිධාකාර වූ උපකාරක පන්ති කරා කැටුව යති. පාසල් යාම ආරම්භ වූ පසු මවුවරුන්ගේ විභාගය වන ශිෂ්‍යත්වය සඳහා දරුවන් කැටුව යාමක් දක්නට නැත. බාහිරින් බලන අයෙකුට වැටහෙන්නේ මරන්නට රැඟෙන යන කුඩා වසු පැටවුන් ලෙසය. ඉදින් දරුවන්ට විනෝදාංශයක් පිළිබඳව සිතන්නටවත් කාලයක් නැත. අපේ පරම්පරාවට පෙර යුගයේ පිරිස හා අප තුළ තවමත් පවතින විවිධාකාර වූ විනෝදාංශ තුළින් ලබාගන්නා වින්දනයක්, දැනුම වර්ධනය කර ගැනීමක් ඔවුනට නැත.

පොතක් කියවීමට කාලයක් නැත. පරිසරය රසවින්දනය කිරීමට කාලයක් නැත. මුද්දර එකතු කිරීම ආදිය අද සිදු නොවන තරම් වන්නේ අද මුද්දර භාවිතයක් නැති නිසා විය යුතුය. අපි දරුවන්ගෙන් විනෝදාංශයක් කුමක්දැයි ඇසුව‍හොත් ඇතැම් විට එහෙම දෙයක් නෑ යන පිළිතුර ලැබීමේ වැඩි සම්භාවිතාවක් පවතී. එසේම නිදාගැනීම, රූපවාහිනිය නැරඹීම, අන්තර්ජාලය භාවිතය, මුහුණුපොත තුළ සැරිසැරීම ආදී පිළිතුරු ලැබීමට වැඩි සම්භාවිතාවක් පවතී. කාර්යබහුල සමාජයක් තුළ ජීවත් වන විට නිදාගැනීම යමෙකු තම විනෝදාංශය යැයි කිවහොත් එය පුදුමයට කාරණයක් නොවේ.

මන්ද විවේකී වේලාවට කරන දෑ විනෝදාංශය නම් එයද විනෝදාංශයකි. නමුත් එය ජීවිතයේ වින්දනයට හේතුවක් නොවේ. බොහෝ වින්දනීය කාර්යන්ගෙන් සමාජය ඈත් වීම හේතුවෙන් සාරපූර්ණ නිර්මාණ ළමා හා තරුණ පරපුර තුළ බිහි වීම අවම වී ඇත. එසේම කවි, කෙටිකතා රචනය හෝ චිත්‍ර ඇඳීම ආදිය විනෝදාංශයක් ලෙස කරන පිරිසක් අද අවම වීම නිසා වින්දනීය නිර්මාණ බිහි වන්නේ නැති තරම්ය. මීට කලකට පෙර රූපවාහිනිය හා ගුවන්විදුලියේ සජීවී වැඩසටහන්වලට පුද්ගලයන් සම්බන්ධ වන විට ‘ඔබගේ විනෝදාංශ මොනවාද’ යන ප්‍රශ්නය අනිවාර්ය අංගයකි. එයින්ද විවිධ වූ විනෝද හා දැනුම සංවර්ධන ක්‍රියාකාරකම් සමාජගත විය.

දෙමාපියන් උත්සුක වන්නේ තම දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමටය. එබැවින් අධ්‍යාපනය තුළ ඇති තරඟය හේතුවෙන් දරුවන්ට දුව පැන සෙල්ලම් කිරීමට හෝ වේලාවක් නැත. විෂයන්ට අදාළ පොතපතින් එහා අමතර පොතක් කියවීමට ඉඩක් නැත. ඇතැම් දෙමාපියන් එය දකින්නේ කාලය කාදැමීමක් ලෙස ය. නමුත් මින් සිදු වන්නේ දරුවන් කුඩා කළසිට ආතතියටපත් වීමකි. එමෙන්ම දරුවන් නිර්මාණකරණය, රසවින්දනය ආදියෙන් ඇත් වූ විට දරුවන් නිරායාසයෙන්ම කලහකාරී, ආත්මාර්ථකාමී මෙන්ම අසංවේදී පුද්ගලයන් වීමේ වැඩි ඉඩකඩක් පවතී. එය සාමාන්‍ය දැනුම හීන පුද්ගලයන් බිහිවීමටද හේතුවකි.

ළමා පරපුර හා තරුණ ප්‍රජාව රටක අනාගතයයි. ඒ අනාගතය බුද්ධියෙන් මෙන්ම මානුෂවාදී පිරිසක් වනවා නම් එය රටේ අනාගතයට හිතකර වේ. එහිදී පොතපතින් ලබාගත නොහැකි දෑ ඇතැම් අත්දැකීම්වලින් ලබාගැනීමට පුළුවන. එසේම ආතතිය දරුවන් තුළින් ඈත් වූ විට ඔවුන්ගේ මනසද සැහැල්ලු වී අධ්‍යාපන කාර්යන්ටද පහසු වේ. එබැවින් සියලු වැඩ කටයුතු අතරේ දරුවන්ට රුචි දෙයක් කිරීමට යම් වේලාවක් වෙන් කිරීමට දෙමාපියන් තම අවධානය යොමු කරයි නම් එය දරුවන්ගේ කායික, මානසික මෙන්ම සාමාජීය ජීවිතය සාර්ථකත්වයට දීර්ඝ කාලීනව බලපානු ඇත.

 [සත්‍යා නිර්මාණි]

මාතෘකා