ඒ තමයි ගැහැනු | ඇස පාදන රැස


ඒ තමයි ගැහැනු

 ඡායාරූපය:

ඒ තමයි ගැහැනු

“ගෑනු කියන්නෙ කිසිම දේකින් සෑහීමකට පත්වෙන ජාතියක් නෙමෙයි”

ඒ පිරිමි නිතරම කියන කතාවක්. මම කියන්න හදන්නෙ ඒ කතාව ඇත්ත කියලා. ගැහැනු ලේසියෙන් සෑහීමට පත්වෙන්නේ නැහැ. ගැහැනු විතරක් නෙමෙයි. පිරිමි සෑහීමකට පත්වෙන්නෙත් නැහැ. ගොඩක් වෙලාවට පිරිමින්ට ඒක අමතක වෙනවා. කෙටියෙන්ම කියනව නම් “මිනිස්සු කිසිම දේකින් සෑහීමකට පත් වෙන්නෙ නැහැ”

ඉතින් ඇයි ගැහැනු කියලා විශේෂයෙන් කියන්නෙ?

ගැහැනිය විශේෂයි හැම පැත්තකින්ම. ගැහැනු අසීමිතව ආදරේ බලාපොරොත්තු වෙනවා. අසීමිතව රැකවරණය සහ ආරක්ෂාව ඒ වගේම අවධානය බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ ගැහැනුන්ගේ අසීමිත බලාපොරොත්තුවලින් කියවෙන්නේ නැහැ අසීමිත සල්ලි එහෙම නැත්නම් සැප සම්පත් බලාපොරොත්තු වෙනවා කියන එක.

ගැහැනිය බලාපොරොත්තු වෙන්නෙ කලින් කිව්වා වගේ අවධානය, රැකවරණය, කාලය, අගයකිරීම, ගරුත්වය. ඒ තුළ ආදරය.

මේ කරුණු සම්පූර්ණ වෙන තැන ගැහැනිය නවතින්න පෙරුම් පුරනවා. අවාසනාවකට ආදරේ පටන් ගන්න මුල් කාලේ පිරිමි පාර්ශ්වය මේ සියල්ල ඕනෑවටත් වඩා වැඩියෙන් ලබා දෙනවා. නමුත් කාලයත් එක්ක සියල්ල වෙනස් වෙනවා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් ගැහැනියකට ආදරේ කරන්න පටන් ගනිද්දිම යම් සීමාවක් ඇතුව ආදරේ කළා නම් මේ වගේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියල. ඔව් එහෙම වෙන්නත් තිබුණා. ඒත් ආදරේ ආරම්භය කොතනද? කොහොමද? කවදද සිද්ධ වෙන්නේ කියලා අපි කාටවත් කලින් තීරණය කරන්න බැහැ.

ඉතින් ගැහැනිය ආදරේදී බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

විශේෂයෙන්ම තමන් ආදරේ කරන ගැහැනිය වෙනුවෙන් වෙන් කරන ‘කාලය’ ගොඩක් වැදගත්. ඒ කියන්නෙ පැය 24ම ළඟින් ඉන්න ඕනා කියන එක නෙමෙයි. ඔහු ඉතාමත් කාර්යබහුල වෙලාවකදි sms එකක්, call එකක් දෙනව නම් ඇය ගොඩක් සතුටු වෙනවා. නමුත් නොවෙන්නෙත් ඒකමයි. ගැහැනිය ආදරෙන් සෑහීමකට පත්වෙන්නෑ. ආදරෙයි කියන වචනෙ නිතරම අහන්න ආසයි. තමන්ව අගය කරනවට ගොඩක් කැමතියි.

ගොඩක් වෙලාවට කසාද ජීවිත ඇතුළෙ හැලහැප්පීම්වලට ලොකුම හේතුව කාලෙකදි ආදරේ අඩු වීමට වඩා ආදරේ බව ප්‍රකාශ නොකිරීම කියලයි මට හිතෙන්නේ.

ආදරේ නම් ඒ බව කියන්න ඕනෙ. ඔප්පු කරන්න ඕනෙ. ආදරේ බවට සාක්ෂි ඕනේ. එහෙමයි ගැහැනු බලාපොරොත්තු වෙන්නේ. ඒත් රැකියාව සහ වෙනත් හේතු නිසා පිරිමි කාර්යබහුල වීම කියන කාරණය හේතුවක් කරගෙන ආදරේ කිරීම කියන වගකීම පැහැර හරිනවා. සමහරුන්ගෙන් ඉබේම සිද්ධ වෙද්දි තවත් කට්ටියක් හිතා මතා පැහැර හරිනවා. මේක පිරිමින්ට කරන චෝදනාවක් කියල හිතන්නත් පුළුවන්. ගැහැනුන්ට ආදරේ කියන්නෙ හුස්ම වගේ. තමන් ආදරේ කරන පිරිමි ආත්මය නිතරම එයාලගේ හිතේ එල්ලිලා ඉන්නෙ. ආදරේ කියන්නෙ ජීවිතේ. නමුත් පිරිමින්ට ආදරේ කියන්නෙ ජීවිතේ එක අංශු මාත්‍රයක් විතරයි. මේ එක ගැහැනියක් සිතන විදිහ මිස යථාර්ථය නොවෙන්න පුළුවන්. නමුත් බොහොමයක් ගැහැනු හිතෙන්නේ එහෙමයි. මීට වැඩිය වෙනස් ගැහැනුත් ඉන්න බව මම පිළිගන්නවා. නමුත් බහුතරයක් ගැහැනු හිත් මේ වගේ වෙන බව මට විශ්වාසයි.

අනෙක් වැදගත්ම කාරණය ‘අගය කිරීම.’

සම්බන්ධතාවක ආරම්භයේ මම කලින් කිව්ව වගේ අගය කිරීම් බොහොමයි. නමුත් කාලෙකදි ගැහැනියට එය අහිමි වෙනවා. සමහර විට නොදැනුවත් කමින් මගහැරෙනවා වෙන්න පුළුවන්. ඒත් ගැහැනු නිතරම අගය කිරීම් බලාපොරොත්තු වෙනවා. ගැහැනු බලාපොරොත්තු වෙන තරමට කිසිවක් නොවෙද්දි ගැහැනු ඒ ගැන ප්‍රශ්න කරනවා. පිරිමි බොහොම අකමැති දෙයක් තමන්ව ප්‍රශ්න කිරීම. පිරිමි හිතන්නේ “ගැහැනු නිශ්ශබ්දව ඉන්න ඕනේ. ඒ තමයි ගැහැනියකගේ නියම සුන්දරත්වය.” ඔබ හිතනවා ඇති දැන් කාලේ පිරිමි එහෙම නෑ, ගැහැනියට ඇහුන්කන් දෙන්න පිරිමි සූදානම් කියලා. නෑ. තවමත් බහුතරයක් මිනිස්සු කැමති ගෑනු යටත් වෙලා ඉන්නවා දකින්න. ඒ නිසයි අවසානයේ එවැනි කතාබහ දුර දිග යාම් සම්බන්ධතා බිඳිල යන්න හේතුවක් වෙන්නේ.

ගැහැනු පුංචි දේටත් කලබල වෙලා ප්‍රශ්න ඇති කර ගන්නවා. පිරිමි තැකීමක් නොකරන සමහර කාරණා ගැහැනු මහා විශාල ප්‍රශ්න කරගන්නවා. එහෙම වෙන්නේ මම කලින් කී කාරණා නිසා.

පිරිමි නොදන්නවා වුණාට ගැහැනු තමන්ට සිද්ධ වෙන වෙනස්කම් කාලයක් තිස්සෙ එකතු කර ගන්නවා. ඒ විදිහට ගිනි කන්දක් වගේ කැකෑරි කැකෑරි ඉදල එක අවස්ථාවකදි පුපුරලා යනවා.

ඒ අවසාන පිපිරීම නෙමෙයි.

ආරම්භය පමණයි. එතැනින් පසු නොනැවතී ගැහැනිය කියන ගිනි කන්ද සක්‍රියයි.

ඒ ඇය අසීමිතව බලාපොරොත්තු වෙන ආදරේ වෙනුවෙන්.-

[ශිවන්ති ඒකනායක]

මාතෘකා