මහ හිමයෙන් දිව්‍යමය භෝගයක්

 ඡායාරූපය:

මහ හිමයෙන් දිව්‍යමය භෝගයක්

අවුරුද්දෙ එක කාලෙකට මාස කීපෙකට විතරක් සීමා වුණු දිව්‍යමය භෝගයක් ආයෙමත් මේ දවස්වල දකින්න පුළුවන්. හැබැයි බලංගොඩ, බෙලිහුල්ඔය, බගවන්තලාව වගේ පළාත්වලදී විතරමයි. ඒ තමයි විල්ලූනු. ජීවිතේ මුල්ම වතාවට මේ භෝගය මගේ ඇහැ ගැටුණේ බෙලිහුල්ඔය බදාදා පොළේදී. ඊට පස්සෙ බලංගොඩදී. සුදු පාට කඳ කොටසක් එක්ක දිග කොළපාට සිහින් පත්‍ර. කඳ කියන්නෙ පත්‍රවල මූලය හින්දා ඒක ව්‍යාජ කඳක්. හරියට ලූනු නැත්නම් ලීක්ස් වගේ. පුංචියට මිටි බැඳලා. මේ මොනවද කියලා ඇහුවම වෙළෙන්දියො කියනවා “විල් ලූනු දකින්නත් ලැබෙන්නෙ අවුරුද්දට සැරයයි“. නැග්රැක් නැත්නම් නන්පෙරියල් මිනිස්සු ලෝකාන්තෙ අද්දරින් තමා හොයාගෙන එන්නෙ කියලා. ඉතිං මට විල් ලූනු ඉවිල්ලට වැඩිය ආසයි මේ මූලය හෙවිල්ල.

මාසෙකට හමාරකට පස්සෙ මං කඳු නැග්ගා නන්පෙරියල් පාරෙ මුහුදු මට්ටමේ ඉඳලා අඩි 6000 ක් විතර උඩට. ගමනාන්තය නැග්රැක්. හයිය හත්තිය තියෙන සැර දාලා හෙළ නගින වාහනෙකට මේ පාරවල් අමාරුවෙන් තරණය කරන්න පුළුවන්. සමහර තැන්වලදී හීන් දාඩිය දානවා. ඇඟ ලොමු දැහැ ගැන්වෙනවා. හැබැයි දකින්න ලැබෙන්නෙ දිව්‍යමය සෞන්දර්යය. හෝර්ටන් තැන්න වගේම සමනල රක්ෂිතය සම්මුඛ වෙන්නෙ පුදුම විදිහට. විල් ලූනු මිටිවලින් ජීවිතයට මුක්කු ගහන නවනීදරාජා මට මුණ ගැහුණේ කට්ට මීදුම මැද්දෙදි. මේ අතිශය දුලබ භෝගයේ වං හුං ලෝබ නැතුව මට කියලා දුන්නෙ රාජා.

රාම කුමාරයාගේ ඇඹේනියන්දෑ සීතාව හොරෙන් ගෙනාපු රාවණ මහ රජ්ජුරුවො ඒ ඇත්තිව හංගලා තිබුණු එක් සාවියක්ලු මහඑළිය නැත්නම් අද හෝටන් තැන්න. බාගෙදා සීතා අම්මා කන්ඩ ඇත්තෙ උයාගෙන. ඉන්දියානු කෑමනේ. රජ්ජුරුවො නියම කරලා තිබුණා උන්දැට සුදු ලූනු සලාකයක් දෙන්ඩ. ඉතිං ඈ කුල්ලක දාලා පොළනවා එව්වගෙ පොතු අයින් වෙන්න. මේ පොතු වැටුණු වැටුණු තැන්වල පැළ වෙනවා දිව්‍යමය ආනුභාවයෙන්. ආං ඒව්වා තමයි විල් ලූනු කියලා කියන්නේ. ඕක තමයි නවනීදරාජා කියපු කතාව. මේ පළාත්වල මිනිස්සු අදත් විශ්වාස කරනවා විල් ලූනු බෙහෙත් භෝගයක් කියලා. ඒක නම් ඇත්තක්ම තමයි කියලා මා එක්ක කිව්වෙ මහාචාර්ය පියල් මාරසිංහ මහත්තයා. සමහර වෙලාවට පිදුරුතලාගල, කිරිගල්පොත්තෙ එහෙමත් හමුවණ මේ වගේම විශේෂ ඉන්දියාවෙ නිල්ගිරි ආශ්‍රිතවත් තියෙනවා කියලා එතුමා කියනවා. ඇලියුම් හෙවත් ලූනු පවුලට අයිති අපේ දේශීය ප්‍රභේදය විල් ලූනු කියලා එතුමා කියන්නේ.

නවනීදරාජා වගේ විල් ලූනු නෙළන්නො වනන්තරේට ඇතුළු වෙන්නේ රෑ මැදියමේ නැත්නම් පාන්දර. රාමට, සීතාවට පොළයක් පූජා කරලා වන දෙයියන්ට වැඳලා. කොටි හපුවත් ඉන්න මේ කැලේ ඒ සිරිත් හිතට හයිය ගේනවා. කන්න රොටී ගෙඩි පුළුස්සාන යනවා. බොන්න ලංකාවෙ පිරිසිදුම වතුර. හැබැයි ඔවුන් කවදාවත් මේ භෝගය උදුරලා ගන්නෙ නෑ කපනවා මිසෙක. මොකද හැම අවුරුද්දකම පැළවෙන්න එපායැ.

නවනීදරාජා මට කියලා දුන්න විල් ලූනු ඉවිල්ල හරිම පහසුයි. ලීක්ස් කපනවා වගේ කපාගන්න එකයි මුලින්ම කරන්න ඕන. ඊට පස්සේ මිරිස්, තුනපහ, කහ කුඩු, ලුණු පදමට එකතු කරගන්නවා. ඇඹුලට ගැලපෙන්නෙ නම් තක්කාලි. කැමති නම් උම්බලකඩ කුඩු ස්වල්පයක් එක්කහු කරගන්න. මේවට ලූනු දාන්නෙ නෑ. එක පවුලෙනෙ. කරපිංච එක්ක උළුහාල් ටිකක් දාගන්න. දැන් ඇතිලියක තෙල් ළිප තියලා රත්වුණාම කරවල හරි හාල්මැස්සො හරි දානව නම් මුලිං ඒ ටික බැදගෙන පස්සෙ ඉතිරිවා දාලා මද ගින්නෙ පිස ගන්නවා. කැමති නම් මිටිකිරි ටිකක් එක්කහු කරනවා. හරි ඉතිං මේවා පිසගන්න එක අමාරු නෑ හොයාගන්න එකනෙ වැඩේ.

මේ දවස්වල තියෙන තව ජාතියකින් හදමුද වඩේ. ඒ තමයි දෙල් වඩේ. මං මුලින්ම දෙල් වඩේ කෑවෙ කෝංගල පැටි අයියා හින්දා. හදන්න හරිම පහසුයි. පිටි වෙන්න හොඳට තැම්බෙන දෙල් ගෙඩියක් දෙකක් අරන් ලෙලි ඉවත් කරලා කෑලි කපලා මුටිටියක දාලා තම්බගන්න එකයි මුලින්ම කරන්න ඕන. තැම්බුණු දෙල් කැබලි අඩි වළඳක හරි කට පළල් භාජනයක හරි දාලා නිවෙන්න අරිනවා. ඒ අතරේ අමුමිරිස් කරල් දෙක තුනක්, කරපිංච, ලූනු ගෙඩියක් දෙකක් ලියාගෙන එක්කාසු කරනවා. සැරට ඕන නම් කෑලි මිරිස් ඩිංගිත්තක්. හීන් කොච්චිත් කදිමට පෑහෙනවා. ආයිත් ඕන කරන්නෙ පදමට ගැලපෙන්න ලුණු. දැන් ඉතිං අත එහෙම හොඳට හෝදලා පිරිසිදුව දෙල් ටික ගාණට පොඩි කරගෙන මේ ඔක්කොම අනාගන්නවා. ඔය අතරෙ තාච්චියක් ළිපේ තියලා තෙල් දා ගන්නවා ගැඹුරු තෙලේ බදින්න ඕන තරමට. අත්ලවල පොල්තෙල් ටිකක් ගාලා අර මිශ්‍රණයෙන් බෝල බෝල අරන් ටිකක් පැතලි කරගෙන මැදින් හිලකුත් හදා ගන්නවා උඳු වඩේ වල වගේ. ඔන්න දැන් තියෙන්නෙ තෙල් තාච්චියට දාලා රන්වන් පාට වනතුරු බැදගන්න. පුංචි ඈයින්ට එහෙම වැඩේ දෙල් කරගන්නෙ නැතිව දෙල් කවන්න පුලුවන් විදියක් තමයි දෙල් වඩේ.-

[ලසන්ත ද සිල්වා]

මාතෘකා