කලහාරී වන මැදින් සිනමාවට ආ N!xau

 ඡායාරූපය:

කලහාරී වන මැදින් සිනමාවට ආ N!xau

"The God Must Be Crazy" චිත්‍රපටය ඔබ තවමත් නරඹා නැතිනම් ඔබ තවමත් ලෝක සිනමාවට ආගන්තුකයෙකි. වර්ෂ 1980 දී ලෝකය පුරාම බොක්ස් ඔෆිස් ආදායම් පිහිටුවමින් මිලියන ගණනක් ජනතාවගේ හදවත් තුළට සමීප වන්නට "The God Must be Crazy" චිත්‍රපටයට හැකි වුණි.

මෙහි ප්‍රධාන චරිතය රඟපෑවේ කලහාරී වන මැද ජීවිතය ගෙන ගිය බූෂ්මන්වරයෙකි. බූෂ්මන්වරුන්ගේ ඔවුන්ටම ආවේණික වූ "ටික්" හඬත් සමඟ දිවෙන් කියන Ungwatsi (උන්ග්වත්සි) භාෂාවේ වචන ශබ්ද කරන ආකාරයක් ඉංග්‍රීසි භාෂාවේ තිබුණේ නැත. ඒ නිසා සිනමා කර්මාන්තය තුළ ඔහුගේ නම ශබ්ද වූයේ "N!xau" (න!සඅවු) නමින්. එය ඔහුගේ එකම නමත් වුණා.

නමුත් සිනමාව තුළත්, පුවත්පත් තුළත් ඔහුගේ රට වූ නැම්බියාව තුළත් ඔහුගේ නම "Gcao" (ගකාඕ) ලෙස සටහන් වුණා. ඊට අමතරව ඔහුගේ දෙවැනි නම "Coma" ⁣(කෝමා) ලෙසත් සටහන් වුණා. කලහාරි වන මැද ගෝත්‍රයක් ලෙස ජීවිකාව ගෙන ගිය මේ කෝමා විසින් 1981 දී රඟපෑ The God Must Be Craazy චිත්‍රපටය අසූව දශකයේ සෑහෙන්න ප්‍රසිද්ධියටත් පත්වුණා. එය එක්සත් ජනපදය තුළ පමණක් ඇමරිකානු ඩොලර් මිලියන සීයයක ආදායමක් උපයා ගැනීමට සමත් වූ බව සඳහන්. චිත්‍රපටය ගැන කතා කරන විට එහි මුල්ම චිත්‍රපටය ආරම්භය තුළ ඇත්තේ සාමකාමී මෙන්ම ස්භාවධර්මයට අනුගතව ජීවත් වු බූෂ්මන්වරුන් සිටින ප්‍රදේශයකට ඉහළ අහසේ ගමන් ගත් ගුවන් යානයකින් වැටෙන හිස් කෝකාකෝලා බෝතලයක් වැටීමත් සමඟ සිදුවන අපුරු සිදුවීම් මාලාවක් වටාය. සාමකාමී ඔවුන්ගේ ජීවිතයට කිසිදාක දැක නොතිබූ මේ අපුරු වස්තුව ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට විශාල වාසියක් ගෙන දෙන දෙයක් වුණා.

නමුත් මෙය සියලු දෙනාටම අවශ්‍ය දෙයක් වුණු නිසා ඔවුන්ගේ ගෝත්‍රයේ සාමකාමී බවටද එය බලපෑමක් එල්ල වුණා. අවසානයේ ගෝත්‍රය තුළ ගැටුම් පවා ඇති වුණා. N!xau හා Xixo කියන වැඩිමහල් බූෂ්මන්වරුන් දෙදෙනා විසින් මෙය දෙවියන්ට පිස්සු හැදී ඔවුන් වෙත එවූ දෙයක් බව සිතා, එය ලෝක අවසානයට ගොස් විනාශ කරන්න තීරණය කරනු ලබනවා.

මෙතැන් පටන් N!xau (න!සඅවු) ලෝක අවසානයට ගමන් කිරීමේ සුදු මිනිස්සුන්ගේ සමාජ ක්‍රමයට හසුවීම හා එය ඔහු වරක විහිළු සහගතවත්, කුතුහලය උපදවන ලෙසත් දකින ආකාරයත් ඔහුට මුහුණ දීමට සිදුවන අපුරු සිදුවීම් වටා මෙම චිත්‍රපටය ගොඩනඟා තිබුණා. මෙය තුළ ඒ සිදුවීම් පාදක කරගෙන ඇත්තේ නාගරීකරණය වීමත්, ඒහා සමගාමීව සමාජ වෙනස් වීමත් යන තේමාවන් මූලික කරගෙන බව එය නරඹන ඕනෑම අයෙකුට තේරෙන දෙයකි.

1984 දී "The God Must Be crazy" දෙවන චිත්‍රපටයත්, වර්ෂ 1994 දී හොංකොං වලට යන සංචාරයක් ගැන තිබූ චිත්‍රපටයෙන් ඔහුගේ සිනමා දිවිය අවසන් වෙනවා. මුල දී ඔහුට ඔහුගේ රංගනය වෙනුවෙන් මුදල් ලබා දුන්නත් කලහාරි වන මැද ජීවිතය ගෙන ගිය මේ බූෂ්මන්වරයාට මුදල්වල වටිනාකමක් තිබුණේ නැත. ඒ වෙනුවට ඔහුට හරක් ජෝඩුවක් ලබා දී තිබුණා.

නමුත් පසුව ඔහු විසින් මුදල් භාවිතය දැන ගන්නා අතර තමන් ජීවත් වූ කලහාරී වනපෙත් වලින් මිදී කොන්ක්‍රීට්වලින් නැංවුණු නාගරීකරණයට ලක්වු දියුණු සමාජ ක්‍රමයක් පැවැති අප්‍රිකානු සමාජයට හුරු වුණා. ඔවුන්ට ආවේණිකව තිබු කලහාරී වනයෙන් ලබා ගත් දැව කොළ අතු වලින් සෑදු නිවෙස් වෙනුවට ගොඩොල් වලින් සෑදු, වහලට සීට් සෙවිලි කර නිවෙසක් ඔහු සාදාගත්තා..

සැතපුම් සිය ගණන් වෙනදාට පයින් ගමන් කළ ඔහු කාර් රථයක් ද

තමන්ගේ භාවිතාව සඳහා ගත්තා. නමුත් ඔහු කිසිමදාක එය පදවන ආකාරය දැනගෙන සිටියේ නැහැ. වෙනදාට ඔහුට වතුර සොයා කලහාරී වෙනපෙත් පුරා යාමට සිදු වුණත් ඔහුගේ අලුත් නිවෙසට ටැප් මඟින් පානීය ජලයත් ඔහු සපයා ගත්තා.

බූෂ්මන්වරුන් යනු සහජයෙන්ම නළුවන් පිරිසකි. ඔවුන් කලහාරී වන අරණ ගෙවන ජීවිතයේ දී විලෝපිකයන්ගෙන් ජීවිතය ගලවා ගැනීම අරඹයා සෑමදාකම රංගනයේ යෙදෙයි. ඔහුගේ මේ හැකියාව නිසාම "The God Must Be Crazy" චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වූ Jamie Uys (ජෙමී උයස්) විසින් N!xau ට අවස්ථාවක් ලබා දුන්නේය.

ඉහත කියූ ලෙසම ඔහුට විශාල සැප සම්පත් ප්‍රමාණයක් ද ලැබිණි. ඒ සමගම ඔහුගේ ගෝත්‍රික ජීවන රටාව බිඳ වැටුණු අතර නාගරීකරණය වූ සමාජයක පුද්ගලයෙකු ලෙස ඔහුගේ ජිවිතය හැඩ ගැසුණි. කිසිමදාක සිගරට්, අරක්කු නොදුටු මේ කලහාරී වැසියා මේ දියුණු සමාජ ක්‍රමය තුළ දී දැඩි ලෙස ඒවාට හුරු විය.

2003 වසරේ ජුලි 01 වෙනිදා ඔවුන්ගේ සම්ප්‍රදායික ගිනි මැලයට සහභාගී වීමට ගොස් තිබුණත් නැවත නිවෙස බලා පැමිණියේ නැත. පවුලේ සමාජිකයන් ඔහුව සොයා බලා ඇති අතර පසුව ඔහු මියගොස් සිටිය දී සොයා ගනු ලබනවා. ඔහු ජීවත් වූ බටහිර අප්‍රිකාවේ නැමීබියා වල Tsumkwe area (සුම්ක්ක ප්‍රදේශය) පොලීසිය විසින් ඔහුගේ මරණය ජුලි 05 වෙනිදා වෙනකන් තහවුරු කර තිබුණේ නැහැ. ඔහුගේ මරණයට හේතුව ලෙස සටහන් වුණේ tuberculosis (ක්ෂය රෝගය) යයි. ඔහු කාලයක සිට ක්ෂය රෝගයෙන් පීඩා විඳි බවට හෙළි වී තිබුණා. ඔහු කලහාරී වන මැද ඉපදී තිබූ නිසා ඔහුගේ උපත තහවුරු කර ගැනීමට හැකියාවක් තිබුණේ නෑ. නමුත් ඔහුගේ උපත 1944 දී සිදු වූ බවට තහවුරු කරගෙන තිබුණා.ඔහු 2003 දී ඔහු මිය යන විට වයස අවුරුදු 59ක් යැයි සඳහන්ව තිබුණා.

ඔහු මිය යන විට ඔහුගේ බිරිඳ කෝරා හා දූවරුන් හතරදෙනාත් පුතාලා දෙදෙනාත් සමඟ ජීවත් වුණා.

The Guardian ඇසුරිණි.

[සංජේ රණවක]

මාතෘකා