නූතන දේශීය නාට්‍ය කලාවේ පියා, දයානන්ද ගුණවර්ධන

 ඡායාරූපය:

නූතන දේශීය නාට්‍ය කලාවේ පියා, දයානන්ද ගුණවර්ධන

1956 වර්ෂය දේශීය සමාජය අතිශයින්ම වෙනස් සමාජ ධාරාවක් ඉල්ලා සිටි කාලයකි. ඩබ්ලිව්. ඩී. අමරදේව, එදිරිවීර සරච්චන්ද්‍ර, ලෙස්ටර් ජේමිස් පීරිස්, ජෝර්ජ් කිට්, මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී.සේනානායක, සෙනරත් පරණවිතාරන වැනි නම් දේශීයත්වයත් සමඟ ඉහළට එසවී එන්නේ මෙම සමාජ පෙරළිය හේතුවෙනි. සෑම අංශයකම දේශීය සලකුණ සනිටුහන් කිරීම අරමුණ විය. දේශීය නාට්‍ය කලාවක් බිහිකිරීමෙහිලා අනුපමේය සේවයක් කළ එදිරිවීර සරච්චන්ද්‍ර විසින් නාඩගම් ශෛලියෙන් අභාෂය ගෙන විදග්ධ නාට්‍ය කලාවක් බිහිකරනු ලැබීය. එතැන් සිට දේශීය නාට්‍ය කලාව සරච්චන්ද්‍ර නම් විසල් ආලෝකය මධ්‍යයේ වර්ධනය විය. එතැන් සිට ශාස්ත්‍රීය වාද විවාද නිසා නොපෙනී ගිය නාට්‍ය කරුවා වන්නේ දයානන්ද ගුණවර්ධනයන් ය.

තමා විසින්ම ගොඩනගා ගත් නව රංග සම්ප්‍රදායක් කෙරෙහි නිරතුරුවම විශ්වාසය තමබිමන් නිර්මාණ කරණයට පිවිසි දයානන්ද ගුණවර්ධනයන් ශාස්ත්‍රීය වේදිකාවෙන් පිටමං කලාක් මෙන්ම ඔහුට අද දක්වාම හිමිවිය යුතු ගරුත්වය ද ලබා දී නැත.

එදිරිවීර සරච්චන්ද්‍ර ගම් නියම් ගම් සැරිසරමින් දේශීය නාට්‍ය කලාවේ පදනම සකස් විය යුත්තේ කුමක් පදනම් කරගෙනද යන පර්යේෂණය සිදුකරන විට දයානන්ද ගුණවර්ධනයන් ද එම සොයාබැලීමේම නිමග්න විය. සරච්චන්ද්‍ර මහතා එතෙක් ප්‍රාදේශීය වශයෙන් ජනප්‍රියව පැවැති නාඩගම් කලාවේ යම් යම් අංග එක් කරමින් ශෛලීගත ආකෘතියේ නාට්‍ය කලාවක් නිර්මාණය කළේය. එතැන් සිට එම නාට්‍ය කලාව පේරාදෙණිය ගුරුකුලය ප්‍රමුඛ කරගත් ශාස්ත්‍රීය වචන හරඹවලට ගොදුරු වූ අතර පසුව පාසල් විෂය නිර්දේශයන්ට එම නාට්‍ය ඇතුළත් වීමෙන් පසුව විභාග අරමුණු කරගත් නාට්‍ය කලාවක් දක්වාම පහළ බැස්සේය.

මෙම කාලය වන විට නාඩගම් පිරිහෙමින් තිබූ යුගයක් විය. නූර්ති හා විශ්ව විද්‍යාල ආශ්‍රිතව ලෝකයේ ජනප්‍රිය නාට්‍ය කරුවන්ගේ පරිවර්තන නාට්‍ය නිෂ්පාදනය වෙමින් පැවතුණි. සරච්චන්ද්‍ර එවකට ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද නාඩගම් ආකෘතිය ගුරුකොට ගන්නා විට දයානන්ද ගුණවර්ධනයන් දේශීය සොකරියේ, කෝලම් නාට්‍යයේ ආභාෂය ලැබීය. නාට්‍ය යනු විදග්ධ මිනිසුන් අතෙහි පැවතිය යුත්තක් නොව, සාමාන්‍ය ජනයා අතර සරළ රසවින්දනයක් හා ජීවන අවබෝධයක් ලබාදිය යුත්තක් බව ඔහු විශ්වාස කළේය. මේ නිසා සරච්චන්ද්‍ර පණ්ඩිතයින් සදහා මනමේ නාට්‍ය නිෂ්පාදනය කරන විට දයානන්දයන් ගැමි කතාවක් හා සොකරි කෝලම් හා රබන් පද ආශ්‍රයෙන් නරි බෑණා නාට්‍ය නිෂ්පානය කළේය. මනමේ නාට්‍ය දර්ශනවාර සියය සම්පූර්ණ කරන විට නරිබෑණා නාට්‍ය දර්ශනවාර දහස අවසන් කර තිබුණි. දයානන්ද ගුණවර්ධනයන්ට විවිධ දුක් කම්කටොලු වලට මුහුණ දෙන්නට සිදු වන්නේ මේ නිසාය. නරිබෑණා නාට්‍යයෙන් ඇරැඹි නාට්‍ය ගමන් මගෙහි කාමරයේ පොරේ, ඇමතිපට්ටම, පරාස්සයා, වෙදහටන, ස්වර්ණතිලකා, බක්මහ අකුණු, දෙන්න දෙපොලේ, ඉබිකට්ට හෙවත් ජීවන වංචාව, ජසයා හා ලෙංචිනා, කබායේ හබය, පද්මාවතී නූර්ථිය, රොෂානා, ගජමන් පුවත, ආනන්ද ජවනිකා, මධුර ජවනිකා, විකාරයේ අකාරය යන නාට්‍ය දේශීය වේදිකාව වෙනුවෙන් නිෂ්පාදනය කෙරිණි.

බක්මහ අකුණු නාට්‍ය නිෂ්පාදනය කරන්නේ 1962 දේශීය වේදිකාවට ප්‍රථම වරට කැරැකෙන වේදිකාව හදුන්වා දෙමින් ය. එය ඉතාමත් ඉදිරිගාමී පියවරක් විය. එපමණක් නොව විදේශීය කෘතියක් වුවත් දේශීය ලක්ෂණ මතුවන ආකාරයෙන් එය ඉදිරිපත් කර තිබුණි. ඔහුගේ ජසයා හා ලෙංචිනා කෝලම් නාට්‍ය ආභාෂයෙන් නිර්මානය කරන ලද්දකි. වර්තමානයේ දී පවා ජසයා හා ලෙංචිනා ඉහළ ජනතා ආකර්ශනයක් දිනා ගනියි. ඉතා දීර්ඝ කාලයක් පුරාකරන ලද විමර්ශනයකින් පසුව දේශීය වේදිකාවට වාර්තා රංගය හඳුන්වා දෙන්නේ දයානන්ද ගුණවර්ධනයන් ය. එකකට එකක් සම්බන්ධ නොවූ කතා ප්‍රවෘතියක් දැණුම අරමුණු කරගත් ප්‍රේක්ෂකාගාරයක් වෙත මුදා හැරීම මෙමගින් සිදුවේ.

සොකරි කෝලම් නාට්‍ය අභාසය ගැනීම, රස වින්දනය ප්‍රමුඛකරගත් නාට්‍ය කලාව, ජනතාවට සමීප නාට්‍ය කලාවක් බිහිකිරීම, කැරැකෙන වේදිකා භාවිතය, වර්තා රංගය භාවිතා කිරීම වැනි නවතාවයන් ගණනාවක්ම දයානන්ද ගුණවර්ධනයන් නිසා ඇතිවිය. සරච්චන්ද්‍ර ආරම්භ කළ ශෛලිගත ආකෘතිය ඔහු මිය යෑමට පෙරම අභාවයට ගියේය. දයානන්ද ගුණවර්ධනගේ නාට්‍ය අද වුවද ලංකාව පුරාම රසවිඳිනු ලබයි. ආසියාතික මිනිසුන්ට වඩාත් ගැළපෙන්නේ සුඛාන්ත නාට්‍ය ලෙස ඔහු ප්‍රකාශ කිරීමෙන්ම නාට්‍ය කලාව කෙරේ ඔහුට තිබූ දැක්ම අගය කළ යුතුය. එහෙත් එදත් අදත් ඔහු වෙනුවෙන් විචාර ලෝකයේ පිටුවක් වෙන් නොකෙරිණි.

1993 ජූනි 18 දින එල්ෆිස්ටන් රගහලෙහි මධුර ජවනිකා නාට්‍ය රඟදැක්විණි. ප්‍රේක්ෂකාගාරය නව නාට්‍ය අත්දැකීමකින් ඔල්වරසන් දුණි. පෙර සේම මහත් වූ ප්‍රීතියෙන් හා ලැජ්ජාවෙන් දයානන්ද ගුණවර්ධනයන් නාසය කසමින් ප්‍රේක්ෂකාගාරයෙන් ඈතට වී සිටියේය. නාට්‍ය අවසන් කර නළු නිළි සියල්ලෝම ප්‍රේක්ෂකයන්ට හිස නැමීමට වේදිකා මධ්‍යයට පිවිසියත් ඒ නිහතමානී මිනිසා එහි නොවීය. පෙළ මතක් කරන්නන් දෙදෙනා යුහුව ගොස් ඔහුව වේදිකාවට නැංවූහ. මහත් වූ ජනතා හරසර දක්වමින් උතුම් වූ අත්පොළසන් නාදයෙන් එල්ෆිස්ටන් රගහලම ගිගුම් දුනි. ඉහවහා ගිය ප්‍රීතියෙන් දයානන්ද ගුණවර්ධයන්ගේ මොළයේ නහරයක් අධික පීඩනය නිසා පිපිරී ගියේය. දයානන්ද ගුණවර්ධනයන් වේදිකාව මතදීම ප්‍රේක්ෂක හරසර මැද්දේම මෙලොවෙන් සමුගත්තේය.

එලෙස ජීවන වේදිකාවෙන් බැසගියේ වෙන කිසිවෙකු නොව, නුතන දේශීය වේදිකාවට අතිශයින්ම බලපෑම් කළ නුතන දේශීය නාට්‍ය කලවේ පියා වූ දයානන්ද ගුණවර්ධනයන්ය.

[ගාමිණි බස්නායක]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?