අනුන්ගේ සාද ගැන විකාර හීන | ඇස පාදන රැස


අනුන්ගේ සාද ගැන විකාර හීන

 ඡායාරූපය:

අනුන්ගේ සාද ගැන විකාර හීන

එංගලන්තයේ හැරී කුමාරයා ලංකාවට පැමිණ රූපලාවන්‍ය ශිල්පියෙකු වූ චන්දිමාල්ව මුණ ගැසිණි. තමන්ගේ විවාහයේ උණුසුමට නොදෙවෙනි සාදයක් කරන්නැයි ආරාධනා කිරීම එහි අරමුණ විය. ඒ අතරම ෂැංග්‍රිලා හෝටලය අයිති චීන සමාගමද චන්දිමාල්ට ආරාධනා කර සිටියේ සිය හෝටලයේ මාළු පාන් බිල් පෙන්වමින් තමන්ට "කෝචොක්" දමන උන්ට යස පාඩමක් උගන්වන ලෙසය. සියල්ල හිතට ගත් චන්දිමාල් සාදය තිතට කළේය. මාළු පාන් ප්‍රශ්නය නිසා ෂැංග්‍රිලාවට බිය වූ බොහෝ දෙනා සාදයේ වාඩි ලා උන් අතර ඊට දෙගිඩියාවෙන් සිටි වෘත්තීය සමිති කරු‍වෝ පිරිසක් සාදයට වියදම් කළ මුදල් දුප්පතුන්ට බෙදා නොදුන්නැයි ෂැංග්‍රිලාව ඉදිරියේ උද්ඝෝෂණයක නිරත වී සිටියහ. සමහර මාධ්‍ය නාලිකා සහ දේශපාලන පක්ෂ මේ සාදය සදහා චන්දිමාල්, ඇලෝසියස්ගෙන් මුදල් ලබාගෙන ඇති බව කියමින් ඔහුට දිගට හරහට පහර ගසන්නට පටන් ගෙන තිබිණි. දේශපාලකයන්ට තමන්ගේ ජන්ද ව්‍යාපාර සඳහා ඇලෝසියස්ලාගෙන් මුදල් ගත හැකි නම්, තමා උපන් දින සාදයක් සඳහා එසේ කිරීමේ වරද කුමක්දැයි මාධ්‍ය හමුවක් කැඳවා චන්දිමාල් යටිගිරියෙන් කෑ ගසා අසද්දී, මම දහඩිය පෙරාගෙන නින්දෙන් අවදි වුණෙමි. අනුන්ගේ සාද ගැන විකාර හීන පෙනී නින්ද කැඩුනාට හිතින් බැන බැන මම බකුසුවත ලියන්නට පටන් ගතිමි.

මැරෙන දිනයත් ලොකුවට සමරන එකේ, උපන් දිනයක් සැමරීමේ ලොකු අවුලකුත් නැත. උපන් දිනේට කේක් ගෙඩියක් කපා, පංසලකට, පල්ලියකට හෝ කෝවිලකට ගොස්, ළමා නිවාසෙකට, වැඩිහිටි නිවාසෙකට දානයක් දී, අඩුම තරමේ මරාගෙන කන හරකෙකු එදාට හෝ මරණින් බේරාගෙන එය සමරන්නට මට ඇති අයිතිය, තමාගේ මුදලින් ෂැංග්‍රිලාවේ රාජකීය සාදයක් දමා උපන් දිනය සැමරීමට චන්දිමාල්ටද තිබිය යුතුය. ඔහුගේ සාදයට උඩ, යට කෑලි එළියේ දමාගෙන හෝ යට ඇඳුම් පිටින් වුවද පැමිණීමේ අයිතිය නළු නිළියන්ටද තිබේ. ඒවා දැකීමෙන් අපේ සුචරිත සමාජයේ සදාචාර අවයව ප්‍රාණවත් වන බව නොදැන, ඒවා ෆොටෝ ගසා, වීඩියෝ කර පෙන්වනවාට, වෙබ් පේජ් කාරයන්ට, චැනල් කාරයන්ට සහ පත්තර කාරයන්ට තැළීමට කුමක් හෝ රිදෙන වලිගයක් සොයාගත යුතුය. නිවේදක, නළුවෙකු වන විශ්ව ඒ ගැන දැරූ අදහසකට නිළියක බව පැවසෙන පියුමිට කේන්ති ගොස් තිබුණි. ඇගේ අදහසට අනුව "සික්ස් පැක්" හදාගැනීමේදී අවයව බෙලහීන වන්නේය. විශ්වලා වැනි අය පියුමිලාගේ එක එක "පැක්" ෂෙයාර් කරන්නේ ඒ නිසාය. ඇයට අනුව ඒවා පිරිමි වැඩ නොවේ. චීත්ත වැඩය. පියුමිගේ ඇඳුම් ලිහා, කෙසෙල් ගෙඩි කවා හම්බකරගත් ඉරාජ්ට "සික්ස් පැක්" නැත. ඒ නිසා ඔහු පිරිමියෙකි. පියුමිගේ ප්‍රකාශයට උත්තර බඳින්නට විශ්ව සිය බිරිඳ අම්මාට සම කොට නිළියන් ගණිකාවන් කළේය. මට ප්‍රශ්නය ඇත්තේ ඔහුගේ පිරිමිකම ගැන නොවේ, නිවේදකකම ගැනය. "උඹලා උඩ දැමූ නිළියන් උඹලාටම තළන රඟ" යැයි සිනාසී මම කරබාගතිමි.

අනුන්ගේ සාද ගැන සියල්ලෝම වාද කරමින් සිටියදී, තමන්ගේ සාදය ගැන සාදය දැමූ චන්දිමාල් කළ කෙලින් කතාව සිත් ගන්නාසුලුය. ඔහුගේ කතාවේ ආකර්ෂණීයම කොටස තමන් මෙතැනට පැමිණියේ නිළියන්ගේ මූණු නිසා බව පැවසීමය. මූණු පින්තාරුව කලාවක් නොව දැවැන්ත ව්‍යාපාරයක් බව ඔහුගේ කතාව පසක් කළේය. කලාව රැකගැනීමේ ව්‍යාපාරයට වඩා නිළියන්ගේ මූණු රැකගැනීම ඵලදායී ව්‍යාපාරයක් බව ඔප්පු කළ එකම සාක්ෂිය චන්දිමාල් ජයසිංහ නොවේ. ගමේ,ගොඩේ නිවසක ගසා ඇති කුඩා සැලෝන් බෝඩ් ලෑල්ලේ සිට, මහා පරිමාණ ව්‍යාපාර දක්වා මේ රූපලාවන්‍ය උමතුව පැතිර පවතී. අපේ රූපවාහීනී නාළිකා දවසෙන් භාගයක් වෙන්කර ඇත්තේ මේවාටය. රුව රකින උපදෙස් සමඟ ගෙදර නෝනලා හමුවෙන සැලෝන් නෝනලා අපමණය. තත්වයක්, ප්‍රමිතියක් ගැන විශ්වාසයක් නැති ආලේපන ගැන ප්‍රවර්ධන වැඩසටහන් බොහෝය. තම දරුවාගේ උපන්දිනයේ සිට විවාහය, මරණය දක්වා ආටෝප ප්‍රදර්ශනයට වහල් වී ඇති අප, චන්දිමාල්ලාගේ සුපිරි සාද වලට නාහෙන් ඇඬිය යුතු නැත.

රූපලාවන්‍ය ව්‍යාපාර වලට කළ හැක්කේ මුහුණ නිර්මාණය පමණි. ඒ මූණු මේ රටේ චරිත කළේ කවුරුන්ද යන වග හිතන්න. එසේ කළ ඔබගේ රසිකත්වයට ප්‍රසිද්ධියේ පහර ගසන නළු,නිළි මානසිකත්වය දකින්න. රූපලාවන්‍යය සහ රංගනය යන දෙකම දැන් ලංකාවේ ව්‍යාපාර පමණි. ඔබ ඔවුන්ගේ ගනුදෙනු කරුවන් බැවින්, මේ ගනුදෙනුව ඔබට වාසි වන ලෙස කරන්නට හිතට ගන්න. ඔබ අහසට නංවා විරාජමාන කළ තරු අහසේ සිට ඔබට කුහකයන්, කුපාඩියන් කියන හඬ අහන්න. ඔවුන් එතැන සිට ඔය හඬ තළන්නේ ඔබේ කුහක, කුපාඩි රසාස්වාදයේ අනුහසින් බව පිළිගන්න. පෙන්වූ හංසයන් නිසා පියුම් සේ පිපුණු ඔවුන්ට මඩෙන් මතුවූ නෙළුම් සේ ඔබට ගරහන්නට නොදෙන්න. කැහැටු, හොටු කෙල්ලන් කුමාරිකාවන් කළ, තාරකාවන් කළ, උන්ගේ රියැලිටිවල ඉත්තන් වූ ඔබව කණ්නාඩියෙන් බලන්න. ඔවුන් අඩුවෙන් ඇඳුම් අදින්නේත්, වැඩියෙන් ඇඳුම් ලිහන්නේත් තව දුරටත් මේ කුපාඩි රසවින්දනයේම ඔබව තබාගන්නට බව මෙනෙහි කරන්න. ඔවුන්ට සාද දමන්නට, ජෝගී නටන්නට හැර නිහඬවන්න. මේ කලාව අපේ බවත්, එය ඇත්තේ අපේ ‍රසවින්දනය සඳහා බවත් ඔවුන්ට සිහි කැඳවන්න. අපේ කලාව ඔවුන්ගේ විනෝද සාද කරගන්නා නිර්මාණ ඇතුළේදී ඔවුන්ව නිරුවත් කරන්න. වඩා නිවැරදි දැකීම නිර්මාණකරණයේදී ඔවුන් එහි අපොහොසත් බව දැකීමයි. ඔවුන්ගේ ඒ හෙළුව දැකීම වඩා ප්‍රාණවත් දැකීමයි. එසේ දැක අප කුහකයන්, කුපාඩියන් වූවාට කම් නැත.

[ධනුෂ්ක බස්නායක]

මාතෘකා