ආදරයේ මැජික් | ඇස පාදන රැස


ආදරයේ මැජික්

 ඡායාරූපය:

ආදරයේ මැජික්

සින්දු පහයි, පයිට් පහයි, කෙල්ලයි - කොල්ලයි, දුශ්ටයයි. සාම්ප්‍රදායික ආදර කතාවක අනිවාර්‍ය සිද්ධි හා චරිත ටික. ආදර කතාවක් ගැන ලියද්දි හරි හදද්දි හරි එක එක විදියට කැරකැවෙන්නෙ ඔය ආකෘතියමයි. ඒත් , රසය හා වෙනස තියෙන්නෙ වැඩේ ගලපන හා නිරූපණය කරන තැනදි.

ආදරේ කියන්නෙ හරියට මැජික් එකක් වගේ. අපි එහෙම අහලා තියෙනවා. ආදරේට පුළුවන් අපිව වෙනස් කරන්න. ඔව්, ඒ කතාවෙ වැරද්දක් ඇත්තෙත් නැහැ. ආදරේ මැජික් එකක් වගේ කියන්නෙ ඒක ඇස්බන්දුමක් නිසාද ? කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ කියන්නෙ ආදරේ ඇතුළෙදි දෙන්නා ඉන්නෙ මාර විදියට ඇදගෙනද? ඒ ගැටලු ටික ඔබ ඉස්සරහ එහෙම්ම අතාරිනවා මම.

දැන් මං එනවා කලින් කතා කරපු සාම්ප්‍රදායික ආකෘතියක ආදර කතා කොටසට. කෙල්ලෙක් කොල්ලෙක් විදියට අපි කවදාවත් හිතලා තියෙනවද මැජික්කාරයෙකුට ආදරේ කරන්න? මං කියන්නෙ රස්සාව විදියට මැජික් කරන කෙනෙක්ව? ඒක් එහෙම නොවුණත් ඕනම කෙනෙක් ආදරේ කරන්න හොයන්නෙ මැජික්කාරයෙක්ව කියල මං කියනවා. ඒ කොහොමද? අපි කැමති පුදුමයට පත්වෙන්න. උද්දාමයෙන් සතුටු වෙන්න. කෑගහන්න. කොටිම්ම කිව්වොත් අපි කැමති surprise වෙන්න. ඒ නිසා ඇතුළාන්තෙන් අපි අනිවාර්‍යෙන්ම හොයන්නෙ ඒ වගේ මැජික් එකක් කරන්න පුළුවන් කෙනෙක්ව. ඒ කෙනා වෘත්තීයෙන් මැජික්කාරයෙක් නොවුණට invisible මැජික්කාරයෙක් වගේ එකක් අපි බලාපොරොත්තු වෙනවා.

සොෆී කියන්නෙ ඒ වගේ කෙල්ලක්. එයා වංශවත් පවුලක් හැදෙන ආදරණීය කෙල්ලක්. මෙයාට ඕන වෙන්නෙ තමන්ගෙ පෙම්වතා වෘත්තියෙන් මැජික්කාරයෙක් වෙනවා දකින්න. ඔහුගෙ උමතුවත් ඒක. මේ කතාවෙත් ඉන්නවා සාම්ප්‍රදායික දුෂ්ඨයා. ඒත්, වෙනස තියෙන්නෙ, මොවුන්ගෙ ගනු දෙනුව කඩු කිනිසිවලින් සිදු නොවීමයි. ඒ කියන්නෙ අත පය වීසිකරන ෆයිට් මේකෙ නෑ. ඔක්කෝම වෙන්නෙ මැජික් වලින්. නව යොවුන් වියේ කාලෙදිම සොෆීට පෙම්වතා අහිමි වෙනවා. ඇගේ වංශය ඇයට ඔහු අහිමි කරවනවා. ඒත් එක කාලෙකදි ඔවුනොවුන් මුණ ගැහෙනවා. එතකොට පෙම්වතා ලෝකප්‍රකට මැජික්කාරයෙක් . සොෆී තවමත් අවිවාහක වුණත් ඇයව පතාගෙන කෙනෙක් ඉන්නවා. ඔහු පොලිස් නිලධාරියෙක්. ඔහු සිටින්නෙ මැජික්කාර පෙම්වතා ගැන කෝපයෙන් සහ සැකයෙන්. ඔහුගෙ මායාත්මක දැනුම සහ ඇස්බැන්දුම් ගැන පොලිස් නිලධාරියාට තියෙන්නෙ ඊර්ෂ්‍යාවක්. මේ ආදර කතාව ලස්සන වෙන්නෙ ඇස්බැන්දුම් සටන නිසාමයි.

බලං ඉන්න ප්‍රේක්ෂකයාට සැකයක් නොහිතෙන විදියට ඔහු කරන ආදරයේ ඇස්බැන්දුම ඉතාම තියුණුයි සහ දියුණුයි. මේකෙ තියෙන්නෙ රහස්‍යමය ගේමක්. ආදරය වෙනුවෙන් මැජික්කාරයෙක් ගහන ගේමක්. ඒකෙ අවසානය, සාම්ප්‍රදායික වුණත් ඒ වෙනුවෙන් ඔහු කරන සටන නිර්මාණාත්මකයි සහ දැඩියි. කූඹියෝ වගේ ලංකාවේ ගේම් අස්සෙ හිරවෙලා හිටිය අපිට illusionist කියන්නෙ අනිවාර්යයෙන් රසවිදිය හැකි චිත්‍රපටයක් . ඒ ගේම වෙන්නෙ කොහොමද කියලා බලන්න බල කරන කුතුහලයක් එක්ක මං නවතිනවා. ආදරයේ මැජික්!!!!

[සසංකා විතානගේ]

මාතෘකා