ඒක මහ වීරකමක් නෙමෙයි !

 ඡායාරූපය:

ඒක මහ වීරකමක් නෙමෙයි !

“මේ මිනිහා මැරුනොත් හොඳයි ඩොක්ටර්” මා අසලට පැමිණි වැඩිහිටියා පැවසූ දෙයින් මගේ හිත සසල විණි.

ප්‍රාදේශීය රෝහලකින් අප වෙත එවා තිබුණේ සිහිසුන් වූ මැදිවියේ මිනිසෙකි. ඔහුගේ මුඛය ඔස්සේ ඔක්සිජන් සපයන නාලය සිලින්ඩරයට සම්බන්ධ කර තිබේ. හුස්ම වැටෙන්නේ මහත් වෑයමකිනි. ජංගම ශ්වසන ආධාර උපකරණයකට සම්බන්ධකර ඔහුව මෙහි ප්‍රවාහනය කර තිබේ. ඔහුගේ ඇස් පරීක්ෂා කළ අප දුටුවේ කළු ඉංගිරියාව ඉතා කුඩා වී තිතක් ආකාරයට ඇති බවය. ( pinpoint pupils). මේ ලක්ෂණයට හේතු ගණනාවක් ඇත. ඔපියොයිඩ් අඩංගු මත්ද්‍රව්‍ය හෝ ඕගැනොෆොස්ෆේට් අඩංගු කෘමිනාශක වැනි රසායනික ද්‍රව්‍යවල බලපෑම එක් හේතුවකි.

“මේ මිනිහා ජීවත් වු‍ෙණ් සතෙක් වගේ, ඒ පැත්තටම ගංජා , කසිප්පු හොර අරක්කු වික්කේ මේ මිනිහා. ඒකයි මූ මැරුණොත් ගමටම සෙතක් කියන්නේ, සිහි නැති වෙන්නැත්තේ ඔය ජරාව බීලා තමා” අර වැඩිහිටියා තවදුරටත් පැහැදිලි කළේය.වෛද්‍යවරුන් වන අපට සෑම රෝගියෙකුම එක සමානය. එනිසා හැම ජීවිතයක්ම බේරා ගැනීමට අප වගකීමෙන් බැඳී සිටිනවා.

මා ඉදිරියේ සිටින අවුරුදු දහ හතක යෞවනයා බිමට පාත් කරගත් හිසින් යුතුව යාබද අසුනේ තම පියාගේ හඬාවැටීම දරාගත නොහැකිව මුහුණ ඔසවා හෝ බලන්නේ නැත.“ මේ මගේ එකම දරුවා ඩොක්ටර්. මම හිතුවේ නෑ මගේ දරුවා මේවට යොමු වෙයි කියලා” ඔහු හඬා වැටේ.

මා ඉදිරියේ සිටින දරුවා යහලුවන් මඟින් විවිධ පෙති වර්ග භාවිතයට යොමු වී තිබේ. දැන් අප වෙත යොමු කර තිබුෙණ්, සිහිසුන් ලෙස සිටියදී පොලීසිය විසින් ඔහුව රෝහල්ගත කරාට පසුවය.

“ඉස්සෙල්ලාම පාවිච්චි කළාම පාවෙනවා වගේ දැනුණා. පස්සේ පෙති ගාන වැඩි කරන්න වුණා, නැත්නම් ඇඟම ගැහෙනවා ඩොක්ටර්” නගරයේ ඇති ෆාමසිවලින් වැඩි ගණන්වලට මේ පෙති ලබාදෙන බව පවසයි.

ඇබ්බැහිය යනු එයයි. මත්ද්‍රව්‍ය මත්පැන් මේ සියල්ලෙන්ම බලපෑම් කරන්නේ අපේ ශරීරයේ, මොළයේ ස්නායු සෛලවලට ය. තාවකාලික උත්තේජනය ඔස්සේ තව තව ඇබ්බැහි වෙන මනා සමාජ අවබෝධයක් හෝ සංයමයක් නැති කුඩා දරුවන් වගේම වැඩිහිටියන් වුවද තමන් ශාරීරිකව මහා පිරිහීමකට පත් වෙමින්, ජීවිත විනාශ කර ගනිති. අප දකින්නේම අවුල් වූ ජීවිත ය. මැරෙන්න ගිහින් ගොඩගන්නා වුන් ය. ඒ නිසා මේ ඇබ්බැහිය සමාජයක් වශයෙන් අප එරෙහි විය යුතු එකකි.

එක් රාත්‍රියක අප වෙත ගෙන ආ අයෙක් සිටියේ අවසිහියෙනි. මුලින්ම ඔහු අසලට ගොස් කතා කළ මට ලැබුෙණ් අත් පහරකි. විටින් විට නැගිටින්නට තැත් කරමින් අසල නිදා සිටි උන් හට බැන වදිමින් සිටි ඔහු එක්වනම ඇඳ මත නැගී සිටගෙන අනෙක් ඇඳට මුත්‍රා කරන්නට විය. ඔහු මෙල්ල කරගන්නට සාත්තු සේවකයින්ට සහ හෙදියන්ට වෙනම යුද්ධයක් කරන්නට විය.

සමාජයේ බහුතරය එසේය. එනිසා මත්ද්‍රව්‍ය සහ මත්පැන් සඳහා නීති එලෙසම පැවතීම යෙහෙකැයි මට සිතේ. මත්පැන් ගඳ වහනය වන ගැබිණි කාන්තාවක් මහ රෑ පැමිණ වෙරිමතේ දරුවා ප්‍රසූත කරේ ද මේ අප කියන ධර්මද්වීපයේය. එසේ මත් වී සිටි තවත් එක් අම්මා කෙනෙක් පොලීසිය විසින් ගෙන ආවේ බිළිඳෙකු සමඟිනි. බොහෝ පවුල් ආරවුල් සමඟ මනෝ ඒකකයට පැමිණෙන්නේ සැමියාගේ බීමත්කම ඉවසාගත නොහැකි නෝනලාය.

“මට ඕනෑ මේක නවත්වා ගන්න” යැයි කියමින් ඔවුන් බෙහෙත් ඉල්ලා සිටී.ඇතැම් කුඩා ගැහැණු දරුවන් හට අතවර කර තිබුෙණ් තමන්ගේම බීමත් පියා ය.

බොහෝ අය මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතා කරනවා පමණක් නොවේ. එහි වින්දනය ගැන අනෙක් අය වෙත ප්‍රචාරය කරන්නේ එය මහා ලොකු කමක්, වීරකමක් හෝ විප්ලවීය බවක් ඇතැයි අඟවමිනි. එහෙත් යථාර්තය නම්, ඔවුන් පෙන්වන ඒ මග පිටුපස, ඔවුන් යොදවාගෙන ඒවා ප්‍රවර්ධනය මෙන්ම ප්‍රචාරය කිරීමට අසීමිත පිරිවැයක් දරනා මත්පැන් මත්ද්‍රව්‍ය නියෝජිතයින් හෝ සමාගම් සිටින බවය. මා බෝහෝ පුනරුත්ථාපනය වන තරුණ පිරිස් දැක ඇත. බොහෝ සෙයින් රෝගාතුර වූ පිරිස්ද, ජීවිතයෙන් සමුගන්නා පිරිස්ද දැක ඇත. ඔවුන්ගේ අඩු ආයුෂ ජීවිතයේ අවසාන කාලය බොහෝ දුක්බරව ගෙවූ බව පමණක් මතකය. මත්ද්‍රව්‍ය හෝ මත්පැන්වලට ඔබේ ඇබ්බැහියක් හෝ අසීමිත කැමැත්තක් ඇත්නම් ඒ නිසා, ආර්ථිකය ද, සෞඛ්‍යයද බිලි දෙන්න එපා. ඉන් මිදීම සඳහා සටන් කරන්න. කෘතිම ලෙස ශරීරගත කරගන්නා රසායනික බලපෑමකින් තොරව ජීවිතය විඳින්න තම මනස හසුරුවාගන්න. මත්ද්‍රව්‍ය හෝ මත්පැන්වලින් රැඩිකල් බවක් හෝ වීරකමක් මතු නොවේ. මේ සටහන කියවන දෙමාපියනි, ඔබේ දරුවා ගැන සැලකිලිමත් වෙන්න. මෙවැනි දේ ගැන, ඉන් සිදුවන හානිය ගැන ඔවුන් දැනුවත් කරන්න.

 

වෛද්‍ය [බෝධිනී සමරතුංග]

මාතෘකා