රසවාදය මඟහැරුණාද? අත්හැරියාද?

 ඡායාරූපය:

රසවාදය මඟහැරුණාද? අත්හැරියාද?

 

ප්‍රබන්ධකරණයේ සහ කාව්‍යකරණයේ නියුතු වන පිරිස් අනිවාර්යෙන් කියවිය යුතු කෘති දෙකක් මම දකිමි. ඒ, මහාචාර්ය හේමපාල විජයවර්ධනගේ ‘සංස්කෘත කාව්‍ය විචාරයේ මූලධර්ම’ හා ‘කාව්‍ය විචාර ගවේෂණ’ ය. එය ඒ සා වැදගත් වන්නේ සාහිත්‍යකරණයේදී භාෂාව උපයෝගී කරගන්නා ආකාරය - රස නිෂ්පත්තිය - ඉන් මැනවින් පෙන්වා දෙන බැවිනි. සාහිත්‍ය විචාරයටද ඒ හස්තසාර ග්‍රන්ථ වන්නේ ඒවා සංස්කෘත විචාර කලාව අතැඹුලක් සේ හදාරා කළ පර්යේෂණයක ප්‍රතිඵල බැවිනි. සැබැවින්ම අද විශ්වවිද්‍යාලයෙන් කෙරෙන ඊනියා පර්යේෂණ ග්‍රන්ථ සැලකූ කල හේමපාල විජයවර්ධනයන්ගේ කෘති දෙක සැබෑ පර්යේෂණ ග්‍රන්ථ වේ.

ඔහු සංස්කෘත විචාර කලාව හදාරන්නේ ඉන්දියාවේ පූනා විශ්වවිද්‍යාලයට අනුබද්ධ ඩෙකාන් කොලේජ් පශ්චාත් උපාධි පර්යේෂණ ආයතනයෙනි. ඒ, සංස්කෘත අලංකාර ශාස්ත්‍රය පිළිබඳ අග්‍රගණ්‍ය පඬිවරයකු වූ මහාචාර්ය

ඒ. ශංකරන් යටතේය. එහිදී ඔහු දැනට ඉතිරිව තිබෙන සියලු පැරණි සංස්කෘත විචාර ග්‍රන්ථ මුල් සංස්කෘත බසින්ම කියවා හදාරයි. වසර දෙකහමාරක කාලයක් කෙරෙන ඒ අධ්‍යයනය සිංහල සාහිත්‍යයේ සිදු වූ පරිපූර්ණම පර්යේෂණ අතර එකකි. ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය වූ The Influence of Sanskrit AlankaraSastra on Early Sinhalese Poetry නම් කෘතිය හා පසුව කළ ඉහත ග්‍රන්ථ ද්වය මගින් ඒ බව පෙනීයයි. මේ කෘති තුනම මූල ග්‍රන්ථ ත්‍රිත්වයක් වන්නේ එමගින් සංස්කෘත විචාර කලා මූලධර්ම සිංහල පද්‍ය විචාරයට යොදාගන්නා ආකාරය ප්‍රථම වරට පෙන්වා දුන් බැවිනි.

මා සිතන ලෙස මේ ග්‍රන්ථ ත්‍රය විශේෂයෙන් වැදගත් වන පාර්ශ්ව සතරක් සිටිති. ප්‍රථම‍යෙන් ප්‍රබන්ධකරණයේ හා කාව්‍යකරණයේ නියුතු වන ලේඛකයන්ටය. දෙවනුව පශ්චාත් නූතනවාදයක් කර තබාගත් විචාරකයන්ටය. තෙවනුව විශ්වවිද්‍යාලයේ විෂයක් ලෙස පර්යේෂණ ක්‍රමවේදය උගන්වන ආචාර්යවරුන්ට හා එ් ඉගෙනගන්නා විද්‍යාර්ථීන්ටය. සිව්වනුව සාහිත්‍ය කෘති පරිවර්තකයන්ටය. පරිවර්තකයනට ඒ වැදගත් වන්නේ පරිවර්තන ක්‍රියාදාමයේදී රස නිෂ්පත්තිය පිළිබඳව එය විශාල දැනුම් පදාසයක් සපයන බැවිනි.

වර්තමාන ප්‍රබන්ධ කලාවේ ප්‍රධානම අර්බුදය වූකලී ප්‍රබන්ධය වචනාර්ථයෙන් කතා කියාපෑමක් වීමය. වචන යනු සංකේත බවත්, ප්‍රබන්ධය සංකේත පද්ධතියක් බවත් එහිදි නොසැලකේ. මේ දේ ඒ ආකාරයෙන් සංස්කෘත විචාර කලාවෙන් පැහැදිලි නොවූවද එහිලා ඉතා වැදගත් කරුණක් සංස්කෘත විචාර කලාව ගෙනහැරපායි. එනම් කාව්‍යය/ ප්‍රබන්ධය යනු වච්‍යාර්ථය නොව ධ්වනිථාර්ථය (ව්‍යංග්‍යාර්ථය) යැයි කියාපෑමය. වාච්‍යාර්ථය තුළ කාව්‍යය - සාහිත්‍යය - බිහි නොවන බව හේමපාල විජයවර්ධනයන් විස්තර කරනුයේ මෙසේය:

“වචනයෙන් පුන පුනා කීමෙන් කාව්‍ය රසයක් ජනිත නොවේය යන මේ අදහස කවිතාස්වාද විෂයෙහි ඉතා වැදගත් සනාතන ධර්මතාවකි. එමෙන්ම එම ධර්මතාව විශ්ව සාධාරණද වේ. ධ්වනිවාදීන් අතින් පැහැදිලි ලෙස ඉදිරිපත් කෙරුණා වුවද මෙම මතය ඔවුනට පූර්වයෙහි විසූ පුරාණ ආලංකාරිකයන් විසින්ද, එමෙන්ම ධ්වනිවාදීන්ට අනතුරුව පහළ වුණු විවේචකයන් විසින්ද සඳහන් කරනු ලැබීය. හුදෙක් කාව්‍ය විවේචනය අරබයා ලියැවුණු ග්‍රන්ථ අතරින් දැනට විද්‍යමාන පැරණිම ග්‍රන්ථයේ කර්තෘවරයා හැටියට සැලකෙන භාමහයන් විසින්ද මේ අදහසට සමාන අදහසක් ඉදිරිපත් කර ඇත. ‘අනේ’, ‘අපොයි’ වැනි පද කොපමණ යෙදූවත් ඉන් කාව්‍ය රසයක් ජනිත නොවෙතැයිද, එබඳු යෙදුම් රසෝත්පාදනයෙහිලා අනුචිත යැයිද ක්ෂේමේන්ද්‍ර කීවේය. භරත මුනිඳුන්ගේ රස සූත්‍රයෙහි සඳහන් වුණ පරිදි, විභාවානුභාව ව්‍යභිචාරීභාවයන්ගේ සංයෝගයෙන් රස නිෂ්පත්තිය කෙසේ සිදු වේද යන්න ගැන පශ්චාත් කාලීන විචාරකයන් අතර මහත් මතභේද පැනනැඟුණි. අභිනවගුප්තයන් අතින් එම වාද විවාද සතුටුදායක ලෙස නිරාකරණය කෙරුණේ ‘රසය හැම විටම ධ්වනිත වන්නක්ය’ යන මේ මතය ඉදිරිපත් කිරීමෙනි.”

(කාව්‍ය විචාර ගවේෂණ, 48 වෙනි පිටුව, 2014 අප්‍රේල් මුද්‍රණය, ෆාස්ට් පබ්ලිෂින්)

මේ ආකාරයෙන් රස නිෂ්පත්තිය පිළිබඳවත්, රස තුළින් කාව්‍යය මිණීම පිළිබඳවත් වැදගත් කරුණු රැසක් මේ කෘතීන් මගින් විවරණය වේ. නිසැකවම මේ රස විවරණය හදාරන කවරෙකුටවත් කවි යැයි බාල බොළඳ හෑලිද, ප්‍රබන්ධ යැයි රස හීන වාර්තාද ලිවිය නොහැකිය. එහෙත් අද සිදු වී ඇත්තේ එම කෘති පුස්තකාලවල රාක්ක තනි රැකීමය.

මා සිතන ලෙස විශ්වවිද්‍යාලය හෝ සංස්කෘතික දෙපාර්තමේන්තුව සංස්කෘත කාව්‍ය විචාර කලාව පිළිබඳව පුළුල් කතිකාවක් බිහි කළහොත් දැනට සිංහල සාහිත්‍යයේ උද්ගතව ඇති බොහොමයක් ගැටලු නිරාකරණය වේ. වෙසෙසින් වෙනත් මුහුණුවරකින් පැතිරෙන ජනතාවාදී සාහිත්‍ය ප්‍රවණතාව රස පිළිබඳ කතිකාවකින් නිහඬ කළ හැකිය. ප්‍රතිභාන්විත ලේඛකයකුට මිස ව්‍යාජ ලේඛකයකුට රස නිපදවිය නොහැකි බැවිනි.

උසස් පෙළ විෂය නිර්දේශයට නියම කළ නිර්දිෂ්ට ග්‍රන්ථ පිළිබඳව පසුගිය සමයේ විශාල හාහෝවක් ඇති විය. එහිදී හඬ නැඟූ බොහෝ සාහිත්‍යකරුවන්ගේ අභිප්‍රාය වූයේ නිර්දිෂ්ට ග්‍රන්ථවලට තමාගේ කෘතිය/ කවි පන්තිය ඇතුළත් කර ගැනීම විනා සිසුන්ට සැබෑ සාහිත්‍ය කෘති ලබාදීම නොවේ. එහිදී මේ සා උද්ඝෝෂණයක් ඇති වූයේ ඇයි? ව්‍යාජ සාහිත්‍යකරුවන් සියලු ක්ෂේත්‍ර කරා - අධ්‍යාපන ක්ෂේත්‍රය කරාද - අතුඉති ලා පැතිර සිටි බැවිනි. මේ ව්‍යාජත්වය ඉවත් කළ හැකි එකම ආකාරය ජනතාවාදීන් වෙනුවට සැබෑ රස නිපයන සාහිත්‍යකරුවනට දොරගුළු විවර කිරීමය.

සාහිත්‍යය ගැන, විචාරය ගැන ලියන කිසිදු සරසවි ඇදුරෙක් අද සංස්කෘත විචාර නියාම ධර්ම පිළිබඳ තැකීමක් නොකරයි. වර්තමාන සාහිත්‍යය අගය කිරීමට එම විචාර සිද්ධාන්ත බොහෝ සේ උපස්ථම්භක කොට ගත හැකි වුවත් ඔවුන් ඒ නුදූටූ නියාවකි, පෙනෙන්නේ. හේතුව පැහැදිලිය. එහි වටිනාකම ඔවුනට නොවැටහීමය. අද බොහෝ විට විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨවල ආචාර්ය මණ්ඩලයේ සිටින්නේ භාෂාව ගැන - අක්ෂර වින්‍යාසය, වියරණය, වියත් බව ගැන - සංවේදී අය පමණි. සාහිත්‍ය රසඥතා ශක්තියක්, සාහිත්‍යය හා විචාරය පිළිබඳ තුලනාත්මක අවබෝධයක් ඔවුනට නොවේ. මෙනිසා ඔවුන් පැරණි සංස්කෘත විචාර කලාව බැහැර ලීමද, හේමපාල විජයවර්ධනයන්ගේ කෘති, හේන්පිටගෙදර ඤාණසීහ හිමියන්ගේ කෘති, වැලිවිටියේ සෝරත හිමියන්ගේ කෘති අවධානයෙන් බැහැර කිරීමද පුදුමයක් නොවේ. එවැනි තත්ත්වයක් තිබියදී හේමපාල විජයවර්ධනයන්ගේ ආචාර්ය උපාධි නිබන්ධනය ඔහුගේ කාව්‍යමය බස් වහරින් තොරව හෝ සරසවි ඇදුරුවරිය‍කගෙන් සිංහලයට ඒම වටනේය.

එහෙත් එය සෑහීමකට පත් විය හැකි කරුණක් නොවේ. සංස්කෘත විචාරයේ රස - ධ්වනි සිද්ධාන්ත වර්තමාන සාහිත්‍ය කෘති විචාරයට අත්‍යන්තයෙන් උපයෝගී කරගත හැකි විචාර නියම බව ඔවුන් ප්‍රායෝගිකව පෙන්වා දිය යුතුය. ඇත්ත වශයෙන් අදටත් මේ අරබයා විශ්වවිද්‍යාලයෙන් බිහි වූ උසස්ම ග්‍රන්ථය සේ ඉතිරිව පවතින්නේ සරච්චන්ද්‍රයන්ගේ ‘සාහිත්‍ය විද්‍යාව’ පමණය. (හේමපාල වියවර්ධනයන්ගේ උපාධි නිබන්ධනයෙන් කෙරුණේ පැරණි සිංහල ගී කාව්‍ය සංස්කෘත විචාර නියම මගින් තක්සේරු කිරීමය.) සියලු දෙනා සංස්කෘත විචාර නියම සලකනුයේ අදට උපයෝගී කරගත නොහැකි, අතීතයට වලංගු විචාර සිද්ධාන්තාවලියක් සේය.

අද විශාල වශයෙන් නවකතා බිහි වේ. කවි බිහි වේ. පරිවර්තන බිහි වේ. සාහිත්යික තත්ත්වයෙන් තොර සංඛ්‍යාව පමණක් වැඩි වන ලෙස සාහිත්‍ය කෘති බිහි වීමේ මූලය ඇත්තේද රස නිපයීම පිළිබඳ විචාර නියමවල

මන්ද අවබෝධයේය. සංස්කෘත විචාරයේ එන රසවාදය, අලංකාරවාදය, රීතිවාදය, ධ්වනිවාදය, වක්‍රෝක්තිවාදය, ඖචිත්‍යවාදය පිළිබඳ අවබෝධයක් ඇති අයකුට එසේ ගොඩ වැඩි කරගැනීමේ න්‍යායයෙන් ලිවිය නොහැකි බැවිනි. රස කරළිගත වීම යනු එක් අතකට ප්‍රතිභාවට ඉඩ ලැබීමය. එනිසා ඉංග්‍රීසි දැනගත් පමණින් පරිවර්තන කාර්යයේ නිරත විය නොහැකි බවටද රසවාදය දැනුම් දෙයි.

මහාචාර්ය සරච්චන්ද්‍ර ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගම්පෙරළිය’ සිනමාපටය දැක ලියූ විචාර ලිපියක සඳහන් කළ කරුණක් මෙහිදී කිව යුතුය. ඔහු පවසන්නේ මිනිසකු ලෙස ඉපදීමේ උත්තම ඵලය රස නිපදීමත්, රස වින්දනයත් බවය. මෙහිදී සරච්චන්ද්‍රයන් දක්වනුයේ රස ගැන මිස රස නමින් එන දේ ගැන නොවේ. සංස්කෘත රසවාදය අපට අද වෙසෙසින් ඇවැසි වනුයේ මෙනිසාය. සාහිත්‍යය දෙස බැලුවත්, වේදිකා නාට්‍ය දෙස බැලුවත්, ටෙලිනාට්‍ය හා සිනමා කෘති දෙස බැලුවත්, සංගීතය ඇසුවත් අද ආස්වාදනයට ලැබෙන්නේ රස නොවේ. රස බවට පත් නොවූ භාවය. රතිය භාවයකි. ශෘංගාරය රසයකි. විහිළුව භාවයකි. හාසය රසයකි. පිළිකුල භාවයකි. භීභත්ස්‍යය රසයකි. අද අප අත්විඳින්නේ රස බවට පත් නොවූ මේ සියලු ආකාර භාවයන්ය. ඒ අන් කිසිවක් නිසා නොව සංස්කෘත රසවාදය බැහැර ලීමේ විපාක නිසාය.

මාතෘකා