ඔබටත් බිරිඳගෙන් කන්කරච්චලයක්ද?

 ඡායාරූපය:

ඔබටත් බිරිඳගෙන් කන්කරච්චලයක්ද?

බොහෝ අවස්ථාවන්වලදී සැමියා බිරිඳ අතර ඇති වන ගැටලු දිහා බලනකොට පැහැදිලි වන වැදගත්ම කරුණක් තමයි ඔවුන්ට එකිනෙකා පිළිබඳ නිවැරදි වැටහීමක් නැතිවීම. මේකට එක හේතුවක් තමයි විවාහයෙන් පස්සෙ කාලයක් ගත වෙනකොට සැමියාට බිරිඳත් බිරිඳට සැමියාත් සාමාන්‍යකරණය වීම. ඒ වගේම තමයි බොහෝදෙනාට එකිනෙකාගේ වෙනස්කම් ගැන අවබෝධයක් නැති වීම.

පෞද්ගලිකව ගත්තොත් සෑම කෙනෙක්ටම තමන්ටම ආවේණික වුණ ගතිගුණ චර්යාවන් පවතිනවා. එකිනෙකාගේ තියෙන මේ විශේෂ ගතිගූණ රුචි අරුචිකම් තේරුම් ගැනීම වගේම ඒවාට ගරු කරන එකත් හොඳ විවාහයකට අතිශයින්ම වැදගත් කාරණයක්. බොහෝ වෙලාවට විවාහක දෙදෙනෙක් අතර ගැටුම් ඇති වෙන්න මේක ප්‍රධානතම සාධකයක්. අද අපි කතා කරන්නේ ඒ ගැන. හැබැයි ටිකක් වෙනස් විධියකට. බහුතරයක් දෙනා ගැහැනු හා පිරිමි අතර තියෙන වෙනස්කම් ගැන කතා කරනවා.

නමුත් බොහෝ වෙලාවට ඔවුන්ගෙ අවධානය යොමුවෙන්නේ බාහිර වශයෙන් තියෙන වෙනස්කමත් එක්ක කොහොමද ගැහැනියක් හා පිරිමියෙක් වෙනස් වෙනස් වෙන්නේ කියන දේ. ගැහැනියක් හා පිරිමියෙක් බාහිරව වගේම අභ්‍යන්තරිකවත් වෙනස් වෙනවා. මෙන්න මේ මානසික වෙනස්කම් නොදැන සිටීම විවාහ ජීවිතයේ බොහෝමයක් ගැටලූ නිර්මාණය කිරීමට හේතුවක් වෙනවා. තමන්ගේ සහකරු හෝ සහකාරියගේ මේ වෙනස්කම් ගැන අවබෝධයක් ලබාගැනීම ගැටලූ බොහෝමයක සරලව විසඳ ගන්නත් හේතුවක් වෙනවා.

බොහෝ වෙලාවට ස්වාමිපුරුෂයන් කරන චෝදනාවක් තමයි තමන්ගෙ බිරිඳට තමන් කොයිතරම් ආදරේ වුණත් මොන දේවල් කරත් ඒක එයාට දැනෙන්නෙ නැහැ කියන දේ. පිරිමියෙකුගේ මොළය සකස් වෙලා තියෙන්නේ ද්‍රව්‍ය අගය කිරීමට හා තේරුම් ගැනීමට. ඒ වගේම තමයි පිරිමි තමන්ගේ හැගීම් හදවත ඇතුලෙ තියාගෙන ඉන්නවා. මෙන්න මේ හේතු දෙකම නිසා පිරිමියෙක් තමන්ගෙ ආදරේ පෙන්වන්නේ තමන්ගෙ යුතුතම් වගකීම් ඉටුකරලා.

නමුත් කාන්තාවකගේ තත්ත්වය මෙයට හාත්පසින්ම වෙනස්. ඔබ ඔබේ යුතුකම් වගකීම් ඉටුකරන එක බිරිඳක් අනිවාර්යනේම අපේක්ෂ කරන දෙයක්. නමුත් කාන්තාවක් ආදරයෙන් වෙලී ඉන්න ස්වාමියාගෙ ආදරය දැනෙන්නට විඳීමයි අපේක්ෂා කරන්නේ. සැමියෙකුගෙ යුතුකම් වගකීම් කොටස ඉටුකරන කොට ඒකට කාන්තාවට අවශ්‍ය ආදරය එකතු වෙනවා නම් සැමියා බිරිඳ අතරෙ තියෙන සම්බන්ධය ශක්තිමත් කර ගන්න පුළුවන්. බිරිඳක් අනියම් සබඳතාවකට යොමුවෙන්නත් මේක හේතුවක් වුන අවස්ථා බොහෝමයක් සත්‍ය ජීවිතයේදී හමුවෙනවා.

පිරිමි බහුතරයකගේ තවත් ප්‍රධානම ගැටලුවක් තමයි කාන්තාවන්ගේ අධික කියවිල්ල. කාන්තාවකට සහ පිරිමියෙකුට දෛනිකව තෘප්තිමත් වෙන්න කතා කරන්න පුළුවන් වචන ප්‍රමාණය අතරෙ විශාල වෙනසක් තියෙනවා. පිරිමියෙකුගේ වචන ප්‍රමාණයට සාපේක්ෂව ගත්තහම 15000 පමණ වෙනසක් කාන්තාවකට පවතිනවා. රැකියාවක් නොකරන හෝ නිවසේ හුදකලාව කාලය ගත කරන කාන්තාවකට කතා කිරීමට අදහස් හුවමාරු කර ගැනීමට අවම අවකාශයක් ලැඛෙන කාන්තාවන් සැමියා සමඟ කතා කිරීමෙන් මෙම තෘප්තිමත් බව සම්පූර්ණ කර ගන්නවා.

නමුත් සැමියකු නිවසට පැමිණෙන අවස්ථාව වනවිට ඔහුගේ වචන දෛනික ප්‍රමාණය අවසන් බැවින් ඔහුට කතා කිරීමට අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඔහුට අවශ්‍ය විවේකීව ගත කිරීමටයි. බිරිඳගේ කියවිල්ල ඔහුට මහා මානසික වදයක් වෙනවා. මේකෙ අවසන් ප්‍රතිඵලය මහා ගැටුමකින් අවසන් වෙන්න පුළුවන්.

මානව පරිණාමයේ පටන් කාන්තාව හා පිරිමියාගේ පරිණාමය වූ මානසික හැඩගැස්ම වර්තමාත ගැහැනු පිරිමි තුළත් දැක ගන්න පුළුවන්. පිරිමියාගේ මොළයේ සැකැස්ම පරිණාමයේ සිට අවකාශය තේරුම් ගැනීමට අඹු දරුවන් පෝෂණය කිරීමට හා දඩයම පසුපස හඹායාමට සැකසී තියෙනවා. නමුත් කාන්තාවගේ මොළය දරුවන් බලා ගැනීමට නිවසේ වැඩ කටයුතු කිරීමට කෑම පිසීම ආදී වැඩ කටයුතු රාශියක් එකවර කිරීම වෙනුවෙන් තමයි සකස් වෙලා තියෙන්නේ.

කාන්තාවන්ට අවකාශමය අදහස පිරිමියෙකුට වඩා අඩුවෙන්න හේතුව තමයි මේ. කාන්තාවක් බොහෝ වෙලාවට ගැටලුවකදී වුනත් සැමියා සියල්ල එකවර කිරීම අපේක්ෂා කරනවා. නමුත් මේක පිරිමියෙකුට මඳක් අපහසු කාර්යයක්. බිරිඳකට සැමියා ලවා යමක් කරවා ගැනීමට අවශ්‍ය නම් එය සෘජු ලෙස ප්‍රකාශ කිරීමත් අවශ්‍යතාව, දිනය, ස්ථානය ආදී නිශ්ච්ත තොරතුරු ප්‍රකාශ කිරීම ඔහුට තේරුම් ගැනීමට පහසුවක් වගේම දෙදෙනාගේම හිත් රිදවා ගැනීමකින් තොරව ගැටලූවලට පිළිතුරු සොයාගන්න පුළුවන්.

කාන්තාවක් තමන්ට ගැටලුවක් මතු වූ විට ඒ පිළිබඳ කතා කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා. කාන්තාවන් බහුතරයක් ගැටලූ විසඳා ගන්නේ කතා කිරීම ඇතුළෙ. නමුත් බොහෝ පිරිමින් සිදු කරන වැරැද්දක් තමයි බිරිඳට අවවාද අනුශාසනා දීමට යාම. මේකත් අවසාන වෙන්නේ මහා ගැටලූවකින් වෙන්න පුළුවන්. ඇයට සවන්දීම ඇය අගය කිරීම තුළ මේ වගේ බොහෝ ගැටලු විසඳගන්න පුළුවන්. ලිංගික ජීවිතය විවාහයේ වැදගත්ම පැතිකඩක්. පිරමියෙකුට ආදරය හා ලිංගික සබඳතාවයක් කියන්නේ දෙකක්. පිරිමියෙකුට ආදරය නොමැතිව ලිංගික සබඳතාවයකට පමණක් කාන්තාවක් ආශ්‍රය කිරීම පහසු දෙයක්.

නමුත් කාන්තාවකට ආදරය හා ලිංගික සම්බන්ධතායක් කියන්නෙ එකිනෙකට සම්බන්ධ වූ දෙයක්. සැමියාගේ අනියම් ලිංගික ඇසුරක් බිරිඳට හසු වූ විට ඔයා එයාට ආදරෙයිද කියන ප්‍රශ්නය බිරිඳ අසන්නේ මේ හේතුව නිසා. පිරිමියෙකුට ලිංගික සබඳතාවකදී කතා කිරීම ගැටලු සහගත දෙයක්. මොකද ඔවුන්ගේ මොලය සකස් වෙලා තියෙන්නේ එක් ක්‍රියාවකට අවධානය යොමු කිරීමට. නමුත් කාන්තාවකට මේ ගැටලුව නැහැ. ඇය සකස් වෙලා තියෙන්නේ වැඩ කිහිපයක් එකවර කිරීමට හැකි අයුරින්. ඒ නිසා ඇය ලිංගික කටයුතුවලදී කතා කිරීමෙන් ඇයට සතුටක් ලබන්න පුළුවන්. මේ දෙපැත්තම ගැන සැමියා බිරිඳට අවබෝධයක් තිබීම ගැටලූවක් ඇති වෙන්න කලින් ඒක වලක්වා ගන්න පුළුවන්.

මනෝ උපදේශිකා [ඉවෝනි දිල්කි]

මාතෘකා