ලිංගික අධ්‍යාපනයේ ඛේදවාචකය

 ඡායාරූපය:

ලිංගික අධ්‍යාපනයේ ඛේදවාචකය

ලංකාව පිට පිටම ගූගල් සමාගම තුළ වසර ගනණක් තිස්සේ වාර්තා තැබූ බව ඔබ දන්නා කාරණයකි. එනම් ගූගල් පිරික්සුම් යන්ත්‍රය හරහා වැඩිම වාර ගනණක් sex යන වචනය සොයා ඇත්තේ ලංකාව ලෙස වසර කිහිපයක්ම ඉදිරියෙන් සිටීමය. 2013 වර්ෂයේදීද මේ වාර්තාව පළ වූ අතර හෝමාගම sex යන වචනය ගූගල් සෙවුම් යන්ත්‍රය ඔස්සේ වැඩිම වාර ගණනක් සොයා ඇති ප්‍රදේශය වශයෙන් වාර්තා විය. එම වාර්තාවට අනුව එම වචනය ඒ ආකාරයෙන් අන්තර්ජාලයට ඇතුළු කර ඇත්තේ වසරේ මාස දෙකක කාලයක් තුළ යන්න මෙහිදී ඉතා සුවිශේෂම කාරණයකි. එය මේ සෑම වසරකම පාහේ පෙන්නුම් කරන ලද තත්ත්වයකි.

ඒ අනුව එම මාස දෙක පාසල් නිවාඩු කාලය වීම සතුටට කාරණයක් නම් නොවේ. පාසල් අධ්‍යාපනය තුළ ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී එහි යම් හිඩැසක් පවතින බැවු අප දන්නා කාරණයකි. පාසල් ළමුන් විවිධ අපරාධ අපයෝජනවලට ලක්වීමට ප්‍රධාන හේතුව වන්නේද ළමුන් නිසි පරිදි ලිංගික අධ්‍යාපනයක් නොලැබීමය. දරුෙවා් නව යෞවන වියට පැමිණීමත් සමග විවිධ ආකාරයේ ලිංගික වෙනස්කම්වලට බඳුන් ෙවති. එය ස්වාභාවික කාර්යයකි. එම වෙනස්කම් අභ්‍යන්තර වශයෙන් මෙන්ම බාහිරවද සිදු වේ. මේ කාලයට අනුව විරුද්ධ ලිංගිකයන් කෙරේ වැඩි ආකර්ෂණයක්ද පවතී.

ලිංගික අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශය තු‍ළ සෞඛ්‍ය විෂයට ඇතුළු කර ඇති අතර ඊට අමතරව විද්‍යා විෂයට අදාළ පාඩම් තුළද ලිංගිකත්වය, ප්‍රජනක පද්ධතිය, මිනිස් සිරුර වැනි පාඩම් එක් කර ඇත. නමුත් එම පාඩම් හරි හැටි ශිෂ්‍යයන්ට උගන්වනවාද යන්න අද වන විට ගැටලුවක් වී ඇත. විශේෂයෙන් ගුරුවරිෙයා් මෙවන් පාඩම් ඉගැන්වීම ප්‍රතික්ෂේප කරති. එසේම එම පාඩම් සිදුකිරීමට වන විට හෝ එම විෂයයන් ඇති වේලාවට වෙනත් විෂයයන් උගන්වන බව අසන්නට ලැබේ. මේ සෑම කාර්යයක් තුළින්ම සිදුකරන්නේ දරුවන්ට ලිංගිකත්වයට අදාල කාරණා පසක් කිරීම මග හැරීමකි. එසේම අප රටේ සමාජ සංස්කෘතික කඩතුරාව ආදී කරුණු මූලික කොටගෙන ලංකාවේ ලිංගික අධ්‍යාපනයේ ඛේදවාචකය‍ පැන නැගී ඇති බව කිව හැකිය. ඉදින් ලැජ්ජා විය යුත්තේ මෙවන් පාඩමක් ඉගැන්වීමට නොවේ. මෙවන් පාඩම් මගහැර යාම පිළිබඳය.

පොතපතින්, සමාජයෙන් විවිධ දෑ අහුලා ගන්නා දරුෙවා් නිතර කුතුහලයට පත්ෙවති. එවිට තම තමන්ට පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට විවිධ මිතුරන්ගේ සහය ලබා ගනු ඇත. එසේත් නැති නම් අන්තර්ජාලය යොදාගනී. වැරදි මිතුරෙකුගෙන් මේ පිළිබඳ විමසීම වෙනත් ලිංගික අපරාධයකට වුවද හේතු විය හැකිය. ලිංගිකත්වය පිළිබඳ කරුණු කාරණා සොයා බැලීමට අන්තර්ජාලය භාවිත කිරීම තුළ ශිෂ්‍යයන් ප්‍රායෝගික තත්වයට ඇද දැමීමක් සිදු විය හැකිය. ප්‍රධාන වශයෙන් දරුවන්ගේ මනස විකෘති වී විවිධ අසහනකාරී මානසික තත්ත්වයන් ඉස්මතු වීමට පුළුවන. එසේම විවිධ ලිංගික අපරාධ, අපයෝජනවල ගොදුරක් වීමට හෝ එසේත් නැතිනම් ලිංගික අපරාධ, අපයෝජන සඳහා පෙලඹීමක් ඇති වීමට පුළුවන.

දරුවන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම අවබෝධය ලබා ගැනීමට සිටින හොඳම ගුරුවරයා දෙමාපියන් දෙපළ වේ. දියණියකට මව හොඳ ගුරුවරියක් වේ. පුතෙකුට තම පියා හොඳම ගුරුවරයා වේ. නමුත් සංකීර්ණ හා කාර්ය බහුල සමාජ ජීවිතයක් ගත කරන වර්තමාන පවුල් සංස්ථාව තුළ අතීතයට වඩා අද මාපිය දූදරු සම්බන්ධය දුරස් වී ඇත. එවිට දරුවන් තම දැනුම අවබෝධය ලබා ගැනීමටත්, විශේෂයෙන් තම කුතුහලය සංසිඳුවා ගැනීම සඳහාත්, අන්තර්ජාලය භාවිත කිරීම සුලබ සිදුවීමකි. ඉන් දරුවන්ගේ මනස විකෘති වී විවිධ කාම අපරාධ සිදු වේ.

එසේම නිසි දැනුම, අවබෝධය නොලැබීම තුළ නොදැනුවත්කම, දුර්මත පදනම් කර ගෙන විවිධ කාම අපරාධවලට ගොදුරු වීමේ ඉඩකඩ වැඩිය. මේ අනුව කළ යුතු වන්නේ පාසල් තුළ ලිංගික අධ්‍යාපනය නිසි ආකාරයට කුඩා කල සිට ලබා දීමය. එසේම ඉන් දරුවන්ට තම ආරක්ෂාව සලසා ගැනීමට පුරුදු පුහුණු වීමක්ද සිදු කළ යුතුය. පාසල් තුළ පමණක් නොව, නිවසේදී දෙමාපියන් වුවද දරුවන් විවිධ කාම අපරාධ, අපයෝජනවලින් මුදවා ගැනීම සඳහා අවශ්‍ය දැනුම දරුවන්ට ලබා දිය යුතුය. බටහිර රටවල දරුවන්ට කුඩා කල සිට ලිංගික අධ්‍යාපනය ලබා දෙන අතර ඊට අමතරව ලිංගික අපරාධ, සමාජ රෝග වැළඳීම පිළිබඳද ඉගැන්වීම් කරයි.

අප රට තුළද අපරාධ දිනෙන් දින ඉහළ යන අතර සමාජ විරෝධී ක්‍රියා, විෂමාචාර ක්‍රියාවලද වර්ධනයක් පෙන්නුම් කරයි. එබැවින් පාසැල් අධ්‍යාපනය තුළදී නිසි පරිදි ලිංගික අධ්‍යාපනයක් ලබාදීම හා ඊට අවශ්‍ය නවීකරණ පිළිබඳව අධ්‍යාපන බලධාරීන් තම අවධානය යොමු කිරීම ඉතාමත් කාලෝචිත වේ. ගුරුවරියන් ද මෙවන් පාඩම් ඉගැන්වීමට ලැජ්ජා වේ නම් එම පාඩම් කළ හැකි අයෙකුට ලබාදිය යුතුය. මන්ද එහි බලපෑම එල්ලවන්නේ දරුවන්ගේ අනාගතයට බැවිණි.

[සත්‍යා නිර්මාණි]

මාතෘකා