ජීවිත අකුරු ඊයම් අකුරු වීම

 ඡායාරූපය:

ජීවිත අකුරු ඊයම් අකුරු වීම

මා දැඩිව ඇලුම් කරන ප්‍රබන්ධ කතා රචකයෙකු වන ජපන් ලේඛක හරිකු මුරකමි වරෙක මෙහෙම කියනවා. “මම, ප්‍රබන්ධ කතා රචනා කරන්නේ කෙසේ දැයි මම දනිමි. මට මා ගැන ප්‍රකාශ කිරීමට අවශ්‍ය නම් මම කතාවක් ගොඩනගමි. ඇතැමුන් එයට පරිකල්පන යැයි කියති. නමුත් මට එය පරිකල්පනය නොවේ ජීවිතය නැරඹීමේ විදියකි.”

ලිවිල්ල ආරම්භ වූ වකවානුව දෙස ආපසු හැරී බලද්දි මට හිතෙනවා මුරකමී ගේ මේ අදහස නිවැරදියි කියලා. මගේ යෞවන කාලයේ හිතේ උල්දිය දාන සුන්දර හැඟීම් හැම දෙයක්ම පොත් පිටු අතරේ කුරුටු ගාන කාලේ මට තිබුණේත් මාව ප්‍රකාශයට පත් කිරීමේ උවමනාව.

ඒත් ඒ ලියන දේ කාටවත් පෙන්වුවේ නෑ. පොඩි ලැජ්ජාවක් තිබුණා. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණීය සිතුවිලි උපදින මේ කාලේ ලියවුණේම ප්‍රේමය ගැන. ඒවා ලියුවේ තනිකඩ ප්‍රේමවන්තයෙක් විදියට. කාටවත් නොදුන්, කවුරුත් නොගත් ඒකපාර්ශ්වික ආදරයක් ගැන. කාලයක් යද්දි රේඩියෝ ඇබ්බැහියෙක් වුණාට පස්සේ රේඩියෝවේ විවිධ වැඩසටහන්වලට ලියන්න ගත්තා. ඒත් පළවුණේ නැහැ.

 එහෙම වුණාද කියලා දන්නෙත් නෑ. බැටරි බැහැල ගියාම රේඩියෝව අහන්න ලැබුණේ නෑ. ඊළඟට ලියන්න ගත්තේ පත්තරේට. එතකොට තිබ්බේ ලේක්හවුස් පත්තර විතරයි. පත්තර දෙකකට ලියන්න ගත්තා. එකක් තරුණයන් වෙනුවෙන්ම පළකළ යොවුන් ජනතා පත්තරේ. කතුවරයා වුණේ ධර්මසිරි ගමගේ මහත්මයා. අනෙක් පත්තරේ සිළුමිණ. ඒකේ සාහිත්‍ය කලා පිටු සංස්කරණය කළේ දයාසේන ගුණසිංහ මහත්මයා. මේ දෙදෙනාම මහත්වරු.

දීර්ඝ කාලයක් ලියුවත් කිසිවක් පළවුණේ නෑ. මට හිතෙන්නේ ඒ තමයි මගේ පරිවාස කාලේ. පළමුවෙන්ම මගේ ජීවිත අකුරු ඊයම් අකුරු වුණේ යොවුන් ජනතා පිටු අතර. ඒ අතරේ ගමගේ මහත්තයා ලියුමක් එවුවා. දිගටම ලියන්න කියලා. කාලයක් යද්දි ගුණසිංහ මහත්තයත් ලිපියක් එවනවා. මෙහෙම කියලා. “ඔබේ කුසලතාව හඳුනාගෙන සිටිමි. අපි අලුත් පත්තරයක් පටන් ගන්නවා. කපිල ඊට පස්සේ එ්කටත් ලියන්න.” එහෙම කියලා අලුත් පත්තරේ ලිපිනයත් එවා තිබුණා.

ඒ තමයි දිවයින පත්තරේ. ගුණසිංහ මහත්තයා සිළුමිණේ සංස්කරණය කළ අන්තිම කවි පිටුවේ මගේ කුඩා කවියක් පළකරලයි ලේක්හවුස් එකෙන් ගිහින් තිබුණේ. මගේ ජීවිත අකුරක් ඊයම් අකුරක් වෙන්න බවට පෙරැළෙන්නේ එහෙම. පත්තරේකට ලියන්න පටන් ගත් තැන ඉඳලා අකුරක් පළවෙන තැන අතර දුර අවුරුදු දෙකක් විතර ඇති. ඒ අවුරුදු දෙකේම නොනවත්වාම ලියුවා. මම අදත් සලකන්නේ ඒක මගේ පරිවාස කාලේ කියලා.

පළ නොවී ලිවීමට තිබ්බ ඉවසීම ආවේ ජීවිතෙන්මයි. ඒ නිසා ඒක අභ්‍යාස කාලයක් වුණා. එදා පුවත් පත් සංස්කාරක මහත්වරු ඒ දිර්ඝ පරිවාස කාලය මට ලබා දෙන්නේ දැනුවත්ව කියලයි මට හිතෙන්නේ. මටත් ඒක නොතේරී තේරිලා තිබුණා. කලකිරුණානම්, අමනාප වුණානම්, පත්තර සංස්කාරකවරුන්ට වෛර කළා නම් මම කියන ලියන්නා මැරෙන්නේ එදා.

නමුත් ලියන දේට කිසියම් සමාජ දේශපාලන බරක් අවශ්‍යයි කියන කාරණේ අපි තේරුම් ගත්තේ අපිට හිතන්නට ඉඩදුන් මේ පරිවාස කාලයේ දී. පත්තරේක ලියන දේට ඉඩදීමත්, ඉඩ බලෙන් ලබා ගැනීමත් කියන්නේ දෙකක්. පසු කාලයක වෘත්තීය පත්තර වාර්තාකරුවෙකු වෙන්න මට තවත් අවුරුදු 5ක් පමණ පෙරුම්පුරන්නට සිදුවුණා. ඒ එදා.

අද වෙනකොට මේ සන්දර්භය වෙනස් වෙනවා. අද පත්තර පිටුවට අමතරව සයිබර් අවකාශය තියෙනවා ලියන්න. ඒකේ ලියන්න සංස්කාරකවරුන්ගේ අනුදැනුමක් අවශ්‍ය නෑ. තමන්ට කැමති දේ තමන්ගේ තනි මතයට සමාජ ජාලයක ලියන්න පුළුවන්. අන්තර්ජාලය පැතිරෙන්න කලින් පත්තරේකට ලියලා පළවුණේ නැත්නම් නිර්නාමික දුරකථන පණිවිඩයක්, ලියුමක් එනවා සංස්කාරකවරයා කුහකයෙක් කියලා.

දැන් කරන්නේ කෙලින්ම ඒක අන්තර්ජාලයේ ලියනවා “මිතුරනි මූ කුහකයෙක් “ කියලා. එහෙම ලියලා පත්තරේ පළ නොවුණ ලියවිල්ල අන්තර්ජාලයට මුදාහරිනවා. ඒකේ හොඳ නරක ගැන වගේ වගක් නෑ. ඒක නිර්භීතකමක්ද නැත්නම් වෙන මොකක්ද කියලා කාලය තීරණය කරාවි.

“මගේ පළමු පොත ලියන්නට මට වසර 40ක් ගත විය.” පාවුලෝ කොයියෝ කියන අපූරු ලේඛකයා කියන්නේ එහෙම. වියැටක් කණු කැපෙන තැන් සිට මේරු වී කරලක් වීමට අනිවාර්යෙන්ම දිගු කාලයක් ඕනේ. නැත්නම් අස්වැන්න වෙන්නේ බොල් වී. ලිවීම මෝරන්නේ ද එහෙමය. එයට කෙටි උමං මාර්ග ද නැහැ.

[කපිල එම්. ගමගේ]

මාතෘකා