රාමුවෙන් පිටත අපූර්වත්වය

 ඡායාරූපය:

රාමුවෙන් පිටත අපූර්වත්වය

එදා සිට අද දක්වාම ගුවන් විදුලියේ බොහෝ වැඩසටහන් සඳහා භාවිතා කරන්නේ සාකච්ඡාමය හෝ සම්මුඛ සාකච්ඡාමය වැඩසටහන් ආකෘතිය. නමුත් ඒ බොහෝ වැඩසටහන් සඳහා වෙනස් ආකර්ෂණීය ආකෘති භාවිතා කළ හැකිව තිබුණද බොහෝ නිෂ්පාදකවරුන් පහසුව හා අලස කම නිසා තවමත් මේ ඒකාකාරී ආකෘතිය බහුලව භාවිතා කරනවා.

එය වර්තමානයේ බොහෝ අසන්නන් ප්‍රියකරන වැඩසටහන් ආකෘතියක් වෙන්නෙත් නෑ. ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන් විදුලිය කර්තෘමණ්ඩල නිදහස (Editorial Freedom) අනෙක් ගුවන්විදුලි නාලිකා වලට සාපේක්ෂව යම් පමණකට ක්‍රියාත්මක වන නිසා මෙම සම්ප්‍රදායික ආකෘති කඩා විවිධ අත්හදා බැලීම් කරන්න අවස්ථාව උදාවුණා. මේ නිසා වෙනස් ආකෘති භාවිතා කිරීම වගේම තිබෙන ආකෘති වල සම්ප්‍රදායික බව වෙනස් කරන්න අවස්ථාව උපරිමයෙන් ලැබුණා. ඒ සඳහා අවශ්‍ය දැනුවත් භාවය පවා ලැබී තිබුණේ මැදිරිය පදනම් කරගත් නිෂ්පාදනවලට වඩා ක්ෂේත්‍රය පදනම් කරගත් වැඩසටහන් ප්‍රජා ගුවන් විදුලිය පදනම වීම නිසා.

සෞඛ්‍ය වැඩ සටහන් නිෂ්පාදනයේ දී ප්‍රචලිත ක්‍රමය වෙන්නේ වෛද්‍යවරයෙක් මැදිරියට ගෙන්වා රෝගයක් පිළිබඳ සාකච්ඡා කිරීම. මෙය ඒකාකකාරී ක්‍රමයක් බව අපට වැටහී ගොස් තිබුණා. ඊට අමතරව මෙවැනි සාකච්ඡා සඳහා පාදක කරගත්තේ බොහෝ "ජනප්‍රිය" රෝග පිළිබඳව.

ඒ නිසා බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්නොවන සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට ඇතිවන ශාරීරික අපහසුතා පිළිබඳ වැඩසටහන් කිහිපයක් සකස් කරන්නට අප පෙළඹුණේ මේ සාම්ප්‍රදායික රාමුවෙන් පිට පැනීමට තිබූ උවමනාව නිසා. ඒ වැඩසටහන් මාලාවේ ඇරඹුම සටහන් කළේ "ඇයි? අපට ඉක්කා වැටෙන්නේ" යන වැඩසටහනින්.

එය අසන්නන් අතර ඉතා ජනප්‍රිය වුණා. අනතුරුව "වාහනවල දුර ගමන් යන විට වමනේ යන්නේ ඇයි?", "නින්දෙදි ගොරවන්නේ ඇයි?" වැනි බොහෝ දෙනෙක් අත්විඳින එහෙත් හේතුව නොදන්නා, කළ යුතු ප්‍රතිකර්ම නොදන්නා සෞඛ්‍ය කාරණා පිළිබඳ මේ වැඩසටහන් මාලාව සැකසුනා. මෙය අසන්නන් අතර ජනප්‍රිය වැඩසටහනක් වුණ අතර සුළු ප්‍රතිකාර දැනගෙන ඒ අපහසුතාවන් වලකාගත් අයගේ ප්‍රතිචාර යහපත් වුණා.

මහවැලි සී කලාපයේ පැවතුණ තවත් බරපතළ ගැටලුවක් වුණේ සර්පයන් දෂ්ඨ කිරීම නිසා මියයෑම. මේ නිසා සර්පයෙක් දෂ්ඨ කළ විට කලයුතු පූර්ව ප්‍රතිකාර ආදී දේවල් ගැන දැනුම සම්පාදනය කරන වැඩ සටහනක් නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවක් ආවා.

නමුත් අප අකමැති වුණා වෛද්‍යවරයා මැදිරියට ගෙනැත් සාකච්ඡාමය ස්වරූපයෙන් මෙය ඉදිරිපත් කරන්න. එවකට අපේ සෞඛ්‍ය වැඩසටහන් සඳහා සහභාගී වුණේ ගිරාඳුරුකෝට්ටේ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිළධාරීවරයා වුණ වෛද්‍ය බටුවන්තුඩාවේ. උපතින්ම ආබාධිත කෙනෙකු වූ ඔහු ඒ සියල්ල නොසලකා හැරි කාර්යශූර වෛද්‍යවරයෙක් වුණා.

සර්ප විෂ පිළිබඳ වැඩසටහන ගැන හිතමින් ඉන්නා විට වෛද්‍ය බටුවන්තුඩාවගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. එයින් කියවුණේ සර්පයෙක් දෂ්ට කළ වයස අවුරුදු 6ක දැරියක් මීට මොහොතකට කලින් මිය ගිය පුවත. ඔහු හොඳින් දැනගෙන හිටියා මෙය අපට හොඳ වැඩසටහන් නිමිත්තක් වන බව. මම ජංගම පටිගත කිරීමේ යන්ත්‍රය අරගෙන රෝහලට ගියා. දැරියගේ පියා මියගිය දැරියගේ ඇඳ අසල වැලපෙනවා.

මම ඔහු අසලට ගිහින් ඔහුගේ උරහිසින් අල්ලාගෙන අසල බංකුව වෙත කැඳවාගෙන විත් විස්තර කතා කරන ගමන් පටිගත කළා. දැරියගේ අම්මා ගෘහ සේවිකාවක් ලෙස මැදපෙරදිගට විදෙස්ගත වෙලා. ඔවුන් දෙදෙනාට සිටි එකම දරුවා මේ මියගිය දැරිය. පියා මා එක්ක සියලු විස්තර කියනවා සියල්ල පටිගත වෙනවා.

සර්පයා දෂ්ඨ කරන දින සවස පියාගේ මිත්‍රයෙක් නිවසට එනවා. ඔහු රෑ නවාතැන් ගන්නවා. තියෙන එකම ඇඳ ඔහුට දීලා පියා සහ දියණිය පැදුරට යනවා. රාත්‍රියේ පැමිණෙන මාපිලෙක් දැරියට දෂ්ඨ කරනවා. රෑ මැද දැරිය ඇහැරිලා පිපාසයි කියලා වතුර ඉල්ලනවා. ඇස් පේනන්නේ නෑ කියනවා. පියා වතුර දීලා ආයේ නිදිකරවනවා. පාන්දර දැරියට හොඳටම අසනීප වෙනවා. රෝහලට ගේනවා. ප්‍රමාද වැඩියි. දැරිය මිය යනවා.

මෙහි ශෝකය දනවන කතාවක් ඔහු කිව්වා. ඒ දැරිය මියගිය දා රාත්‍රියේ සිය මවට යවන්න ලිපියක් ලීව බව. මගේ හිතේ රේඩියෝ වැඩසටහනේ හැඩය නිර්මාණය වෙනවා. මම දැරියගේ ගෙදරට ගිහින් ඒ ලිපිය බලනවා. එය සටහන් කරගෙන ඇවිත්. වෛද්‍යවරයාගෙන් සර්ප විෂට අදාලව වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු පටිගත කළා. දැරියට මැදියම් රැයේ දැනුණේ පිපාසාව සර්ප විෂ ශරීරගත වුණාම ඇතිවන පූර්ව රෝග ලක්ෂණයක්. ඇස් නොපෙනී යාම තවත් රෝග ලක්ෂණයක්. මේවා දැනුණ මොහොතේ දැරිය රෝහලට ගෙනාවා නම් දැරිය ජීවත් කරන්න තිබුණ බව තමයි වෛද්‍ය මතය.

අවසාන වශයෙන් ලබාදෙන ඇන්ටිවෙනම් එන්නත පරක්කු වුණාම ප්‍රතිඵලයක් ගේන්නේ නෑ. මේ සියලු අමුද්‍රව්‍ය සමග මම වැඩසටහන සංස්කරණය කරන්න ගත්තා. මගේ මිත්‍ර අශෝක හැරිසන් පීරිස් මගේ සංස්කරණ ශිල්පියා වුණා. වැඩසටහන පටන් ගත්තේ දැරිය ලියූ ලියුම ළමා ශිල්පිනියක ගේ හඬින් කියවීමෙන්. පියාගේ විස්තර සමග අදාළ තැන්වල දී වෛද්‍යවරයාගේ පිළිතුරු එක්ක මිශ්‍ර කළා. නිමවූ වැඩසටහන ඇහුව අපේ කාර්යාලයේ හේමා කඳුළු සැලුවා. මට හිතුණා වැඩ සටහන සාර්තකයි කියලා. රාත්‍රියේ වැඩසටහන ප්‍රචාරය වුණා. ඇත්තටම ප්‍රතිචාර ඉහළයි.

අපට අවශ්‍ය වුණේ සාම්ප්‍රදායික වැඩසටහන් ආකෘති වෙනස් කරලා අසන්නන් අහන වැඩ සටහන් බවට කිසියම් අපූර්වත්වයක් සහිතව සහභාගීත්වයක් සහිතව වැඩසටහන් ආකෘති පරිවර්තනය කරන්න. එය සාර්ථක වුණා.

ඇත්තටම රාමුවෙන් පිටතට ඇවිත් හිතනවා කියන්නේම එතන අපූර්වත්වයක්, නිර්මාණශීලී බවක් උපදිනවා. ඒක රේඩියෝවේදී ගොඩනගන්නේ ඇදහිය නොහැකි අපූර්ව බවක්.

[කපිල එම්. ගමගේ]

මාතෘකා