මේවා ප්‍රශ්නද?

 ඡායාරූපය:

මේවා ප්‍රශ්නද?

පසුගියදා කොළඹදී මෙරට ප්‍රමුඛතම අලෙවිකරණ අධ්‍යාපන ආයතනයක් විසින් පැවැත්වූ දත්ත කළමනාකරණය සහ ඒහි ඇති ව්‍යාපාරික භාවිතය පිළිබඳ සම්මන්ත්‍රණයකට සහභාගී වීමේ අවස්ථාව මට හිමි වුණා. සම්මන්ත්‍රණය ආරම්භයේදීම ඉතා ආකර්ෂණීය දේශනයක් කළ පුද්ගලික ආයතනයක අලෙවිකරණ අංශයට සම්බන්ධ ප්‍රධානියෙක් කුඩා වීඩියෝවක් ප්‍රදර්ශනය කළා එහි අන්තර්ගතය වුණේ, 2020- 2030 දශකයේ ලෝකය කෙතරම් තාක්ෂණික දියුණුවක් ලබනවාද යන කරුණයි. එය ඉතාම පුදුම සහගත වෙනසක්.

ඇත්තටම මේ මොහොතේ ඉන්දියන් සාගරේ දූපතකට වෙලා තමන්ගේ රටට මොකද වෙන්නේ කියන ප්‍රශ්යන ඔළුවේ තියාගෙන උත්තර නැතුව ඉන්න අතරෙම ජීවිතේ එදිනදා ප්‍රශ්න කන්දකට මුහුණ දෙන අපි එක අතකට පව්. අනික් අතින් මෝඩයි.

අද කෝච්චි පරක්කුයි අනේ (1980), අද මරදානේ මාර ට්‍රැෆික් අප්පා (1970), යාපනේ පොඩි කෙල්ලෙක්ව දූෂණය කරලලු නේද? (1948), අර ඇමතියා කෝටි ගාණක් හොරකම් කරලලු නේද? (1948), අන්න වල් අලියෙක් ගහලා ඉස්කෝලේ ළමයෙක් මැරිලා - (1980), කෝච්චියට අහුවෙලා අදත් අලි දෙන්නෙක් මැරිලා (1980), ළමයට කන්න දෙන්න නැතුව අම්මා ගඟට පැනලා. (1948)

ඔන්න අපිට තියන ප්‍රශ්න. මම ඉස්සරහින් දාලා තියෙන්නේ අපි ඒ ප්‍රශ්න විසඳගන්න තිබුණු අවුරුද්ද.

ඒත් දැන් අපි ඉන්නේ 2018 අවුරුද්දේ.

ඇත්තම ගත්තොත් ඕවා ප්‍රශ්න නෙමෙයි. ඕවා තමයි අපිට වෙච්ච අතපසුවීම්.

අපේ රටේ මිනිස්සු හැමදාම මහපාරවල්වල තමුන්ගේ ජීවිතයට නිදහස ඉල්ලලා අරගල කරනවා. ශිෂ්‍යයෝ අධ්‍යාපනයේ නිදහස ඉල්ලනවා. රජයේ සේවකයෝ වැඩි වැටුප් සමඟ ආර්ථික නිදහස ඉල්ලනවා. පෞද්ගලික අංශය හොඳ සේවා තත්වයන් ඉල්ලනවා. සිවිල් සංවිධාන මානව අයිතිවාසිකම් ඉල්ලනවා. මාධ්‍යවේදියො මාධ්‍ය නිදහස ඉල්ලනවා. අපි සටන් කරනවා. හැබැයි අපි කාටවත් සාමුහික අවබෝධයක් නෑ අපි සටන් කරලා දිනා ගන්න ඕන සැබෑ නිදහස මොකක්ද කියලා. අන්තිමට වීරයෝ බිහිවෙනවා. උත්තර බිහි වෙන්නේ නෑ.

හැබැයි දැන් අපි වෙනස් වෙන්න ඕන. අපි හම්බ කරන් කන්න හයිය තියන, ආණ්ඩුවේ රස්සාවකට ආත්මය පාවලා දෙන්නේ නැති ස්වාධීන මිනිස්සු වෙච්ච ගමන්ම අපේ ඔළුවට එනවා ඇයි අපි ජන්දේ දෙන්නේ? ඇයි අපි බිස්කට් පැකට් එකටත් බදු ගෙවන්නේ කියලා. එතකොට ඒ ගැන ප්‍රශ්න කරන්න හොයලා බලන්න වගකීමක් අපිට තියනවා කියලා අපිට දැනෙනවා.

ඊට පස්සේ අපි හරි පාලකයෝ හොයනවා සහ අපිට දේශපාලන අනන්‍යතාවයක් හදාගන්නවා.

2020 - 2030 කියන්නේ ලෝකයේ තාක්ෂණික විප්ලවයක් සිද්ධ වෙන දශකයක්. ඒ දශකයේදිත් අපිට විසඳන්න තියෙන්නේ මීට දශක පහකට කලින් අපි විසඳාගත යුතුව තිබුණු ප්‍රශ්න නම් මට විශ්වාසයි අපි 2030 වෙනකොට ලෝකයෙන් වඳවෙලා යනවා.

අවුරුදු 2500කට කලින් මානව නිදහස ගැන විශ්වීය දහමක් දේශනා කරපු උතුම් මනුස්සයෙකුගේ අනුගාමිකයෝ දානේ වළඳලා ඉවරවෙලා පාලකයෝ දිහාට හැරිලා මානව ශිෂ්ටාචාරයේ කුරිරුම පාලකයා හිට්ලර් වගේ වෙලා මේ රට හදන්න කියනකොට අපි තේරුම් ගන්න ඕන එතන මහ විශාල අවුලක් තියනවා කියලා.

ඒ කතාවට රටේ බහුතරයක් හුරේ!!! කියනකොට අපි තේරුම්ගන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ගැන මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටිලා කියලා.

ඒ කියන්නේ ඊළඟට මිනිස්සු කරගන්න හදන්නේ කලින් කරපුවටත් වඩා ලොකු බරපතළ වැරැද්දක්.

අපි පවරන ජනවරම "හිට්ලර් කෙනෙක් වෙන්න" කියලා පවරන ජනවරමක් විදිහට කොතනකදිවත් අර්ථකථනය වෙන්න ඕන නෑ. අපි කොහොමද ඊළඟ දශකය අධිකාරිවාදී පාලනයකට යටත් වෙලා ගෙවන්නේ? රට හදන්න "විනය" ඕනමයි කියන අයම චුයින්ගම් එක කාලා බස් එකේ ෂීට් එක යටින් අලවන රටක අපිට උදාහරණයට ගන්න තියෙන්නේ සෞදිය විතරද?

ඇයි අපේ මිනිස්සුන්ට ජපානයේ මිනිස්සුන්ට වගේ ස්වයං විනයක් හදාගන්න බැරි? ඇයි අපේ පාලකයින්ට හමුදා පාලනයෙන් එහාට අධ්‍යාපනය තුළින් එන ශික්ෂණය කරහා විනයක් තියන මිනිස්සු ඉන්න සමාජයක් හදන හැටි ගැන ප්‍රතිපත්ති හදන්න බැරි?

2020 කියන්නේ හරි අමුතු අවුරුද්දක්. අපිට වෙච්ච දේශපාලනික, සමාජීය සහ ආර්ථික අතපසුවීම් නිවැරදිකරගන්න එන වැදගත්ම අවස්ථාව තමයි ඒ. අපි අද ඉඳලා කතා කරමු. රටේ ප්‍රශ්න ගැන. අපි යන්න ඕන පාර ගැන.

අපේ ඒ කතාබහ 2020දි හරි මඟ යන්න අපිට පාර කියාවි.

[ෂේන් මහේන්ද්‍ර ප්‍රියවික්‍රම]

මාතෘකා