සමාජානුයෝජනය

 ඡායාරූපය:

සමාජානුයෝජනය

පුද්ගල ජීවිතයේදී අදාල සමාජයට, පරිසරයට අනුගත වීම අත්‍යවශ්‍ය කාරණයකි. සමාජ විද්‍යාඥයෝ එය සමාජානුයෝජනය ලෙස හදුන්වති. සමාජයට එක්වන නවක සාමාජික සාමාජිකාවන් එම සමාජයට, සංස්කෘතියට හා පරිසරයට අනුගත වීම වශයෙන්ද හැඳින්විය හැකිය. සමාජයක සාමාජිකත්වය ලබාගැනීමට එම සමාජයට අනුව හැඩගැසීමට එනම් සමාජානුයෝජනය වීමට සෑම නවක සාමාජිකයෙකුටම සිදුවේ. පීටර් වර්ස්ලි දක්වන ආකාරයට සමාජානුයෝජනය යනු සංස්කෘතිය පවරාදීමේ ක්‍රියාවලියයි. සමාජානුයෝජනය සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වන්නකි. සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව හා මානව විද්‍යාව යන විෂයයන්හි ප්‍රධාන සංකල්පයක් ලෙස මෙය අධ්‍යයනය කිරීම සහ ඉගැන්වීම සිදු කෙරේ.

පුද්ගලයෙකු සමාජයට අනුගත වීමේදී පවුල, පාසැල, මිතුරු කණ්ඩායම්, ජනමාධ්‍ය යන අංශ ඉතා වැදගත් වේ. කුඩා දරුවෙකු කථනය මෙන්ම සෙසු සියලු චර්යා හුරු පුරුදු වන්නේ අනෙක් අය අනුකරණය තුලිනි. තමා අවට සිටින්නන් කරන කියන දෑ අසා බලා ඔවුන් තම ජීවිතයටද ඒවා එක්කර ගනී. කුඩා කල සිට දරුවන්ගේ කථනය, භාෂණය මෙන්ම චර්යා සකස් කිරීමේදී මව පියා, වැඩිහිටියන් ඇතුළු පවුලත්, පාසැලත් ඉතාමත් වැදගත් වේ. එකී අංශ තුළින් නිසි පරිදි සමාජානුයෝජනයට අවශ්‍ය අත්වැල නොලැබේ නම් සමාජයට අනුගත වන නවක සාමාජිකයාට එය අහිතකර ලෙස බලපෑ හැකිය.

ඉහත කී ලෙස දරුවන් වෙනත් අයගේ කථනය හා සෙසු සියලු චර්යා සමාජයෙන් අසා දැක හුරු වේ නම් දෘෂ්‍යාබාධිත දරුවෙකු එය අනුකරණය කරන්නේ කෙසේද? සත්‍ය වශයෙන්ම එය ගැටළුවකි. උපතින් දෘෂ්‍යාබාධිත දරුවන් සමාජයට අනුගත කිරීමේදී පවුලට සහ පාසැලට විශාල වගකීමක් දැරීමට සිදුවේ. මන්ද එම දරුවන්ට ශ්‍රවණය හැර වෙනත් මාධ්‍යයක් නැත. කථනය හුරු වුවද චර්යා සකසා ගැනීමට පෙනීම භාවිත කිරීමට ඔවුනට නොහැකිය. එබැවින් ඔවුහු තමන්ට පහසු හෝ රිසි දෑ කිරීමට පෙළඹෙති. ඒවා බොහෝ විට අසාමාන්‍ය චර්යා විය හැකිය. නිදසුන් ලෙස හිස වැනීම, ඇසට ඇඟිලි තබා ගැනීම, අත් පා සෙලවීම, තමා අවට වූ දෑ අතපත ගා බැලීම ඉන් කිහිපයක් පමණි. මෙම චර්යා දැක්වීම ඔවුනගේ වරදක් නොව. ඔවුනට සමාජයේ ජීවත් වන සෙසු මිනිසුන්ගේ චර්යා අධ්‍යයනය කිරීමට නොහැකිය. මෙය අප කාට වුවද පොදු තත්ත්වයකි. උපතින් දෘශ්‍යාබාධිත දරුවන් මෙවන් චර්යා දක්වන විට දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයන් දරුවා කුඩා කාලයේදීම එම චර්යා නිවැරදි කළ යුතුය. නැතිනම් දරුවාට වැරදි වුවත් එම චර්යා පුරුදු වී පසුකාලීනව වෙනස් කිරීම ඉතාමත් අපහසු විය හැකිය. ඇතැම් විට එවන් දරුවන් සිටිනා ඉරියව් වැරදි නම් ඒවාද සැකසිය යුතු ය. මන්ද කාලයත් සමඟ පසුකාලීනව විවිධ රෝග තත්ත්වයන්ට පවා එම ඉරියව් හේතු විය හැකිය.

විශේෂයෙන් අප මේ කතාබහ ආරම්භ කළේ සමාජානුයෝජනය යන සංකල්පයත් සමඟය. ආබාධිත යැයි සිතා ඔවුන් සමාජානුයෝජන ක්‍රියාවලියෙන් ඉවත් කිරීම, ඈත් කිරීම නොකළ යුතුය. සමාජානුයෝජන ක්‍රියාවලියට විශේෂ වශයෙන්ම සම්බන්ධ කර ගෙන වි‍ශේෂ අවධානයකින් යුතුව ඔවුනට ලබාදිය යුතුය. මා මෙසේ කියන්නේ මෙය 21 වන සියවස වුවත් මීට වසර ගණනාවකට පෙර මෙන් තවමත් ආබාධිත දරුවන්ගේ මුල්ලේ තබන අවස්ථා අසන්නට, දකින්නට ලැබෙන බැවිනි.

සමාජයෙන් කොන් කිරීම තුළ එම දරුවන්ගේ අසාමාන්‍ය චර්යා වර්ධනය වන අතර දරුවා වැඩිහිටියෙකු වන කලෙක ඔහුට හෝ ඇයට සාමාන්‍ය සමාජය සමඟ ජීවත් වීම, සමාජයට අනුගත වීම අපහසු විය හැකිය. උපතින්ම දෘශ්‍යාබාධිත වූ පුංචි පුතෙකු වසර 5ක් පමණ ගේ මුල්ලේ තබාගෙන සිට පසුගිය වර්ෂයේදී රත්මලාන අන්ධ විද්‍යාලයට භාර දී ඇත. දරුවා පාසලට පැමිණෙන විට කතා කිරීමට හැකි වී ඇත්තේ වචන කිහිපයක් පමණි. එනම් (මෙහෙ වරෙන්. බත් කාපන්.) යන වාක්‍ය දෙක පමණි. ඊට හේතුව වී ඇත්තේ දරුවාට සන්නිවේදනය වී ඇති එකම වාක්‍ය ඛණ්ඩ එපමණක් බැවිනි. එම දරුවා ඇතුළු තවත් පුංචි පැටවුන් කිහිප දෙනෙකුම ඉඳගැනීම, කෙලින් සිට ගැනීම යන සාමාන්‍ය චර්යා හෝ නොදැන සිට ඇත. පවුල් පරිසරයේදී එකී නිවැරදි චර්යා පවුලේ සාමාජිකයන් හුරු නොකිරීම ඊට හේතුවයි. රත්මලාන අන්ධ විද්‍යාලයේ ගුරු මණ්ඩලය එවන් දරුවන්ගේ චර්යා නවීකරණය උදෙසා සැදී පැහැදී සිටින බව එහිදී අපට පෙනී ගිය තත්ත්වයයි.

එමෙන්ම කතා කිරීමට නොහැකි මවකට සහ පියකුට උපදින දරුවාට කතා කිරීමේ අපහසුතා ඇති නොවන තරම් ය. නමුත් එම දරුවාට සමාජයේ සෙසු මිනිසුන් කරන කතාබහ වසර ගනණක් නො ඇසේ නම් කථනය නොහැකි විය හැකි ය. එවන් දරවන් සමග පවුලේ සෙසු සාමාජිකයන්, සමාජයේ සෙසු සාමාජිකයන් අන්තර් සබඳතා පැවැත්විය යුතුය. ගොලු මවකට සහ පියෙකුට උපන් දැරියක් කුඩා කල සිට ජීවත් වී ඇත්තේ තම ගොලු මව සහ පියා සමඟ වන අතර එම දෙපල තම දරුවාද ගොලු යැයි සිතා රත්මලාන ගොළු විද්‍යාලයට ඇතුළු කර ඇත. නමුත් මෙම දැරිය වයස අවුරදු 17දී රැකියාවක් සඳහා පිටත් වේ. එහිදී සෙසු පුද්ගලයන් කතාබහ කරන සියල්ල ඇයට ඇසෙන අතර ටික දවසකින් ඇයද කතා කිරීමට පටන් ගෙන ඇත. ඇය ගොළු දැරියක් නොව. සමාජානුයෝජනය නොවීම තුළ ඇය වසර ගනණක් ගොළු වී සිට ඇත. මෙවන් සිද්ධීන් රැසක් අපට අසන්නට ලැබුණි.

කුමන ආබාධිත තත්වයක පෙළුණ ද සමාජය සමඟ ගැටීමට ඔවුන්ටද ඉඩහසර ලබාදිය යුතුය. සමාජානුයෝජන ක්‍රියාවලිය තුළ ප්‍රමුඛස්ථානයක් ඔවුනට ලබාදිය යුතුය. හැකි නම් සාදු සන්ධ්වනිය නම් පරිවර්තන කෘතිය සොයාගෙන කියවා බලන්න. එහිද ඇත්තේ සමාජානුයෝජනය නොවූ දෘශ්‍යාබාධිත දැරියක් සමාජානුයෝජනය වීම පිළිබඳව කතා පුවතකි.

[සත්‍යා නිර්මාණි]

මාතෘකා