මන්නාරම් මුතු වෙරළේ කඳුළු නොපෑගෙන්න

 ඡායාරූපය:

මන්නාරම් මුතු වෙරළේ කඳුළු නොපෑගෙන්න

වෝහාරික පුරාවිද්‍යාත්මක කැණීමක් සඳහා පැමිණ දෙමාසයක් තිස්සේ මන්නාරමේ වෙසෙමි. මා ආ බසය මුරුන්කන් පසු කරමින් පිළිවෙළින් මඩු සහ උලියන්කුළමද පසු කර ඉදිරියට ඇදෙන විට, මන්නාරම් වෙරළේ නවතා තිබුණු කුඩාබෝට්ටු පෙළෙහි දැල්වුණු පහන් පෙළ එකම ‘පහන් වැටක්’ ව පෙනිණි. මේ වන විට මැදියම් රාත්‍රියේ පිරිත් කියැවුණු ‘රජරට සේවය’ සාදාකාලිකවම නතර වී බොහෝ කල්ය. දකුණ අසන අනෙකුත් ගුවන්විදුලි සේවාද මන්නාරම් පාලම මතදී අක්‍රීය වනු අත්දුටුවෙමි.

මා මෙන්ම මන්නරාමට ආ ගිය හෝ අසා ඇති අනෙක් සියලු දෙනාමත්, මන්නරමේ පවතින අර්ධ ශුෂ්ක දේශගුණික තත්ත්වය ගැන මනාව දනී. එහෙත් එය කොළඹ වාසය කරන්නාක් මෙන් පීඩාකාරී අත්දැකීමක් නොවන්නේ නිරන්තරව හමන මුහුදු සුළඟින් යම් සහනයක් සලසන නිසාය. සුළඟින් ඇඹරුණ කොසඹ තුරු, තල් සහ නෙරළු තුරු හැරෙන්නට විශාල ප්‍රමාණයේ කිසිඳු ගසක් මෙහි දක්නට නැතත්, පෙරදී මන්නරාමේ රාජකාරි කළ මහසේත්‍රාත්වරයාගේ මැදිහත් වීමෙන් ශාක රෝපණ ව්‍යාපෘතියක් සිදු වී තිබිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් කලපුව හරාහා ප්‍රධාන භූමිය සහ දූපත යා කරන පටු බිම්තීරයේ එක් පසකින් රෝපිත කුඹුක් ශාක පැළ කොට ඇති අතර ඒවා රැක ගැනීම සඳහා දිනපතා වතුර වත්කොට රැකබලා ගැනීමක්ද සිදු වේ.

ඊසානදිග මෝසම් වර්ෂාව වෙනුවෙන් තතනන මන්නාරම් අහසට සවස් කාලයේදී එක්රොක් වන වලාකුළු කැටි කාෂ්ටක පොළොවට පිනිකැට ඉසියි. එහෙත් එය මන්නාරමේ ශාන්තිනීලාගේ නළලේ කුංකුම තෙමන්නට තරම්වත් ප්‍රමාණවත් නොවේ. මුරුන්කන් සිට යෝද වැවේ වතුර මන්නරාමට ලැබෙන්නට කළින්, එනම් 2007 අවුරුද්දට කළින් ශාන්තිනිලා කළේ ළිං පතුලක රැඳුණු ලුණු වතුරෙන් දිය නා ‘තොට්ටුකාඩු’ ළිඳෙන් ඇදගත් ‘හොඳ වතුර’ බාල්දියකින් ඇඟ පතේ තැවරුණු ලුණු වතුර හෝදාගැනීමය. ‘තොට්ටුකාඩු’ යනු යටත් විජිත සමයේ තැනුණු ළිඳකි. රත්න ශ්‍රී සිය තීරු ලිපියකින් පවසන්නාක් මෙන්ම එය නම් කුරිරු මිරිඟුදිය තුළම සිහිලැල් පොකුණක් සේ සලකා ගෙනය. ඔවුන්ට මුරුගසන් වැස්සක් ගැන නම් බලාපොරොත්තුවක් නැත්තාසේය. ඇත්තෙන්ම මුරුගසන් වැස්සට ඔවුන් බියය. වැස්සේ අග්නි අසනියට දිවිදුන් ශාන්තිනීලා ගැනත්, කෝවලන් ලා ගැනත්, ඔවුන් නැති මන්නරාම ගැන දුක්වන්නේ සුළඟින් ඇඹරී, චණ්ඩ සූර්යතාපයෙන් ඉපල් වුණු කනේරු මල් ගස් පමණි.

ශාන්ත ශේවියර් කන්‍යාරමය ඇරී, නැතිනම් අප හොඳින් අසා ඇති මන්නාරම් කන්‍යාරමය ඇරී එක පොකුරට එන කාකනිල් පිනපෝ ගවුම ඇඳ සිටින බාලිකාවන් අතර ශාන්තිනී ඇත්දැයි සොයමි. කණේරු ගස් පාමුල පර වී වැටුණු කෝවලන් ලා පිළිබඳ ඔවුන් දන්නේදැ’යි නොදනමි. ඒ කෝවලන්ලා නැවත අවදි වුවත්, ඇත්තටම කොහේ යන්නද? රශ්මි සංගීතාගේ වේදනාබර හඬ සිහිවෙයි.

‘‘....නැඟිටින්න එපා නැඟිට කොහේ යන්නද අපි...”

රත්න ශ්‍රී අතින් ලියැවෙන පරිදි මේ කාශ්ටක මන්නාරමෙන් ශාන්තිනිලා පමණක් පතන, මන්නාරම් මුතු වෙරළේ කඳුළු පෑගෙන්නට නොදී ඔවුන්ව හඳ මඩලට රැගෙන යන්න පරිකල්පනය කරන දකුණු සමාජය ඉසිඹුවක් ගෙන සිතිය යුතු යමක් ඇත. ඔවුන්ගේ සියල් සිරිත් සහ කුලගොත් පමණක් නොව, ඔවුන් වෙසෙන භූමියද ඔවුන්ටම දෙන්න...!

අරිප්පු වෙරළේ දිලෙන කඳුළු කැට ඉතිරි කොට මුතුකැට පමණක් රැඟෙන ගොසිනි. තලේමන්නාරම දක්වා දිවෙන තාරපටියකට පමණක් සීමා වී ‘උතුරු වසන්තය’ නිමා වී ඇත. එහෙත් එහි ජීවත් වන ‘ජේසුදාස්ලා’ගේ හෝ ‘අන්බලගන්ගා’ගේ ජීවිත වලට තවමත් වසන්තය උදාවී නැත. ඇත්තෙන්ම ඔවුන් තවමත් ගෙවන්නේ පිටුවහල් ජීවිතය. ඔවුන්ට ‘කොළඹ’ යනු, ඉන්දියාවටත් වඩා දුරු රටකි... ඔවුන්ගේ ස්මරණ තුළ ඇත්තේ බෝට්ටුවක නැඟී පැය භාගයක් තුළ ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා යාත්‍රාකොට දෙමළ සිනමාපටයක් බලා නැවත මන්නාරමට පැමිණි අතීතයකි. භෞතික සහ මානසික වශයෙන් එවන් පැවැත්මක් සහිත මිනිස් කොට්ඨාශයක් ‘ඒකීය රාජ්‍යයක්’ නැමති සිහිනයක කොටස්කරුවන් කරගැනීම ද තවත් එක් සිහිනයකි.

බග සඳක් පායා ඇති රැයක, පේසාලේ සිනිඳු මුදු මන්නාරම් වැල්ලට මුහුද කොඳුරන ‘නොනවතින ගීතයට’ කන් දෙමින්, බීර වීදුරුවක් තොලගාන්නට හැකි දකුණු සංචාරකයෙකු සහ ඔහු අයත් සමාජය, පේසාලේ නැත්නම් මන්නාරමේ නැත්නම් මුළු මහත් උතුරේ ම මිනිසුන්ගේ දුක් ගීයට කවදා නම් ඇහුම්කන් දෙයිද...?

[දිනේෂ් දේවගේ]

මාතෘකා