මෛත්‍රී නළුවෙක් නෙ‍ෙවයි රටට ආදරය කරන නායකයෙක්

 ඡායාරූපය:

මෛත්‍රී නළුවෙක් නෙ‍ෙවයි රටට ආදරය කරන නායකයෙක්

ඇමති දුමින්ද කියයි

රටට අවශ්‍යවන්නේ මහපො‍ළොවට, දරුවන්ට ආදරය කරන නායකයෙකු මිසෙක නළුවකු මෙන් හැසිරෙන්නෙකු නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර නැගෙනහිර මැතිවරණ බල ප්‍රදේශයේ අංක 01 මධ්‍ය සංවිධාන පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

මෛත්‍රී මහත්තයයි -මහින්ද මහත්තයයි එකට හිටෙව්වොත් මහින්ද මහත්තයා මෛත්‍රී මහත්තයාට වඩා ලස්සන වෙන්න පුළුවන්, පෙනුමෙන් ලොකු වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් එක්ක මහින්ද මහත්තයා වඩා ආකර්ෂණීය වෙන්න පුළුවන්. හැබැයි අපට ඕන නළුවෙක් නෙමයි. අපිට ඕන රටට ආදරය කරන, මහ පොළවට ආදරය කරන, ජනතාවට ආදරය කරන මනුස්සයෙක්. දරුවෙක් වඩා ගෙන ඔළුව අතගාල ෆොටෝ ගහන අය නෙමෙයි, හැබෑවටම අපේ දරුවන්ගේ අනාගතය සුබවාදී වෙන රටක් හදන්න පුළුවන් මිනිහෙකුට තමයි අපි ආදරය කරන්නේ.

මම පහුගියදා කතරගම ගියා, කතරගම ගියහම මට මතක් වුණා මැණික් ගං ඉවුරේ ගෝඨාභය මහත්තයාගේ ගෙයක් තියනවා කියලා මාධ්‍යයේ ගියානේ. මම ඒක බලන්න ගියා. ලොකු ගෙයක් හදලා තියෙනවා. ගං ඉවුරේ තමයි හදලා තියෙන්නේ. ගේට්ටුවෙන් යන්න බැරි නිසා මම පැත්තෙන් ගිහින් බැලුවා. ඒ වෙලාවේ ඊට අල්ලපු ගෙදර කාන්තාව කිව්වා මේක වෙන කාගෙවත් නෙමයි, මේක ගෝඨාභය මහත්තයාගේ, මේක හදන කොට මගේ මේ පුංචි පැල්පතත් හදලා දෙනවා කිව්වා. හැබැයි සර් ගේ හදාගන්න යන කොට අපිට බැනලා එලෙව්වා. අපේ ගේ කටුමැටි ගෙයක් නිසා ඒක පේන්න නැති නිසා ඒ පැත්තෙන් ඒක වැහෙන්න තාප්පෙකුත් බැන්දා කියලා.

මේවා මේ සමාජයේ කියන කථා. බැසිල් මහත්තයාගේ ගෙයක් තියෙනවා අයිතිකාරයෙක් නැති. අපේ ගම්වල එක ඉඩම බෙදා ගන්න බැරිව සහෝදර - සහෝදරියොත් නඩු යනවා. බැසිල් මහත්තයාලගේ මහා ලොකු මාලිගා කාගෙද කියලා ඇහුවම මගේ නෙමෙයි කියනවා. නාමල් රාජපක්ෂ මහත්තයාගේ බැංකු ගිණුම් වල සල්ලි කාගෙද කියලා ඇහුවම මගේ නෙමෙයි කියනවා. ඩේසි ආච්චිගේ ගේ ඉස්සරහ මැණික් මලු තිබිලා හම්බවෙනවා. අපේ ගමේ පොඩි මිනිහෙක්ගේ බැංකු පොතක පොඩි ගාණක් හරි වැඩියෙන් තිබිලා ඔප්පු කරගන්න බැරි වුණොත් හිරේ. මේ අය බොහෝම ලේසියට, මගේ නෙමෙයි, මම දන්නේ නෑ, මගේ කියලා ඔප්පු කළොත් මේක මම ලියලාම දෙන්නම් කියනවා. රටම දන්නවා, ගමම දන්නවා, ලෝකෙම දන්නවා. අපි මේවාට තමයි විරුද්ධ වුණේ.

පහුගිය දා හෙරොයින් ජාවාරමේ නිරත වෙලා මරණීය දණ්ඩනය ලැබිලා තියෙන, මරණීය දණ්ඩනය නිසා එළියට එන්න බැරි අය ඇතුළේ ඉඳන් හෙරොයින් ජවාරම් කරනවා. මෙවැනි මිනිසුන් නිසා තමයි මේ රට විනාශ වෙන්නේ, ඒ නිසා මෛත්‍රී මහත්තයා ඒ සඳහා තීන්දුවක් ගත්තා කවුරු එපා කිව්වත්, කවුරු විරුද්ධ වුණත්, කවුරු මොන මතය දැරුවත් මම ලෑස්තියි මරණ දඬුවම දෙන්න මගේ අත්සන ගහන්න කියලා. එතුමා බෞද්ධයෙක් වුණත් බෞද්ධකම ගැන නෙමෙයි බැලුවේ.

සමාජයට ඇතිවෙන්න යන විනාශය නවත්වන්න, මට කවුරු දොස් කිව්වත් මගේ අත්සන ගහලා මේ රට කුඩුවලින් මුදවගන්නම් කියලා එතුමා කියනවා. අපිට ඕන එහෙම හිතන නායකයෙක්. කිය කිය ඉන්නවාට වඩා රට හදන නායකයෙක් තමයි අපිට ඕනකම තියෙන්නේ.

මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ කොච්චර හෙරොයින් තිබුණද? හැබැයි ඇල්ලුවද ? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කොළඹ පළාත් සභා මැතිවරණය වෙලාවේ ඒ වගේ හොඳම කෙනෙක් එක්ක හාල් බෙදුවා, පස්සේ මෙයා හෙරොයින් ජාවාරමට සම්බන්ධයි කියලා දැනගත්තම සුදු වෑන් එකක් එවලා අල්ලා ගත්තා. තව අපේ එක නියෝජ්‍යය අමාත්‍යයවරයෙක් හිටියා, ඒ නියෝජ්‍ය ඇමතිවරයාගේ ගෙදර වටලන්න එස්.ටී.එෆ් එක ගියහම, මහින්ද රාජපක්ෂ මහත්තයා චොපර් එකෙන් ගියා ඒ ගෙදරට, කොහොමද එස්.ටී.එෆ්. එක ඒ මිනිහව අත්අඩංගුවට ගන්නේ.

මේවා බොරු කථා නෙමෙයි දකින්න තිබුණා. මෛත්‍රී මහත්තයා ආයේ පාරක් ජනාධිපති වෙන්න ඕන කියන්නේ මේ රටට ඕන හිට්ලර් කෙනෙක් නෙමෙයි, මනුස්සකමට ආදරය කරන, මහ පොළොවට ආදරය කරන, රටේ දේපළ සූරාකන්නේ නැති, රටේ දේපළ විනාශ නොකර රටට යමක් එකතු කරන නායකයෙක් තමයි අපිට අවශ්‍යය කරන්නේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කථා කරන්නේ නිතරම රට හදන්නයි, මත්ද්‍රව්‍ය එපා කියනවා, රට සමඟි සම්පන්න වෙන්න ඕන කියනවා.

ජාතික සමගිය ඇති වෙන්න ඕන කියනවා. අපි ඇණ -කොටා ගන්න එක නවත්වන්න ඕන කියනවා. හොරකමට තිත තියන්න කියලා ඒවාට තමන්ගේම නිලධාරියෙක් සම්බන්ධයි කියලා ඔප්පු වුණත් ඒ අයටත් නීතිය ක්‍රියාත්මක කළා. තමන්ගේ අයට චෝදනා එද්දී ඒක ලැජ්ජයි කියලා හරි නම් වහන්න ඕන, නමුත් එහෙම කළේ නෑ, අපේ දරුවන්ගේ අනාගතය සුභාවදී වෙන්නේ මේ වගේ නායකයෙක් ආයෙත් බලයට පත් වුණොත් විතරයි යැයි අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

[දර්ශන හපුකොටුව]

මාතෘකා