ඇවිළුණු උතුරට පැන්

 ඡායාරූපය:

ඇවිළුණු උතුරට පැන්

සායනික සටහන්

ඇවිළුණු උතුරු කතා එක්ක මට යළිත් උතුර මතක් විය.

සංහිඳියාව ඇති කළ යුත්තේ අපමය. පටු බල ලෝභී දේශපාලන අරමුණු කරා ජාතියක මළගම යළි ලියා දිය යුතු නොවේ.

දෙමළ වචනයක්වත් නොදැන එහි ගිය අපිට, දෙමළ ඉගෙන ගන්නටත්, ඉන්පසු ඔබ මෙහෙද අහන්න තරම් දෙමළ කියවන්නටත් පුළුවන් කළේ උතුර ය. එහි ගිය නිසා ය. “ඔයා දැන් සිංහල කතා කරන්නෙත් දෙමළ ඇක්සන්ට් එකකට " ය කී අනුරාධපුර යහළුවෝ තවමත් ඒ කාලය ගැන මතක් කරති.

ආච්චිලා පැමිණ "තංගච්චී,ඩොක්ටර් අම්මා එංග ?" යැයි අසද්දී

(නංගී, දොස්තර කොහේද?)

"මම තමයි ඩොක්ටර්" යැයි කියද්දි...

"මෙච්චර මේ කෙල්ලෝ කොහොමද දොස්තරලා වෙන්නේ " යැයි ඔවුන්ද ඇස් ලොකු කරගෙන ඇසුවෝය.

උතුරු කොනේ සිට අපි බොහෝ විට අසාධ්‍ය ලෙඩුන් ගෙන ගියේ අනුරාධපුරටය. එහි යන එන විට, අපට ලැබුනේ බොහෝ ළෙංගතු ආමන්ත්‍රණයන්ය. මේ කොනේ සිට රෝගීන් කෙසේ හෝ පණ ගන්වා, ගොඩ දාගෙන වෙහෙසී තවත් පැයක ගමනකින් එහි සැපැත් වෙන විට අපි බාගෙට මැරී සිටින්නෙමු. “ඩොක්ටර් අන්න ඩොක්ටර්ස් රූම් එක, මූණ හෝදා ගන්න, මෙන්න පුටුව ඉඳ ගන්න” වැනි සුහද ආමන්ත්‍රණ එහි දකින්නට ලැබිණි. වෛද්‍යවරුන් පවා උනුන් හා සුහදත්වයෙන් කටයුතු කෙරිණි.

යුද්ධය අවසානයේ දකින්න ලැබුණේ සියල්ල අහිමි වූ කොහෙන් කොහොම මේ අවුල ලිහා ගන්නේදැයි විමසූ හදවත් ය. එහි ගිය අපට දරන්නට සිදුවුණේ සියලු දේ අහිමි වූ මිනිසුන්ගේ අඳෝනා ය. උතුරේ ප්‍රධාන රෝහල් දෙකක සීමිත වෛද්‍යවරුන් සංඛ්‍යාවකගෙන් වැඩකටයුතු කළ යුතු වූයෙන්, ඇතැම් විට දවල්ට කන්න ලැබුණේ වඩයක් සහ කිරි පැකට් එකකි. එහෙමත් නැත්නම් උදේ අටේ සිට සවස හය දක්වා තියටර් ලිස්ට් එක ඉවර කරනකම් සැරෙන් සැරේ ලැබුන සීනි වැඩි තේ එකක් සමග පරිප්පු හෝ උළුඳු වඩයකි. හවසට බොහෝ විට එක කොත්තුව දෙකට බෙදන් කන්නේ එය ඒ තරම් විශාල නිසා ය.

උදේට නොකා කළන්තේ දමා එහි පැමිණෙන විශ්වවිද්‍යාල හෝ පාසැල් සිසුන් හට “ඔයාලා උදේ නොකා කලන්තේ දාලා එනවා. මගේ ඩොක්ටර්ස්ලා රෑට කාලත් නෑ, හරියට උදේට කාලත් නෑ,

රෑ පුරාම ඇහැරගෙන ඒත් තාම වැඩ කරනවා” කියමින් කියූ විශේෂඥ වෛද්‍යවරියක් සිටියාය.

එක් දිනක් මුළුල්ලේ අප හදිසි සැත්කම් පමණක් දහයක් කර තිබුණේ අතේ මතුවන කරගැට ද අමතක කරමිනි.

මුහුණ නොබැලූ එල් ටී ටී ඊ හිටපු සොල්දාදුවන්ද, මුහුණ බැලූ නමුත් සිංහල වචනයක් දොඩාගත නොහැකිව සිටි ගැහැනු මිනිසුන්ද, අපට අපේම අය වූයේ උතුරු කොනේ දී ය. ඒ අප ඔවුන්ගේ ජීවිත හා ගනුදෙනු කළ නිසා ය.

If u can bear to hear the truth u’ve spoken

Twisted by knaves to make a trap for fools,

Or watch the things u gave ur life to,broken,

& stoop & build’em up with wornout tools;

Radyard kipling

ඔව් අප දුටුවේ, රඩ් යාඩ් කිප්ලිං ගේ if යන කාව්‍යයේ සඳහන් පරිදි, සියල්ල බිඳ වැටුණු, සුන් බුන් වී ගිය පසු ඒ අළු මතින් නැගී සිට ජීවිතය වෙර දරන උන් ය. ආයුධ අත හැර ජීවිතය සෙවූ ඔවුන්ය.

සිංහලයා නරකයි, බිහිසුණුයි ම්ලේච්ජයි කියා උගෙන, සිංහල වෛද්‍යවරුන්ගෙන් ජීවිතය ඉගෙන ගත් ඔවුන්ය. සිංහලයාත් දෙමළාත්, මුසල්මානුවාත් අපි හැමෝම, රෝහල් ගේට්ටුවෙන් එපිට උස්මිටි කම් තරාතිරම් නැතිව සාමාන්‍ය මිනිසුන් බවට පත් වන බව ඔවුන් උගත්තේ අපෙනි.

රෝගීන් පිරී ඉතිරී යන වාට්ටු වල හිත හදන් වැඩ කරන්නට සිදුවුනේ ඒ තරම් ජන ගඟක් පාලනය කිරීම හැරෙන්න වෙන විකල්පයක් නොවූ නිසා ය. ඔවුන්ට රෝහල යනු ඔවුන්ගේ දූකට සහනයක් වුණු තැනක් විය. ඔවුන්ගේ දුක් කරදරසියල්ලම එහි මුදා හැරියේ එනිසා වෙන්නට ඇති. ඒ අය ට යම්කිසි හෝ සහනයක් වූයේ රෝහල්වල සෞඛ්‍ය කාර් යය මණ්ඩලය බව නොරහසකි.

බත් කන්න අකමැති ආච්චිලාට, සීයලාට, හැට් කළෙක්ෂන් දමා

(සල්ලි එකතු කර) ආප්ප හෝ ඉඳි ආප්ප ගෙනාවේ HO ලාය ( house officers).

මේ කතා මේ ලෙසින් ලියා තැබුවේ නැත්නම් නැවත මතක් කිරීමද අමාරු කාර්යයකි. ඒ තරම් විවිධ වූ සංසිද්ධි දාමයන්ගෙන් අනිත්කොන දවස් සැකසී තිබුණි. විඳින දකින දෑ හිතෙන්, හදවතින් ස්පර්ශ කරන්නට හැකි යාව ඇත්තේ සුළු පිරිසකට බව මම දනිමි. ඒ සුළු පිරිස මුදලට ලොබ බැඳන් ඒ කාර්යයන් හි යෙදෙන්නේ නැති නිසා තවමත්, මිනිසුන් ඔවුන් දේවත්වයෙන් සලකති.

වෛද්‍ය විද්‍යාව යනු ඉන්ද්‍රජාලික බලවේගයක් හෝ දේවත්වයක් නොවේ. එය හුදෙක් විද්‍යාත්මක පරීක්ෂණ නිරීක්ෂණ නිගමන ඔස්සේ පදනම් වුණු එකකි.

අද යළිත් ඒ බිහිසුණු ඉතිහාසය මතක් කරමින් කවුරුන් හෝ මේ අවුලවන්නේ හිත් ය. පණ පොවා නැගී සිටින්නටත් කලියෙන් මේ බිඳ දමන්නේ උතුරේ මිනිසුන් ය. තරුණ තරුණියන්ට මෙවැනි පෙන්වීම් තුළින් සිදුවන්නේ යළිත් වැනසෙන්නට ය.

වෛද්‍යවරුන් වන අප හැමදා සාමය සහජීවනය වෙනුවෙන් කැප විය යුතුය අප කරන්නේ අපේ සේවාව හරියාකාරව කිරීමය. මේ ලියැවිලිවල එතෙන්නේ, සේවාව අතරතුර හදවතට දැනුණු මිනිස් හැඟීම්ය. ඒවා කිසිසේත්ම මට සිළිටු නොවේ.

[වෛද්‍ය බෝධිනී ]

මාතෘකා