ඩයොනීසියානු සටහන්

 ඡායාරූපය:

ඩයොනීසියානු සටහන්

ද්වෛතය

යින්ග් සහ යැන්ග් එක්ව නිර්මාණය කරනා සංකේතය ඔබ නොදැක හිඳින්නට හැටියක් නැත, එය හුදු ගැහැණු පිරිමි ලෙසින් වන සර්වකාලීන පැරඩොක්සය පමණක් සංකේතවත් නොකරයි. එය සැබවින්ම සමබරතාවය පිළිබඳ ප්‍රකාශයකි.

ගැහැනු සහ පිරිමි සංකලනයෙන්, සමබරතාවයෙන් නිර්මාණය වන ලෝකය මෙන්ම, එයින් එපිට පවතින විශ්වීය සමබරතාවය - එනම් ආලෝකය සහ අඳුරද එයින් සංකේතවත් කරයි.

කොටින්ම පවසන්නේ නම් එකකින් තොරව අනෙකට පැවතිය නොහැකි, විශ්වයේ පවත්නා සමස්ත ද්වෛතත්වයම යින්ග් සහ යැන්ග් තුළින් හැඟවුම්කරණය වෙයි.

දුරාතීත කාලයක... දුර ඈත පිහිටි මන්දාකිණියක... දහසක් තාරකා අතර මින් පෙර නොවූ විරූ සිවිල් යුද්ධයකින් මන්දාකිණියම විනාශයේ මුවවිටට පැමිණ තිබෙනවා. නපුර සහ යහපත අතර පැවතුණු අනවරත සමබරතාවය ගිලිහී ගොස් තිබෙනවා.

ජෝර්ජ් ලූකාස් සිය තාරකා යුද්ධ චිත්‍රපට පෙළ සම්බන්ධ අදහස හැඩගැස්වීමේදී එයට පෙරදිග දර්ශනයන් ත්‍රිත්වයක ආභාෂය ලබාගන්නා බව ඕනෑම ස්ටාර් වෝර්ස් ලෝලියෙකු හඳුනාගනු ඇති.

ඒ නම් අතීත චීන දර්ශනය, බෞද්ධ දර්ශනය සහ පෞරාණික පර්සියානු සොරෝ ඇස්ට්‍රික දර්ශනයයි. සැබවින්ම ජෙඩායි නයිට්වරුන්ගේ සමස්ථ පදනම වන බලය සම්බන්ධ දර්ශනය ගොඩනැංවෙන්නේ උක්ත සම්භාව්‍ය දර්ශනයන්ගෙන් පොහොසත් වෙමින්.

යින්ග් සහ යැන්ග් පැහැදිලිවම අතීත චීනයේ ටඕ දර්ශනයේ හඳුනාගත හැකියි. සොරෝ ඇස්ට්‍රික දර්ශනයෙන්ද කියැවෙන්නේ ලෝකය යනු හොඳ සහ නරක බලවේගයන් අතර සදාකාලික යුධ පිටියක් බවයි.

ඇනකින් ස්කයිවෝකර් හෙවත් ඩාත් වේඩාර් අන්ධකාරයට නතුවී, අඳුර හෙවත් නපුර බලසම්පන්න වන විට, නැවතත් විශ්වයේ සමබරතාවය නිර්මාණය කිරීම සඳහා ඔහුගේ දියණිය සහ පුත්‍රයා වන ලියා සහ ලූක් ආලෝකයේ නියෝජනයන් වීම අහඹුවක් නොවෙයි.

ඒ ස්ටාර් වොර්ස් විශ්වය පුරාම නැවත නැවත ප්‍රතිනිර්මාණය වන ද්වෛතවාදී තේමාවයි.

“May the force be with you”

මේ ස්ටාර් වෝර්ස් චිත්‍රපටය පුරා ඇසෙන ආශිංශන වාක්‍යයයි. මෙහිදී Force ලෙස හඳුන්වන්නේ ටාඕ දර්ශනයේ එන "චී" ශක්තිය බව අපට මෙහිදී හඳුනාගත හැකිවෙනවා.

චී ශක්තිය ලෙසට හැඳින්වෙන්නේ යින්ග් සහ යැන්ග්, එනම් විශ්වයේ පවතින ධනාත්මක බලවේගය සහ සෘණාත්මක බලවේගය, එසේත් නැතිනම් ස්ත්‍රී ස්වරූපික බලය සහ පුරුෂ ස්වරූපික බලය වනවා.

මෙම යින්ග් සහ යැන්ග් දෙකේ සමතුලිතතාවයෙන් ඇතිවන "චී" ශක්තිය පරම පිරිසිදු ජීවන ශක්තිය ලෙස ටාඕවාදයේ හැඳින්වෙනවා.

එසේම තමන් තුළ පවතින චී ශක්තිය තම පාලනයට නතු කරගත හැකි පුද්ගලයා හට විශ්මිත දේ කළ හැකි බව අග්නිදිග ආසියානු විශ්වාසය වනවා.

චී ශක්තිය මෙහෙයවීම තුළින් සටන් කලාවන්ගේ නිපුණත්වය ලබාගැනීම මෙන්ම එවැනි බොහෝ චීන කලාවන් චී ශක්තිය ඇසුරු කරගනිමින් උපත ලබනවා.

චී ශක්තිය ගැන ටාඕ වාදයේ සඳහන් වන්නේ එය සජීවී අජීවී සෑම සියළු දෙයක් තුළමත්, එකිනෙකා අතරත් පවතිමින් පැවැත්ම සංස්ථිතික කරන ජීව ගුණය ලෙසට.

ස්ටාර් වෝර්ස් කථාමාලාවේ ජෙඩායි නයිට්වරැන් ගේ විශ්වාසය ද මෙයම වනවා.

"The force is an energy field created by all living things, it surrounds us, it penetrates us, it binds the galaxy together"

ඔබි වැන් කෙනෝබි තරුණ ලූක් ස්කයිවෝකර්ට එසේ කියා සිටිනවා.

සැබවින්ම ජෙඩායි නයිට්වරුන් යනු ආගමික රණශූරයින් පිරිසකට සමාන වන අතර, ඔවුන්ගේ පැවැත්මේ පරම අරමුණ වන්නේ විශ්වයේ සමබරතාවය ආරක්ෂා කිරීමයි.

ඒ නයින් ජෙඩායි දෙවොලේ ආගමික දර්ශනය වන්නේද ද්වෛතයම වෙයි.

[අරමානිස් බලසේක්කු]

මාතෘකා