වනන්තරේ වනමල් හා බැඳි හාද

 ඡායාරූපය:

වනන්තරේ වනමල් හා බැඳි හාද

රත්කිඳත්, උල්හිටියත් වතුරෙන් පිරුණාම බලන්න ලස්සනයි. එක යායට කොළපාට වුණ කුඹුරුයාය අතරින් “ඌහර්“ පටිගත කිරීමේ යන්ත්‍රයත් කරේ ගහගෙන අපි ජනපද වාසීන් හමුවෙන්න යනවා. ඔවුන්ගේ ඉටු නොවුණු අවශ්‍යතා, ගැටලු හා ප්‍රශ්ණ, ඒවා විසඳාගැනීමේ මාර්ග සඳහා ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීම අපේ ගුවන්විදුලියේ මූලික අරමුණ වුණා. ගිරාඳුරුකෝට්ටේ ගුවන්විදුලිය සිය ශ්‍රවණ කලාප වාසීන්ගේ ගුවන්විදුලියක් වුණේ එහෙම. දැනුම, තොරතුරු විතරක් නෙමේ විනෝදාස්වාදය ලබාදිම සිදුකළත් එහිදී ගමේ අයගේම හැකියාවන්, කුසලතාවන්ටයි ප්‍රමුඛ අවස්ථාව ලැබුණේ.

මහවැලි L කලාපය සමන්විත වුණේ ප්‍රධාන වශයෙන් කොත්මලේ ජලාශයට යටවු ගම්බිම් වලින් ඉවත් කළ පවුල්, වික්ටෝරියා ජලාශය ඉදිකිරීමේ දී ඉවත් කළ දුම්බර මිටියාවතේ පවුල් හා ලංකාවේ විවිධ ප්‍රදේශවලින් තෝරාගත් පවුල්වලින්. මේ නිසා සාම්ප්‍රදායික ගම්වලට වඩා මේ නව ගම්මාන වෙනස්. එකිනෙකා අතර සම්බන්ධතාවයන් දුරස්. මේ නිසා ප්‍රජා ගුවන් විදුලියට මේ පවුල් අතර සම්බන්ධතාව ගොඩනගන වැඩ කොටසකුත් හිමිවුණා. බොහෝ විට අපි ඒ දේ කළේ සංස්කෘතික වැඩ වලින්. මේ නිසා මේ අයගේ කූසලතාවන්ට ගුවන්විදුලිය වේදිකාවක් කර දෙන්න අපට හැකිවුණා. අපොස උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගවලට පෙනීසිටි තරුණ තරුණියන් අතරින් ස්වේච්ඡාවෙන් වැඩ කරන්න කැමති තරුණ කණ්ඩායම් තෝරා ඒ අය ගුවන් විදුලි මාධ්‍ය වෙනුවෙන් පුහුණු කළා. ඒ අය අතර කුසලතා පූර්ණ තරුණ තරුණියන් රැසක් හිටියා. ඔවුන් ඔවුන් ගුවන් විදුලි සන්නිවේදකයින් ලෙස ක්‍ෂේත්‍ර පටිගත කිරීම, වැඩසටහන් නිෂ්පාදනය වගේම දෛනික සජීවි විකාශනය පවත්වාගෙන යාමත් සිදුකළා.

මේ අතර මහවැලි අධිකාරිය විසින් සියලුම මහවැලි කලාපවලින් තෝරාගත් කුසලතාපූර්ණ තරුණ තරුණියන් තෝරාගෙන “මහවැලි සංස්කෘතික බලකාය” නමින් නර්ථන හා ගායන කණ්ඩායමක් ගොඩනගා තිබුණා. මෙහි කේන්ද්‍රස්ථානය පිහිටුවා තිබුණේ ගිරාඳුරුකෝට්ටේ. අපි මේ අයත් අපේ සෞන්දර්ය කලා වැඩසටහන් සඳහා භාවිතා කළා. ඔවුන්ගේ හඬින් ගීත නිර්මාණය කළා. ගුවන් විදුලි නාට්‍ය සඳහා හඬ නළුවන් ලෙස පුහුණු කර භාවිතා කළා. මේ අය එකතුකරගෙන වෙසක් සමයක ඉදිරිපත් කළ “වෙසක් ගී” සජීවි ප්‍රසංගය භක්ති ගීත නොවුණ ආගම හා පන්සල වාණිජකරණය විම ශ්‍රාවකයාට අවබෝධ කරදෙන වෙනස් ගී ප්‍රසංගයක් වුණා. තනු නිර්මාණය කරමින් සංගීතය සැපයූවේ එවකට රජරට සේවා සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වුණ අභාවප්‍රාප්ත කේ. ඒ. ගුණවර්ධන. ගායනා කළේ මහවැලි සංස්කෘතික බලකායේ ගායක ගායිකාවන්. මේ ප්‍රසංගය සජීවීව ප්‍රජා ගුවන් විදුලියෙන් විකාශය වුණා. අද සංගීත ක්‍ෂේත්‍රයේ ගායකයින් ලෙස සිය කුසලතා ප්‍රකට කළ සෙනෙවිරත්න වන්නිනායක හා නිමල් පද්මකුමාර එම ගායක කණ්ඩායමේ සාමාජිකයින් වුණා. එම ප්‍රසංගය බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ ප්‍රසංගයක් වුණා.

මේ අය අතර සිටි නාට්‍ය ක්‍ෂේත්‍රයට අදාළ කුසලතා පෙන්වූ අයට සහ කලාපයේ වෙනත් තරුණ තරුණියන් 50 දෙනෙකු සඳහා ප්‍රජා ගුවන් විදුලිය මැදිහත් වී සංවිධානය කළ දින 5ක නාට්‍ය වැඩමුළුව ඔවුන්ට මතුවෙන්න සැදුව වේදිකාවක් වුණා කියලා අද හිතෙනවා. වර්තමානයේ සම්මානලාභී වේශනිරූපණ ශිල්පියෙකු වන ප්‍රියන්ත එස්. වන්නිනායක, කුඩා දරුවන්ට නාට්‍යානුසාරයෙන් කතාන්දර කියන්නෙකු (Story Teller) ලෙස සමාජ වැඩ කොටසක් කරන සම්මානලාභි පරිවර්තකයෙකු වන ඩී.එම්.එස් ආරියරත්න වැනි අයට මේ නාට්‍ය වැඩමුළුව ශක්තිමත් වේදිකාවක් වුණා. එහිදී කිසිදු ආර්ථික ප්‍රතිලාභයකින් තොරව එයට සම්පත්දායකත්වය සැපයූ ජයලාල් රෝහණ, වසන්ත විට්ටච්චි, අජිත් ලොකුගේ, ප්‍රසාද් සූරියආරච්චි, අජන්ත අලහකෝන් හා සෙනරත් දිසානායක යන අයගේ වෙහෙස අප සමඟ පැවති සහෝදරාත්මක බැඳීමක ප්‍රතිඵලයක්.

ගුවන් විදුලියක් හුදෙක් විනෝදාස්වාදය සපයන මාධ්‍යයකට වඩා ග්‍රාහකයාගේ සමාජ, ආර්ථික, සංස්කෘතික ජීවිතය පොහොසත් කරන, ප්‍රභා සම්පන්න කරන මාධ්‍යයක් ලෙස භාවිතා විය යුතුය, එසේ භාවිතා කළ හැකිය යන්න අප අත්හදා බැලුවේ එහෙම. ඒවා වෙළෙන්දන්ගේ උවමනාවන් ඉටුකරන අවකාශයන් නොකිරීමටත් අප එහිදී වගබලාගත්තා. ඇත්තටම සංවර්ධන සන්නිවේදකයෙකු සතු සමාජ වගකීම වෙන්නේ ඒක.

[කපිල එම්. ගමගේ]

මාතෘකා