කුණු සිරිත!

 ඡායාරූපය:

කුණු සිරිත!

මේ දවස්වල පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ උපාධි ප්‍රදානෝත්සවය ඉවර වෙලා දාලා ගිය කුණුවල ඡායාරූප හින්දා ආයෙ පාරක් කුණු කතා උඩට ඇවිල්ලා තියනවා. ශිෂ්‍යයො කියනවා ‘පාලනාධිකාරියෙන් තියලා යන්න කියපු හින්දා දාලා ගියා’ කියලා. තව අය කියනවා ‘අනී පාලනාධිකාරිය කියන එකම අහන ශිෂ්‍යයො’ කියලා. ඔහොම දෙපැත්තම බැණගන්න අතරෙ කුණු ගැන චමලෙගෙ අත්දැකීම් ටිකක් ලියන්න හිතුණා.

මීතොටමුල්ලෙ කුණුකන්ද කඩන් වැටුණ දවසෙ ඉඳන් සති එකහමාරක් විතර යනකන් මම හිටියෙ එතන ටෙරන්ස් විද්‍යාලෙ අවතැන් කඳවුරේ. ගොඩක් මිනිස්සු එක්ක කතා කළා. කුණුකන්ද අවට. මම දැක්කා කුණුකන්දට යටවෙච්ච මළසිරුරු. ගෑණු පිරිමි, පොඩි දරුවො.. තුවාලවෙච්ච මිනිස්සු. තමන්ගෙ ආදරණීයයන් නැති වීම හින්දා පොළොවෙ හැපි හැපි වැලපෙන මිනිස්සු. බණමඩුවෙ දේහය තැන්පත් කරලා සමූහ මිනීවළවල් ඇතුළෙ අවසන් ගමන් ගිය මිනිස්සු. තමන්ගෙ පවුලම අහිමි වීම හින්දා තනිවුණ මිනිස්සු. ළමයින්. තමන් මුළු ජීවිතකාලෙම හරිහම්බ කරපු සියලුම දේ කුණුකන්දකට යටවෙලා ඉතිරි ජීවිත කාලෙ ගෙවන්නෙ කොහොමද කියල කල්පනා කරන මිනිස්සු. පෝසත් නොවුණත් කීයක් හරි හම්බ කරගෙන ජීවත් වුණ ඔවුන්ට කුණුකන්ද හින්දා අවතැන් වෙලා අවතැන් කඳවුරේදි කෑම එකකට සනීපාරක්ෂක තුවා පැකට් එකකට මීටර් ගණන් දිග පෝලිං වල බැණුම් අහ අහ ඉන්න සිද්ධවුණ.

එතකොට අපි ගියා සිරිපාදෙ සුද්ද කරන්න. අවාරෙ. දවස් තුනක් එකදිගට වැස්ස. ලොකු පෝර බෑග් දෙසීයක් විතර කුණු උඩමළුවෙ ඉඳන් පහළටම ගෙනාවා. කරපිටින් ගෙනාවෙ. බෝතල් කටු ඇනිලා කරවල් අතපය කපාගෙන. කන්දෙ හෙල් අස්සෙ වතුර පාරවල් අස්සෙ බැහැගෙන සීතලේ සුද්ද කළේ ආපු උන්. හැබැයි අපි ප්‍රමාද වැඩියි. අපිට ළඟාවෙන්න බැරි තැන්වල ටොන් ගණනක් කුණු කන්දක් සිරිපාදෙ තාමත් එහෙම්ම විසිරිලා තියනවා. ඔව් බුදුන් පා තැබුවා කියන ජෛවවිවිධත්වයෙන් අනූන ලෝක උරුම සමනල රක්ෂිතය.

මේ අවුරුද්දෙ සිරිපාදෙ ගිය වෙලාවක කොල්ලො කට්ටියක් උන් ගෙනිච්ච වතුර බෝතල් අරව මේවා බිම දාලා තිබ්බා. ඕක දැකලා සුජිත් උන්ට කියලා කුණු බාස්කට් එකකට දාන්න කියලා. ඒ වෙලාවෙ උන් කලේ අපිට බැනලා ගහගන්න ආව එක. අපි ගාව පොඩි දරුවෙක් හිටපු හින්දා හිත හදාගෙන ආවා. එතන ඉන්න කෙනෙක්ට කම්ප්ලේන් කරලා..

ළඟදි දවසක බොරලැස්ගමුවේ පාක් එකේ ඉන්නකොට අවුරුදු 17, 18 වගේ වයස් වල කොල්ලො කෙල්ලො ටිකක් ගහක් යට බීම බොනවා. උන් බීම බීපු බෝතල් බිම දාලා එකක් රෝල් වෙලා ගිහින් වතුර බහින කාණුවට වැටුණා. එතන බොහොම පිරිසිදු තැනක්. ඒ වගේම කුණු බැහැර කරන්න භාජන තියන තැනක්. පස්සෙ එක පාරක් කියලා අහුලපු නැති හින්දා තුන්වෙනි පාර සැරෙන් කිව්වමයි දැම්මෙ.

පහුගිය අවුරුද්දු කිහිපයෙ ගංවතුර තිබුණු පැතිවල සහන සේවා වැඩවලට ගිය වෙලේ දකින්න ලැබුණෙ කුණු. නාගරික පැතිවල වතුර බහින තැන්වල ගොඩ ගැහිලා තිබ්බෙ කුණු. කාණුවල ඇලමාර්ගවල, වතුර බැස්සම පාරවල් දෙපැත්ත හැමතැනම තිබ්බෙ කුණු.

එතකොට අත්දැකීමෙන් දැකලා තියන දෙයක් තමයි කුණු වෙන් කරලා දාන්න තියන කුණු භාජනවල පොලිතින් දාන්න තියන එකේ කෙහෙල් කොළ තියනවා. කල්පනා කරලා බලනකොට තේරුණේ ඒ මිනිස්සු හිතාගෙන ඉන්නව ඒ බාජනේට දාන්නෙ බත් ඔතන ඕනම දෙයක් කියලා.

ඕක තමයි සරලවම ලංකාවෙ කුණු කතන්දරය. අපිට පොඩි කාලෙ ඉඳලා එහෙම ප්‍රතිපත්තියක් නෑ. අපේ රජයට කවදාවත් එහෙම වැඩපිළිවෙළක් තිබ්බෙ නෑ. තිබ්බනං බ්ලූමැන්ඩල් කුණුකන්ද ගිහින් මීතොටමුල්ලෙ ගොඩගහන්නෙ නෑනෙ. කුණු ගිහින් වෙල්වල ගොඩගහලා අවුරුදු ගානක් ගඳ ගහ ගහ තියලා උඩින් පස් දාන්නෙ නෑනෙ. වෙන රටවල කුණු තමන්ගෙ ආර්ථිකේ වෙනුවෙන් යොදවනකොට අපිට ඒවට යටවෙලා මැරෙන්න වෙන්නෙ නෑනෙ. ඔබ මම ඇතුළුව අපි කාටවත් කුණු ගැන නිශ්චිත හැඟීමක් නෑ..අපි ජාතියක් විදිහට කුණු ගැන ඉන්නෙ ඔය වගේ තැනක.

මේ දවස්වල තියන පාපන්දු ලෝක කුසලානෙන් ජපානෙ පරදිනවා. පැරදිලා ගෙදර යන්න කලින් ජපාන පාපන්දු කණ්ඩායම තමන් හිටපු තැන් සියල්ල පිරිසිදු කරලා කාඩ්බෝඩ් කෑල්ලක ජපන් බාසාවෙන් ස්තූතියි කියලා ලියල තියලා යනවා. ඒ හැම දෙයක්ම පිරිසිදු කරන්න සත්කාරක රුසියාවෙන් සල්ලි ගෙවලා සේවකයෝ දාලා ඉන්නෙ. ජපානෙ පිරිසිදු නොකර ගියානං ඒක වැරැද්දකුත් නෙමෙයි. ඒත් ජපානෙ එහෙම කරලා ගියා. ඒ තමයි ජපානෙ. ඒ තමයි ලෝක යුද්ධෙන් පැරදිලා, මිලියන ගාණක් ජීවිත අහිමි වෙලා, ට්‍රිලියන ගණනක් දේපළ අහිමි වෙලා පරමාණු බෝම්බ දෙකකට මුහුණ දීලා අවුරුදු විස්සක් තිහක් ඇතුළත සංවර්ධිත රටක් වෙච්ච ජපානෙ..

ජපන්නු සංවර්ධිත වෙන්නයි අපි කුණුකන්දකට යටවෙන්නයි හේතුව හිතාගන්න. වෙනස් වෙන්න. අපි වෙනස් වෙමු..

[චමල් අකලංක පොල්වත්තගේ]

[සුජිත් ප්‍රියන්ත]

 

මාතෘකා