බට්ටේ රස නැට්ටේ

 ඡායාරූපය:

බට්ටේ රස නැට්ටේ

බටු වර්ග කීපයකි. ගම ගෙවතු වල වවාගෙන තිබූ කලක් මියෙන්නේ නැතිව බිත්තර වාගේ සුදුම සුදු බෝල ගෙඩි උපද්දා දුන් බටු වර්ගය ඉවුවාම කහට ගතියක් තිබුණත් රහය. අද දකින්නට අඩු ඒවා කවදාවත් පොළකදී නම් දකින්නට ලැබෙනු නැත. විවිධ බටු අතර තිබ්බටු හා තිත්ත තිබ්බටුද තිබේ. තිබ්බටුත්, තිත්ත තිබ්බටුත් කන හැටි වෙනම දවසක කියන්නට වුවමනා කාරණාය. පාට පෙනුම අනුව මොන වගේ බටු වර්ග තිබුණත් රහම බටු හැටියට ප්‍රසිද්ධ ලේනඉරි බටුය. පොත්තේ ඉරි වැටී තියෙන්නේ ඒවාය.

කතාවට කියන්නේ හොඳම බටු වැවෙන්නේ බණ්ඩාරවෙල කුඹල්වෙල කියාය. උඩහ බටු උයන්නට පහළ බටු බදින්නට යැයි කතාවක්ද තිබේ. ඒ වියළි කලාපයේ බටුවල දියර ගතිය අඩු බැවින් මෝජු දැමීම ආදී කාරණාවලට පෙර බදින්නට ඒවා කදිම නිසාය. බටුවලට පෑහෙන මුසුව කටු කරවලය. එහෙත් අපේ ගම්වල නම් කියන්නේ බට්ටේ රස නැට්ටේ කියා ය. බටු උයද්දී නැටි අහක් නොකර ඒවාද මාලුවට මුහු කරන්නට අම්මලා පසුබට වුණේ නැත. නැත්නම් මේ නැටි ගලවා වෙනම උයන්නට පුළුවන. හැබැයි බටු නැට්ට මැද්දේ ඇති කූර අහක් කළ යුතුය. කොළ පාට ලෙලි වාගේ ඇති බටු නැටි දුරු මිරිස් ලුනු ආදිය සමග අනා තෙලට දමා තැම්බෙන්ට හැරීම හරිම පහසු ඉවිල්ලකි. මේ රහ දැනගත්තොත් කවුරුවත් කවදාවත් බටු නැටි විසි කරන්නේ නැත.

මොනවා වුණත් මේ වාගේ ලෙලි පොතු කන පුරුදු ගැමි ආහාර සංස්කෘතියේ අහුමුලු ගැන්නී තියෙන්නේ අහේනි කාලවලද මොනවා හෝ කා බී ජීවත් විය යුතු යැයි තියෙන නියමය නිසා වෙන්නට පුළුවන. බැමිණිතියා සායෙදි අපේ හාමුදුරුවෝ කර කොළත් වළඳා දහම රැක්ක බව කියන කතා අහන්නට ලැබේ. ඉතිං අද ද කර කොළ සම්බෝලයට රහය. මේ ලෙලි පොතු කන පුරුද්දේ සකසුරුවම, නැතිබැරිකම ආදී හුගක් කතා හැංගී තිබෙන නමුත් අත්හදා බලන්නට තරම් අගයක් තිබේ.

ගම ගෙවල්වල උයන්නට, තම්බන්නට කොස් එක්ක ඔට්ටු වෙද්දී වෙනම වට්ටියක් පැත්තකින් තියා ගන්නේ කොස් සිඹිඩි දාන්නටය. මේ කොස් සිඹිඩි දවස් තුන හතරක් තද අව්වේ වේලාගත් පසුව සුළං නොවදින ලෙස බඳුනක අසුරා කලක් තබාගෙන කෑ හැකිය. ජනප්‍රිය විදිය වියලි කොස් සිඹිඩි උණු වතුරේ ලා පොඟවා ගෙන මිරිස් තුනපහ ලුණුු, ලූනු හා අනෙකුත් කළමනා දමා තෙල් දැමීමයි. එහි ඇත්තේ අපූරු රසයක් හා නැහැය පිනන සුවඳකි. කොස් සිඹිඩි පොඟවන්නේ නැතිව කෙළින්ම තෙලට දමා බැදගන්නටද පුළුවන. මිරිස් කුඩු මුසු වුණේ නම් කටගැස්මක් වන එය පැණි සීනි මුසු වුණේ නම් පුංචි පහේ අතුරුපසකි. කොස් මදුලු අතර ඇති ඉරිද විසි කරන්නේ නැත. ඒවා පැහෙන උණුවතුරේ ලා සැණෙන් ගෙන අව්වේ වියලා කලක් තබා ගත හැකිය. මේ වියලි කොස් ඉරි ගැඹුරු තෙලේ බැද පැණි සීනි මුහුකර කදිම අතුරුපසක් පිළියෙල කරගන්නට පුළුවන.

උයන්නට ගන්නා කෙසෙල් වර්ගවල ලෙල්ලද කදිම රසැති ව්‍යාංජන පිළියෙල කරගන්නට අඩුමකුඩුමෙකි. මුලටම එන්නේ අළුකෙහෙල් හා අඹේවෙල පැත්තේ මාළු කෙහෙල් යැයි කියන කිතලය. අකලට ගස් බිඳී වැටුණොත් ඇඹුල් කෙසෙල්ද උයා කෑ හැකි බව මතක තියා ගැනීම ප්‍රයෝජනවත්ය. ලෙල්ල නම් රස අළු කෙසෙල්වලය. අළු කෙසෙල් ලෙලි හීනියට ලියා ගෙන වියළි ඉස්සන් හෝ හාල් මැස්සන් මුසුකර තෙල් දමා ගත්විට උණු සුදු බත් බඩට යන්නේ බොහොම වේගෙන්ය.

කෙසෙල් ලෙලි හීනියට ලියා උයන්නට පුළුවන් තවත් විදියක් තිබේ. ඒ පොල් මුසු කර මැල්ලුමක් වාගේය. වැටකොළු ලෙලිද උයන්නට රසය. හැබැයි දැන් බහුල මැලේසියන් වැටකොළුවලට වඩා අපේ හේන් වැටකොළුවල ලෙලි උයා රහය. ළපටි හේන් වැටකොළු ලෙලි ඉවත් නොකොට කිරට උයා දුන්නේ ගල්ගෙඩියාවේ දිසාලගේ අම්මාය. එදා කන්නට තිබුණේ දිව්‍ය ලෝක බතකි. රතු කැකුළු බත, ඉදලෝලු තෙලට, ලෙලි නෑරූ ලපටි හේන් වැටකොලු කිරට, වියළි වල් ඌරු මස් දැමූ බණ්ඩක්කා වෑංජනය. අදත් මතක් වෙන කොට. හා ඉතිං මේ වැටකොළු ලෙලි උයන්නේ කහ පොල් දමා මැල්ලුමක් වාගේ බව මතක තියා ගැනීම යෙහෙකි.

තවත් එක පොතු ඉවිල්ලක් ගැන ලියන්නට ඉඩ තිබේ. ඒ නම් මඤ්ඤොක්කා පොතුය. අලවලින් ගලවා ගන්නා පොතුවල පිට සිවිය ඉවත් කර උණු දියේ මද වෙලාවක් තම්බා ගත යුතුය. පසුව වට්ටියක දමන ඒවා දින කිහිපයක් වියළා ගෙන කැබලි කොට කලක් අසුරා තැබිය හැකි වේ. මේ මඤ්ඤොක්කා පොතු කැබලි උයන්නට පෙර උණු දියේ පොඟවා කිරට උයාගන්නේ මුං ඇට මාළුවක් වාගේය. ඒවායේ රහද මුං ඇට වාගේදැයි බලන්නට ඇරයුම් කරන්නේ ඔබටය.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා