රණ ශූර ඇගමෙම්නොන්

 ඡායාරූපය:

රණ ශූර ඇගමෙම්නොන්

ග්‍රීසියේ තීස්ටස් කුමරු, තම සොහොයුරු ඇට්‍රියස්ටත් ඔහුගේ පරම්පරාවටත් ශාප කර රටින්පැන ගියේය. ඒ ඔහුගේ ඉතිරි වූ එකම පුතුවූ ඊගිස්තස් ද රැගෙනය. ශාපලත් ඇට්‍රියස් රජුටත් පුත්තු දෙදෙනකු සිටියහ. වැඩිමහලා ඇගමෙම්නොන් වූ අතර බාලයා වූයේ මෙනෙලෝස්ය. පියාගේ වියෝවයෙන් පසුව ග්‍රීසියේ සමෘද්ධිමත් නගරයක් වූ ආගෝසයේ රජ වූයේ ඇගමෙම්නොන්ය. ඇගමෙම්නොන් හා ඔහුගේ සොහොයුරු විවාහ වූයේ එකම කුස උපන් සොහොයුරියන් දෙදෙනකු සමගය. ඒ ටින්ඩාරෝස් නම් ස්පාටාවේ රජුගේ දියණියන් වන ක්ලිටමෙනස්ට්‍රා හා හෙලන්ය. ටින්ඩාරෝස් රජුගේ මරණයෙන් පසුව එහි රජ වූයේ මෙනලෝස්ය.

මෙම කාලයේ දී ට්‍රෝජ නුවර රජ වී සිටියේ ප්‍රියාම් රජුය. දිනක් ඔහු පුත් පැරිස් කුමරු යම් රාජ්‍යතාන්ත්‍රික කටයුත්තකට ඔහුගේ පියා විසින් මෙනලෝස්ගේ රාජධානියට එවන ලදී. මෙනලෝස් ද පැරිස් කුමාරයාට ඉතා ඉහළින් ආගන්තුක සත්කාර කොට පිළිගනු ලබයි. මේ අතර මෙනලෝස් රජු හට හදිසියේම කීට දේශයට යාමට සිදුවේ. මේ අතරතුර කඩවසම් පැරිස් කුමරු සමඟ සබදකමක් ඇතිකරගන්නා මෙනලෝස්ගේ බිරිය වන හෙලන්, පැරිස් කුමරු සමඟ ඔහුගේ නුවන වන ට්‍රෝජ නුවරට පැන යයි.

නැවත සිය රටට පැමිණෙන මෙනලෝස් මෙපුවත දැනගෙන ඒ බව තම වැඩිමහල් සොහොයුරා වූ ඇගමෙම්නොන් හට දැනුම් දෙයි. සුළු ආසියාතික රටක් වූ ට්‍රෝජයේ කුමාරයෙක් විසින් ග්‍රීක රාජ කුමාරිකාවක් පැහැරගෙන යාම සෑබෑ ලෙසින්ම ග්‍රීකයන් සිතුවේ ඔවුන්ට කරන ලද අපහාසයක් ලෙසින්ය. මුළු ග්‍රීක පෞර රාජ්‍ය සියල්ලෙහිම එකතුවෙන් ඒකාබද්ධ හමුදාවක් ඇගමෙම්නොන් යටතේ සංවිධානය කොට, ට්‍රෝජයට එරෙහිව යුද්ධයක් සදහා පිටත්ව යෑමට සැරැසෙයි. යුද ශූර ඇක්ලීස් ආදී යුධ සෙන්පතියන් රැගත් නාවික හමුදාවට ගමන නතර කරන්නට සිදුවූයේ හදිසියේ මුහුදු සුළං විරුද්ධ දිශාවට හමන්නට වූ නිසාය.

මෙසේ දින, සති, මාස ගණන් ඕලිස් නම් වරායට වී සිටීමට සිදුවීමෙන් සේනාංක ඉතා දුර්වල විය. රෝගාබාධ ඇති විය. මේ අතර සේනාංකයේ සිටි කාල්චාස් නම් අනාවැකි කියන්නා බිහිසුණු අනාවැකියක් පළ කළේය. එමඟින් කියවුණේ විරුද්ධ දිසාවට සුළං හැමීම නතර කොට නැව් දියත් කිරීමට නම්, ඇගමෙම්නොන්ගේ කන්‍යා දියණිය වූ ඉපිජීනියා හිස ගසා බිලි දිය යුතු බවයි. රජු ඉතා බැරෑරුම් තීරණයකට අවතීර්ණ වේ. දියණිය ඇක්ලීස් නම් යුධ සෙනෙවියාට විවාහ කරදෙන්නට යැයි ව්‍යාජයක් දක්වා, ගෙන්වා ගන්නා ඇගමෙම්නොන් තම දියණියගේ හිස ගසා දමා බිලි පුද කරයි. මෙතෙක් කලක් නොහැමූ සුළං හමන්නට විය. නැව් දියත් කෙරිණි.

දස වසරක් පුරා දීර්ඝ යුද්ධයකින් පසුව ට්‍රෝජ නුවර අල්ලා ගන්නා ඇගමෙම්නොන් ප්‍රමුඛ කණ්ඩායම ට්‍රෝජයේ සියලු පිරිමි මරා දමයි. කාන්තාවන් දූෂණය කරයි. වස්තුව කොල්ලකයි. දේව මණ්ඩපයන්ද කෙලසා දමයි. ඇගමෙම්නොන් විසින් තම සොහොහුරාගේ බිරිදව සිටි, පසුව පැරිස් කුමරු විසින් කැදවාගෙන ගිය හෙලන්ව දූෂණය කරනු ලබයි. එතැනින් නොනැවතුණු ඇගමෙම්නොන් ට්‍රෝජයේ ප්‍රියාම් රජුගේ දියණිය වූ ද ඇපලෝ දෙවොලේ දෙවියන් වෙනුවෙන් කැපවී සිටි කන්‍යාවියක් වූ කැසැන්ඩ්‍රා කුමරියව දූෂණය කරයි. ඉනික්බිතිව ඇය ලිංගික වහළියක ලෙසින් නැවත ඇගමෙම්නොන් රැගෙන එයි.

ඇගමෙමනොන් නොමැති කාලයේ ආගෝසයේ පාලනය ගෙන ගියේ ඇගමෙම්නොන්ගේ බිසව වූ ක්ලිටමෙනස්ට්‍රාය. මේ වන විටත් මුලින් සදහන් කරන ලද තිසියස් රැගෙන ගිය ඔහු පුත් ඊගිස්තස් ආගෝසයේ මාලිගයට පැමිණ, තම පියාට කළ අපහාසයට පළිගැනීමට සිතා ක්ලිටමෙනස්ට්‍රා සමඟ සබදකමක් ගොඩනගාගෙන සිටියේය.

තම දියණිය, ඉපිජීනියා මරා දැමීමේ පළිය ගැනීමේ අරමුණින් යුද්ධය දිනා එන ඇගමෙම්නොන් රතු පළසක් මතින් පිළිගන්නා ක්ලිටමෙනස්ට්‍රා දෙවියන්ගේ කෝපය ඔහුවෙත දල්වාලයි. උපක්‍රමශීලීව රජු නාන ඔරුවේ ගිලී ඇගපත දොවා පිටතට එනවිට දැලකින් රජුව පටලවා කඩුවකින් තුනවරක් ඇන මරා දමයි. මේ සමඟ තිසියස් විසින් ඇට්‍රියස් රජ පෙළපතට එරෙහිව කරන ලද ශාපයද සම්පූර්ණ වෙයි. එහෙත් දිගින් දිගටම පළිගැනීම් නිමක් නොවීය. ඇසකට ඇසක් දතකට දතක් යන කියමන ඔස්සේ පළිගැනීම් දිගටම ක්‍රියාත්මක විය. ඇගමෙම්නොන්ගේ මෙම කතා පුවත පදනම් කොටගෙන ඊස්කිලස් විසින් ඇගමෙම්නොන් නාට්‍ය රචනා කරනු ලැබීය. මෙම සටහන එහි පරිවර්තනයක් වූ ආරිවංශ රණවීරගේ ‘‘ඔරෙස්ට්‍රියානු නාට්‍ය ත්‍රිකය“ නම් කෘතියෙන් උපුටා ගත්තකි.

බලය වෙනුවෙන් ඕනෑම තුච්ච ක්‍රියාවක් කිරීමට මෙකල පමණක් නොව ඈත අතීතයේ සිටම මිනිසුන් සිටි බව අප පසක් කරගත යුතුය. වඩා වැදගත් වන්නේ පළියට පළිය ගැනීම නොව, මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටීමයි.

[ගාමිණි බස්නායක]

මාතෘකා