; සෙමි කෝලන් ජීවිතේ!

 ඡායාරූපය:

; සෙමි කෝලන් ජීවිතේ!

මොකක්ද ඔය ටැටූ එක? මා අසල හිඳගෙන සිටි තරුණ විදේශීය ශිෂ්‍යාවගෙන් මම විමසුවෙමි.

; මේකද ? ඇය ඇගේ වම් අතේ මැණික්කටුව සමීපයේ තිබුණු මේ තිත සහ කොමාවක් සහිත සලකුණ පෙන්වමින් ඇසීය.

"මේ මට මතක් කර දීමක් ! මම ජීවිතේ අත හැරියේ නෑ කියලා."

"මට පැහැදිලි මදි" මම කීවෙමි. ළිං මැඩියෙකු සේ ජීවත් වූ කාලයක් ගෙවමින් සිටි අපට අන්තර්ජාලය දැන ගන්න ලැබුණෙත් මේ විදේශගතව ඉගෙනුම ලැබූ කාලයේදී ය. අපට එකල විශ්වයම අතැඹුලක් සේ දැනගනන්ට ලැබුණේ මුතුහර සඟරාව, සමුදුර පුවත්පත හෝ නවයුගය වැනි සඟරා මගිනි. රූපවාහිනිය නැරඹුවේ නැති තරම්.

"මම ජීවිතේ එක්තරා කාලයකදී, දැඩි ලෙස විෂාදයෙන් පෙළුණා. මව පියා දික්කසාද වී, මා සිටියේ මව එක්ක, ඇයට මා ගැන බලන්නට කාලයක් තිබුණේ නෑ. මම පාසැලේදී පවා ටිකක් කරදරකාරී ලෙස හැසිරුනා. මම පහළොස් හැවිරිදි වියේදී මට එය තවත් දරාගන්න බැරි වුණා. මට අවුරුදු දාහතක් පමණ වෙන විට මගේ මවත් විද්‍යාඥවරියක් නිසා මටත් ඉගෙනීම ගැන ලොකු පීඩනයක් තිබුණා. මට ජීවිතේ අත් හරින්නම හිතුණ දවසක, මම ජීවිතේ නැති කරගන්න හිතුවා. අපි හිටිය තට්ටු ගොඩනැගිල්ලේ උඩින් පනින්න හෝ රේල් පාරේ කෝච්චියට පනින්න, මම හිතුවා. නමුත් මම කතාවක කියවූ දෙයක් සිහි වුණා. මම පාසැලේ ගුරුවරියකට කීවා. අවුරුද්දක් පමණ මම උපදේශනයට පවා යොමු වුණා. ඒ සිදුවීම මතක් කරගන්න. මම ජීවිතේ අත් හැරියේ නැති බව මටම මතක් කර දෙන්න මේ "සෙමි කෝලන්" ටැටූ එක මට ගහගන්න හිතුණා.

මේ විදේශ රටවල මේ දේවල් ගැන බොහෝ එළිපිට කතා කරන නිසාම. මනසට සිදුවිය හැකි දේ ගැන බොහොම විවෘතව මිනිසුන් දැනුවත් කරන නිසාම, සමාජය දැනුවත් ! එනිසා එකිනෙකා උදව් කරගන්නවා. නමුත් ඒ අතර දිවිනසාගැනීම් නැත්තේද නෑ.

පසු කලෙක මගේ මව් බිමේ පශ්චාත් යුද සමයේ උතුරේ රෝහලක මානසික රෝගී අංශයේ සේවය කරද්දී මට හැම වයස් කාණ්ඩයකම අයවලුන් ජීවිතේ නසාගන්නට තැත්කර අවසානේ රෝහලේ නතර වුණ හැටි මම දකිමින් සිටියා.

ජීවිතේ අමාරුයි තමයි. කරදරයි.
ආර්ථික ප්‍රශ්න, රැකියා ප්‍රශ්න
ඉගෙන ගන්න ක්‍රමයේ ප්‍රශ්න
හමුවන මිනිසුන්ගෙන් ප්‍රශ්න

පොදුවේ හැමෝම ඉන්නේ ලොකු පීඩනයකින් , ආතතියකින්. ඒක ට්‍රැෆික් එකේ පැයක් එහෙ මෙහෙ ගියොත් තේරෙනවා.

නමුත් මිනිසුන්ගේ මනස හැදීම ගැන අපේ රටේ කිසිම වගකීමක් ගන්නෙ නෑ. කිසිම ආයතනයක මම දන්න තරමින් මානසික සෞඛ්‍යය හොඳින් පවත්වාගන්න, ඒ ඒ අයගේ ප්‍රශ්න ගැන සාකච්ජා කරන්න මනෝවෛද්‍ය උපදේශන සේවා පවතින්නේ නෑ. මිනිසුන් මේ පීඩන නොයෙක් විට පුපුරා යනවා. දරා ගන්නට බැරි තරම් වෙන විට ජීවිතේ අත් හරිනවා. අපට හමුවෙන බොහෝ අය අපට ආශිර්වාද නොවී සාපයක්ම වෙනවා. නමුත් ඒ සියලු කරදර ඉවසන්න අපි පුරුදු විය යුතුමයි.

ටැටු හෙවත් පච්ච නොගැසුවත් "සෙමි කෝලන්" semicolon අපි හැමෝගෙම ජීවිත වල තියෙනවා ! මේ ලියන මමත්, මේ කියවන ඔබත් අනන්ත අප්‍රමාණ තරමක් පීඩන හමුවේ ජීවත් වීම තෝරාගත් බව මම දන්නවා.

එනිසා අපි මේ කරදර කාර ජීවන අරගලයේ මග නැවතෙන්න හදන අපේම අයට සහයක් වෙමු! දරාගන්න බැරි තරම් ප්‍රශ්න කවදාවත් බොහෝ කල් පවතින්නෙ නෑ.

ඒ වෙලාවට කරන්න පුළුවන් දේවල් අපි ලැයිස්තුගත කරමු.

1.කතා කරන්න - හොඳම යාළුවෙකුට, තමන්ගේ ප්‍රශ්න වැඩි කරන සුළු අයට කතා කරන්න එපා. ඒවා ප්‍රචාරය කරන අයට කතා කරන්නත් එපා. එවෙලෙට ප්‍රශ්නෙ කතා කරන්න එතකොට ඒ බර සැහැල්ලු වෙනවා. මමත් කිට්ටුම යෙහෙළියන් කිහිප දෙනාත් අන්තර්ජාල ගෘප් චැට් එකක් හරහා හැමදාම අපේ ජීවන අරගල කරදර, විඳදරාගැනීම් අත් හැරීම් බෙදා හදා ගන්නවා. විශ්වාස කරන්න අපි බොහොම සැහැල්ලුවෙන් ජීවිතේට මුහුණ දෙනවා. හිතෙන් කරදරේ අත් ඇරියම ඒක අපේ හිතට කරදරයක් වෙන්නේ නෑ. කරදර ගොඩ කලක් පවතින්නෙත් නෑ.

2. සිංදුවක් අහන්න ! චිත්‍රපටියක් බලන්න ! පොඩ්ඩකට හරි කරදර කාරී සිතුවිලි අමතක වෙනවා.

3. මනෝ විශ්ලේෂණ උපදේශන කරන තැන් ඕනෑ තරම් තිබෙනවා. ළඟම ඇති රෝහලේ මනෝවෛද්‍ය ඒකකය වෙත යන්න. ගමේ රෝහලේ ඉන්න ඕප දුප හොයන සේවක කට්ටිය නිසා අවුල් නම් ඊට එහා නගරෙකට යන්න" හිතමින් කල් ගත කරන්න එපා ! මේ ලියන මම උනත් ජීවිතේ කරදර කාලවලදී ජීවිතේ අත්හැරියා නම් අද ලබා තිබෙන කිසිම ජයග්‍රහණයක් මට ළඟා වෙන්නේ නෑ.

මැරෙන්න හිත හදා ගන්න ලේසියි. මොකද ඒ මොහොතේ දැනෙන පීඩනය දැඩි නිසා. නමුත් ඒ මොහොත ගත කරගන්න පුළුවන් ! ඒ ඔබේ සිතේ ශක්තිය නිසා එදා අත් නොහැරිය ජීවිතේ අද බොහෝ අයට ආශිර්වාදයක් සේ සකස් කරගත් අය බොහෝ ය.

වෛද්‍යවරියක් වෙන්නට ඉගෙන ගත් මා අසල සිටි ශිෂ්‍යාවද එවැන්නියකි. මම කැම්පස් තේරුණා කියමින් වාට්ටු කොරිඩෝවේ අතේ එල්ලුණු තරුණියද එවැන්නියකි. මේ කියවන ඔබද එවැනිම වූ ජයග්‍රාහකයෙකි. එනිසා එන්න අපි ජීවත් වෙමු ! ඒකයි අමාරුම කාරිය.

මාතෘකා