ගුරු ගීත පරම්පරාවේ Hichki

 ඡායාරූපය:

ගුරු ගීත පරම්පරාවේ Hichki

ජාතක කතා පොතේ දිසාපාමොක් ඇරුණම ඊළඟට අපේ හිත්වල පැලපදියං වෙච්ච ගුරු තරුව ගුරු ගීතයේ දුයිෙෂන්. ඔවුන් ගුරු භූමිකාවේ පතාක යෝධයන්. ඒ වුණත් එක ම එක ගුරුවරියකයේ භූමිකාවක් අපේ ඔලුවලට මතක් වෙන්නෙ නෑ. ඒත් අද වෙද්දි පාසල්වල ගුරුවරුන්ට වඩා ගුරුවරියන් බහුලයි. එයාලට මුණ ගැහෙන දරුවො එක එක විදියයි. උන් ආම්බාන් කරන සෙනෙහෙබර ගෑනු මායම සර්ට වඩා ටීචර් දන්නවා.

Hichki ( ඉක්කාව ) , රාණි මුඛර්ජිගෙ දෙවන සිනමාත්මක ආගමනය සිද්ද වෙන්නෙ මේ චිත්‍රපටයෙන්. ඕනම ගෑනියෙක් ඇතුෙළ ගුරුවරියක් ඉන්නවාමයි. ගුරුපත්වීමකට එහා ගිය දෙයක් මේක. ගෑනුන්ගෙ ආධ්‍යාත්මයේ ම තියෙන ඒ ඉගැන්වීමේ ශෛලිය තමයි ඇයට දහසක් ළමුන් ආම්බාන් කිරීමේ ශක්තිය පොම්ප කරන්නෙ. මේ සාමාන්‍ය ගුරුවරියකගේ කතාවක් නොවීම ද මං මුලින් කිව්ව ගුරුවරි පෞරුෂයට වටිනා ම උදාහරණයක් දෙනවා.

" මං දැනං හිටියෙ සහ දැනං ඉන්නෙ එක දෙයයි. ගුරුවරයෙකුගෙ කාර්යය ඉගැන්වීම වගේ ම ඉගෙනීමයි. මෙයින් වැදගම දේ වෙන්නෙ ඉගැන්වීමට වඩා ඉගෙනීමයි. මමයි, ළමයිනුයි කියන්නෙ හාත්පසින් ම වෙනස් පරම්පරා දෙකක් බව තමයි මං හැම වෙලේ ම හිතන්නෙ. එතනදි මට උන්ව තේරුන් ගන්න ලේසී. මගෙ ලෙඩෙත් එක්ක මං දැනන් හිටිය අනිත් දේ තමයි මාව ප්‍රතික්ෂේප වෙන්න තියෙන ඉඩ වැඩි බව. මං උන්ව තේරුන් ගන්න හැදුවොත්, ඒ තරමට ම උනුත් මාව තේරුන් ගන්න හදයි කියල සැකෙන් තොර දැඩි විශ්වාසයක් මගෙ ඔළුවෙ කැරකුණා. ඔව් ඒක හරියට ම හරි. ළමයි කියන්නෙ මෙහෙම ජාතියක්, එයාලා.මෙහෙම විය යුතුයි කියල න්‍යායක් මේ ලෝකෙ කවදාවත් තියෙන්නෙ බෑ. අපි හැමවෙලාවෙ ම කරන්නෙ එහෙම හදා ගත්තු නායකයකු ළමයින් ව ඔබ්බවන්න හදන එක. ඊට පස්සෙ අපි උන්ට බනිනවා, උන් ' ළමයි නෙවේ යක්කු' කියලා. නෑ , උන් තමයි රියල් ළමයි. කාගෙවත් න්‍යායන්වලට අහු නොවෙච්ච.මං මගේ ළමයි දිහා ඒ විදියට බලන්න ඉගෙන ගත්තෙත් උන්ගෙන්මයි. උන් මට ඒ වගේ ආදරණීය පාඩමක් ඉගැන්නුවා. ඒක නිසා ම අපිට , අපිව තේරුන් අරන් ඒ ගමන යන්න පුළුවන් වෙනවා. අපි අපේ විදියට ඉගෙන ගන්නව. මාත් දැං උන්ට හුරු වෙලා. උන්ට.මගෙ ඉක්කාව හුරුවෙලා.

උන්ගෙ දඩබ්බරකං හරි බුද්ධිමත්. කොච්චර ගුණදායක සබන් කෑල්ලක් වුණත් ලස්සන කවරයක් නැතුව විකුණගන්න බැරි බව මට තේරෙන්න පටන් ගත්තා. උන්ගෙ ඒ දඩබ්බරකම "බුද්ධිමත් දඩබ්බරක්මක්" විදියට ලෝකෙට වගේ ම මුළු ඉස්කෝලෙට ම පෙන්නන්න පුළුවන් බව මට තේරුණා. උන්ටත් නොදැනීම මම ඒකට ප්ලෑන් ගැහුවා. මං ගහපු ප්ලෑන් ඇතුෙළ උන්ගෙ , ප්ලෑන් නැති උන්ගෙ ජීවිත හරි ලස්සනට දුවන්න පටන් ගත්තා. පස්සෙ පස්සෙ මගෙ විදිය උන්ට තේරුණා.

ගුරුවරයෙකුට අයිතිය තියෙන්නෙ, තමන්ගෙ පන්ති කාමරෙයි, හුණුකූරෙයි, කළුලෑල්ලෙයි විතරක් කියල හිතන ගුරුහොරු මං ඕන තරං දැක්ක. ළමයෙක් කියන්නෙ අනාගතයක්. ගුරුවරයෙක් ප්‍රාතිහාර්යයක් කරනවාය කියන්නෙ, දක්ෂයාට ඉගැන්වීම නෙවෙයි අදක්ෂයා, දක්ෂයකු බවට හැරවීම. උන්ව අපිට අහු වෙන්නෙ උන් ඇතුළට රිංගුවාම. ඒ ජීවිතවල කර්කශ බව මං දැක්කෙ එහෙම. එහෙම බලද්දි, මට වඩා මේ සමාජ ක්‍රමේ ඇතු‍ෙළ උන් හැප්පෙන බව මට දැනෙන්න ගත්තා. හොරකං කරන්න ප්ලෑන් ගහන්න තරං උන් දක්ෂයි. හිතේ මිම්මට ඇඳුමක් මහන්න උන් දක්ෂයි. ඕන වලියකට ඉස්සරහට යන්න උන් ගැම්මයි. පොතක් අරන් ලිය ලිය ඉන්නවට වඩා ප්‍රායෝගිකව මහන්සිවෙලා වැඩ කරන්න උන්ගෙ ඇඟ වගේ ම හිතත් මෙලෙකයි. ඒ නිසාමයි මම උන්ට හරියන විදියට උන්ට උගන්නන්න තීරණය කරන්නෙ. ඒක මට ඉගැන්නුවෙ උන්. මගෙ ළමයි! " -නෛනා මාථූර් -

ඇගේ හිත එහෙම කියන්න ඇතැයි කියලා මම විස්වාස කරනවා. උන්ගෙ දුකට ඇය අඬනවා. උන් සතුටු වෙද්දි ඇය හිනා වෙනවා. උන්ව ඉඹිනවා. බදා ගන්නවා. හුරතල් කරනව. ඉක්ක ගගහා ඉකි බිඳිනවා.පැය දෙකක් ඇතුළත සුඛාන්තයකින් නිමාවීම ප්‍රබන්ධනාත්මක වුණත්, මෙහෙම ගුරුවරු ලෝකෙ ඉන්නවා. හෝ ගානා පොකුණෙ 'උමා' ඒ එක අවස්ථාවක්. ගුරුවරයා යනු මඟ පෙන්වන්නෙක් මිස මේ මඟ යමූ යැයි අණ කරන්නෙක් හෝ රැගෙන යන්නෙක් නොවෙයි.

අද දරුණුවට ම ඇති ප්‍රශ්නයක්, මේ භූමිකා ප්‍රශ්නය. තමාගෙන් විය යුත්තේ කුමක් ද යන්න ඔවුන්ට හරි වැටහීමක් නැහැ. ගුරුවරයා මේ අතරින් ප්‍රධානයි. ශිෂ්‍යයන් මේ කෝවෙහි ලා හැදිය යුතුය, ආදී නිර්ණායක කප්පරක් ඔවුන් සතුව තිබුණත්, ශිෂ්‍යයන් මෙසේද විය හැකිය, යන පුළුල් අර්ථකථනයක් ඔවුන්ට නැහැ. බොහෝ දරුවන් පාසල් ක්‍රමය ඇතුළෙ රිජෙක්ට් වෙන්නෙ මේ නිසා. Hichki අපට දකින්නට දොර විවර කරන්නෙ ඒ වගේ මානයක්. මෙය බැලිය යුතු ම වැඩක් වෙන්නෙ ඒ නිසා.

[සසංකා විතානගේ]

මාතෘකා