‘සිලේදීබා’වට අමුත්තෙක්

 ඡායාරූපය:

‘සිලේදීබා’වට අමුත්තෙක්

ඒ කිස්තු වර්ෂ 1344 යි. නිරිත දිග මෝසම සක්‍රීයව පැවති එක්තරා වැසි දිනයකි. අරාබි ජාතික දේශගවේශකයකු රැගත් නෞකාව මාලදිවයින් වෙරළින් තමිල්නාඩුව බලා පිටත් විය. ගමනාන්තයට ළඟාවීම සඳහා ඔවුනට දිනතුනක් ගත වනු ඇත. එහෙත් කුණාටුවකට හසුවූ නෞකාව දින නවයක් තිස්සේ මුහුදේ යාත්‍රාකරමින් පැවති අතර අවසානයේ එක්තරා සුන්දර වෙරළ තීරයකට ගොඩ ගැසුවේය. මෙය මෙතෙක් කලක් දැක බලා ගැනීමට අශා ඉපිද වූ ‘සිලේදීබා’ නම් සුන්දර දිවයින බව අත්දැකීමෙන්ම තියුණු වූ ඔහුගේ දේශාටන මනසට වැටහිණ.

හිපෝල්ස් නම් ග්‍රීක නාවිකයා විසින් මොස්ම් සුළෙඟේ ක්‍රියාකාරීත්වය සොයාගැනීමත් සමඟ ඉන්දියානු සාගරය හරහා අරාබියේ සිට ඉන්දියාව දක්වා සෘජු මහුදු වෙළඳ නෞකා යාත්‍රා කිරීම ඇරඹී තිබුණේ ඉන් වසර එකදහස් තුන්සියයකටත් පෙර කාලයකදීය. එතැන් පටන් දකුණු අරාබිය සහ ඉන්දියාවේ බටහිර දිග වෙරළ තීරය මෙන්ම දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මෙන්ම අග්නිදිග ආසියාව දක්වා වර්ධනය වූ ඉන්දියානු සාගර වෙළඳාම වඩාත් සක්‍රීය වන්නට පටන්ගත්තේය. මෙම මුහුදු වෙළඳ මාර්ගයේ මොසම් සුළඟේ ක්‍රියාකාරීත්වය වෙනස් වීම් මඟහැරී යනතුරු වෙළඳ නැව් නවතා තැබීමට සුදුසු වරාය කිහිපයක්ම සහිත සිලේදීබා නම් දිවයින ගැන ඔහු බොහෝ වර අසා කියවා තිබුණු අතර එම දිවයින ඉතා මනරම් ආකාරයට ටොලමි සහ ඉදිරිසි නම් ග්‍රීක, අරාබි ජාතිකයන් විසින් ඇඳ ඇති සිතියම් වල සටහන් කර පැවති බව ඔහු දැක තිබුණේය.

එපමණක් නොව ඔහු සහ මෙම සුන්දර බිම්කඩ අතර නොබිඳිය හැකි අතීත සබඳතාවක් ඇති බව ඔහු දත්තේය. තම ආගමික නායකයා වූ ශුද්ධ වූ නබිතුමා ගේ ආගමික පණිවිඩය අසා දනගැනීමට මෙම දිවයිනෙන් නියෝජිතයින් දෙදෙනෙකු පැමිණි බව කිස්තු වර්ෂ 7වන ශතවර්ෂයේ සිටි බසූර්ග් ඉබන් සායර් නම් ලේකඛයාගේ කෘතියක තිබී කියවූ බව ඔහුට මතකය. එපමණක් නොව; ප්ලීනී, කොස්මස් වැනි කිස්තුවර්ෂ පළමුවන ශතවර්ෂයේ සහ හය වන ශතවර්ෂයේ සිටි ග්‍රීක සහ රෝම රචකයින් විසින් තැබූ සටහන්ද ඔහු කියවා තිබුණේය. පැපිරස් කොළවලින් තැනූ රුවල් යෙදූ යාත්‍රාවලින් මුහුද තරණය කොට අරාබි කලාපයෙන් නාවිකයින් සහ වෙළඳුන් තැප්‍රොබේනයට ළඟා වූ ආකාරය පිළිබඳ විස්තරද තැප්‍රොබේනය විවිධ රටවලට ඇත්දල, මැණික් වැනි වටිනා වෙළඳ ද්‍රව්‍ය අන්රටවලට අපනයනය සහ ප්‍රතිඅපනය කළ මුහුදු වෙළඳ මාර්ගයේ පැවති සුවිශේෂී වෙළඳ කේන්ද්‍රස්ථානයක්ව පැවති බවද එම කෘති වලින් ඉතා මනරම්ව විස්තර කර තිබිණි.

මේ සියල්ලකටම වඩා ඔහුගේ සිත් ගත් සිදුවීමක් 9වන ශත වර්ෂයේ සිටි ඉතිහාසඥයෙකු වූ ‘අහමඩ් අල් බලාදූරී’ විසින් රචිත ‘ෆූටා අල් බුල්දාන’ නම් කෘතියේ සටහන් කොට ඇත. එනම් කිස්තුවර්ෂ 7වන සියවසේදී ශ්‍රී ලංකාවේ වෙළඳාමට පැමිණ පදිංචි ව සිට මිය ගිය අරාබි වෙළඳුන් පිරිසගේ දියණියන් පිරිසක් ඉරාකයේ සිටි හජාජ් ඉබ්නු යූසුෆ් ( 694-714) නම් ආණ්ඩුකාරවරයා වෙත යවා ඇති බවයි. එපමණක් නොව කිස්තු වර්ෂ දහවන ශතවර්ෂයේදී පමණ බැග්ඩෑගයේ සිටි කාලිෆ් වරයා විසින් ‘කොළඹ’ නම් ප්‍රදේශයේ ජීවත් වූ මුස්ලිම් වෙළෙන්ඳන් ඉස්ලාමීය ආගමේ නියමානුකූල ඉගැන්වීම්වලින් සහ පරමාර්ථවලින් බැහැර වී කටයුතු කරමින් සිටීම නිසා ඔවුන් යහපැවැත්මේ පිහිටුවීම සඳහා එවන ලද ඉබන් අබු බකායා නම් ඉස්ලාමීය ආගමික පූජකයකුට අයත් සොහොන් ගලක්ද ඔහුට දිවයිනේ දී ඔහුට දැක ගන්නට ලැබිණි. මෙම සුන්දර දිවයින සහ තමන්ගේ ජාතිය අතර මෙතරම් දීර්ඝ කාලයක සිට සබඳතා පැවති බව දැනගැනීමෙන් ඔහු මවිතයට පත් විය.

ක්‍රිස්තු වර්ෂ 8වන ශතවර්සයේදී උමයියාද් කාලිප් අබ්දූල් අල් මාලික් බින් මරාවන් ගේ අසාධාරණ බදු අයකිරීම් වලින් බේර් පලා ආ පිරිස් ඔවුන් යුප්‍රටී‍ස් ගංගාවේ දකුණු දිගින් පැමිණ ඉන්දියානු අර්ධද්වීපයේ කොන්කන්වල සහ දකුණු දිග කොටස් වල සහ ශ්‍රී ලංකාව සහ මලක්කා යන රටවල ජනාවාස පිහිටුවා ගත්හ. ඉන්දියානු සාගර වෙළඳාමේ නියුක්තව සිටි අරාබීන් දොලොස්වන සහ දහතුන්වන ශතවර්ෂ වල සිටම මෙම වෙරළ බඩ කලාප සමඟ මැනවින් සබඳතා පවත්වා තිබිණි. සි‍ලේදීබා වෙත පැමිණි ඔවුන් දිවයිනේ උතුර,ඊසානදිගසහ බටහිර වෙරළබඩ කොටස්වල එනම් ත්‍රිකුණාමලය, යාපනය, මන්නාරම, කුදිරමලේ, පුත්තලම, කොළඹ, බේරුවල සහ ගාල්ල යන ප්‍රදේශ වල ජනපද පිහිටුවාගෙන සිටි බව ඔහු අසා දැන ගත්තේය.

ඉහතින් සඳහන් කළේ, ඉබන් බතූතා නම් දේශාටකයා පිළිබඳවය. ඔහු තම දිවියේ අවසන් කාලය තුළ ඔහු ලැබූ අත්දැකීම් එකතු කොට,‘අල් රිහ්ලා’ (ගමන් විස්තර) යන නමින් යුත් කෘතියක් සම්පාදනය කළේය. ඒ තුළ ඔහු සෙරෙන්දිබ් හිකලන්පු (කොළඹ), කුනාකර් (කුරුණෑගල), කාලි (ගාල්ල), දොන්ද්‍ර (දෙවුන්දර) ආදී ප්‍රදේශවල කළ සංචාර මෙන්ම ශ්‍රීපාදය වන්දනා කිරීම ගැන තැබූ ඉතා රසවත් සටහන් කිහිපයක් ඇතුළත් වෙයි.

[දිනේශ් දේවගේ]

මාතෘකා