ඇට්‍රියස් රජ පෙළපතෙහි ශාපය

 ඡායාරූපය:

ඇට්‍රියස් රජ පෙළපතෙහි ශාපය

ප්‍රොමිතියස් නම් දෙවියා විසින් දෙවියන්ට පමණක් අයිතිව තිබූ ගින්දර මිනිසුන්ට ලබා දීමත් සමඟ කෙත්වතු මෙන්ම රාජධානිද බිහි වන්නට විය. එසේ බිහිවූ පැරැණි නගරයක් වූයේ ආගෝසයයි. ආගෝසයේ මුල් රජ පරපුර හැදින්වෙන්නේ ඇට්‍රියස් නමින්ය. මෙම රජ පවුල වටා බැදුණු ශාපයක් පරම්පරා ගණනාවක් පුරාම විහිදී ගිය ආකාරය ග්‍රීක කතාවල කියවේ. එතෙක් මෙතෙක් ලොව පහළ වූ කුමන රජ පෙළපතකටවත් එවන් ක්‍රෑර ක්‍රියාවන්ට මුහුණ දීමට සිදු නොවූ බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

මෙම රජ පෙළපතේ ආරම්භකයා වන්නේ ටැන්ටලූස් නැමැත්තාය. ඔහු ටයිටන් නම් වූ දැවන්ත මිනිසෙකු වූ අතර ඉහළ වැඩවසන දෙවියන්ගේ මිතුරෙක්ද විය. දිනක් ඔහු සියලු දෙවිවරුන් භෝජන සංග්‍රහයක් සඳහා කැදවීය. ඔහු කෙතරම් දෙවියන්ට පක්ෂග්‍රාහී දැයි පෙන්වීමට ඔහුගේ එකම පුතු වූ පෙලොප්ස් මරා රසවත් ව්‍යංජනයක් ලෙසින් සකස් කර දෙවියන්ට පිළිගැන්වීය. මේ පිළිබඳව හෙළිවීමෙන් දෙවියන් ඔහු කෙරෙහි උරණ වී ඔහුව පාතාලයට හෙළූ බව කියවේ. එතැනින් නොනැවතුණු දෙවිවරු ඔහුට තවත් දඩුවමක් නියම කළෝය. කුසගින්නෙන් පෙළෙන ඔහුගේ දෑස මානයට මිහිරි පලතුරු ළං කරන අතර ඔහු ඒවා ගැනීමට සැරැසෙද්දීම අතුරුදහන් වෙයි. අත්කරගත නොහැකි ආකර්ෂණය යන අරුතින් TO Tantalize යන වචනය සෑදී ඇත්තේ මේ ටැන්ටලස් හා ඔහු විදින වධය මුල් කරගෙනයි.

ටැන්ටලස් පාතාලයට යවන දෙවිවරු ඔහු විසින් මරාදමනු ලැබූ පොලොප්ස්ට නැවත ප්‍රාණය ලබාදෙයි. පීසා නුවර ඔෆෝනේස් රජුගේ දියණියක් වන හිපොඩේමියා නම් තැනැත්තිය ඔහු සිය සරණයට ගනී. ඔහු ඇයව ලබා ගන්නේ අශ්ව රථ තරගයකදී ඇයගේ පියාව මරා දැමීමෙනි.

පොලොප්ස්ට පුත්තු දෙදෙනෙක් වූහ. ඔවුන් නම් ඇට්‍රියස් හා තීස්ටස්ය. මේ අතුරින් තීස්ටස් නම් බාල සොහොයුරා තම සොහොයුරාගේ බිරිද දූෂණය කර රාජ්‍යයට ද උරුමය ප්‍රකාශ කර සිටී. ඇට්‍රියස් ඔහුව පරාජය කර නුවරින් ද පිටුවහල් කළේය. එහෙත් තීස්ටස් විසින් තමාට කළ අවමානයට පළිගැනීමට සිතා සාමදාන වන්නට යැයි බොරුවට හඟවා නැවත තීස්ටස් නුවරට කැඳවා භෝජන සංග්‍රහයක් සූදානම් කළේය.

මෙම සංග්‍රහයේදී සහෝදරයන් දෙදෙනා වෙනුවෙන් ආහාර බෙදා දෙන ලද්දේ වෙන වෙනම මේසවලය. මේ අතර ඇට්‍රියස් තීස්ටස්ගේ පුතුන් දෙදෙනා අල්ලා මරා ඔවුන්ගේ මස් වෙනත් මස් සමග මිශ්‍රකර තීස්ටස්ට ආහාර පිණිස පිළිගැන්වීය. තීස්ටස් තමා විසින් බුදින්නේ තම දරුවන්ගේ මස් බව නොදැන අවසානය දක්වාම ආහාර ගත් පසුව බඳුන්වල පතුළෙහි කුමරුවන්ගේ පා ඇඟිලි හසුවීමෙන් විමතියට පත්විය. මේ තෙක් බලාගෙන සිටි ඇට්‍රියස් ඉදිරියට පැමිණ තමා මෙතෙක් වෙලා අනුභව කරන ලද්දේ ඔහුගේම පුතුන්ගේ මස් බව ප්‍රකාශ කළේය. දැඩි කැලඹීමට පත් තීස්ටස් සියලුම මේසවල කෑම පෙරළා දමා ඇට්‍රියස් පරපුරම විනාශ වේවා යැයි ශාප කළේය.

මෙම ශාපයත් සමඟ මුළු ඇට්‍රියස් පරපුරම අන්ධකාරය කරාම ගමන් කරන අතර පළිගැනීම්, ලේ වැගිරීම්වලින් මුළු පරපුරම විනාශ වී යන්නේය. ඊස්කිලස් නම් ග්‍රීක නාට්‍යකරුගේ ඔරෙස්ට්‍රියානු නාට්‍යට පදනම් වන්නේත් මෙම ඇට්‍රියස් පුරපුරේ ශාපයයි.

මනුෂ්‍යත්වය නොදත් අවදියක මීට වඩා ශිෂ්ටසම්පන්න දේවල් සිදුවිය නොහැකි වුවද පුදුමය නම් නූතන දියුණු ලෝකයේ ද බලය වෙනුවෙන් මීටත් වඩා අධම දේ කිරීමට මිනිසුන් පෙලඹීමයි.

මාතෘකා