පිංවතුනි, අපි රජා සොයමු

 ඡායාරූපය:

පිංවතුනි, අපි රජා සොයමු

කොටියා එතරම් හොඳ සතෙක් නොවේ. නයාට මෙන්ම කොටියාටද කිරි පොවනවාට අපේ මිනිස්සු අකමැති ඒ නිසාය. කොටියාට බයේ ගැහෙමින් සිටි අතීතයක් අපට තිබුණි. කොටි ගම් වදිනවාට බයේ කැළෑ වැදුණු මිනිස්සු එකලද සිටියහ. කොටියා රැටියන්ට කළ අපරාධ රැටියන්ට හොඳ හැටි මතකය. කොටියන්ට ඒවා මතක හිටින්නට විදිහක් නැත. අපි අවසාන කොටියාද මරා රතිඤ්ඤා පත්තු කර කිරිබත් කෑවෙමු.

ඊයේ පෙරේදාද එක කොටියෙකු ගම් වැදුණේය. එහෙත් ඌ කිරිබොන එකෙකු බව කොටි ගැන තතු දන්නෝ කියති. අපට කොටි කියා ඇහුණොත් ඒ ඇතිය. ඌ කිරි බොනවාද, බත් කනවාද, මස් කනවාද කියන එක අපිට අදාළම නැත. අපි කොටින්ට කිරි පොවන්නේ නැති හෙයින්, ඌද තළා, පෙළා මරා පෙරසේම තුටින් පිනා ගියෙමු.

අප මේ සිවුපා කොටියා ගැන දැනගන්නේද ඒ ගැන දුක් වූ පිරිස් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ වීඩීයෝ සහ ජායාරූප නිසාය. මරණයකදී ප්‍රීති ප්‍රමෝදය වඩාත් නුසුදුසු වන්නේ දෙපා සත්තු වෙනුවෙන්ද, සිවුපා සත්තු වෙනුවෙන්දැයි සිතමින් සිටියදී, චින්තන ධර්මදාසගේ ෆේස් බුක් සටහනක තිබූ " උතුරු දකුණු බේද නෑ අපි එකම රටක වන සත්තු" යන කොටස මතකයට නැඟිණි. සතුන් සහ මිනිසුන් යන දෙවර්ගයම මරාදැමීමට එරෙහි නීතී තිබේ. එහෙත් මිනිසුන් සතුන් ලෙස මරා දැමීමත්, මිනිසුන් අතින් සතුන් මරණයට පත්වීමත් මෙන්ම, ඉඳහිට සතෙකු අතින් මිනිසෙකු මරණයට පත්වීමත් සිදුවේ. සතුන් නීතීය නොදන්නා නිසා නීතී ගැන කතා කිරීමෙන් ඵලක් නැති බැවින්, මිනිසුන් නීතීය නොතකන්නේ ඇයි දැයි සිතමු. වැරදි හෝ නිවැරදි යන කාරණයට ලඝු නොවී සිතා බැලුවහොත්, නීතීයට පටහැණි බොහෝ මිනිස් ක්‍රියාකාරකම් යෙදී ඇත්තේ තමන්ට එරෙහි පීඩනයන් මැඬලීම සඳහාය.

බොහෝ පුළුල් කාරණා වෙත නොගොස් දෛනික ජීවිතයේ අප මුහුණ දෙන සුළු සිදුවීම් කිහිපයක් බලමු. මැසි මදුරු උවදුරට එරෙහි විද්‍යුත් ප්‍රහාර අප සතුය. මීයන්ට වස විස කවා, මී කතුරකින් ගෙල මිරිකා මරා දැමෙති. කැරපොත්තාට, මකුණාට, කුහුඹුවාට පවා අපි රසායනිකව උත්තර දෙමු. අඩුම තරමේ ගෙට වැදි ගැරඬියෙකුට භූමිතෙල් ටිකක් හෝ දමා එළවා දමති. ගොවියන් වගා පාළුවට විසඳුම් ලෙස වල් ඌරන්ට තුවක්කු බඳිති, අලින්ට විදුලි වැටවල් ගසති. "හක්ක පටස්" හෝ තබති. ගඩා ගෙඩියට වතු වදින වඳුරන්ට පවා රිදවිය හැකි ආයුධ නිපදවා තිබේ. " ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් උත්තර දාර්ශනිකය" යන කියමන සිහිවන්නේ මෙතැනදීය.

කිලිනොච්චියේදී මරා දැමූ දිවියාගේ ප්‍රශ්නයේදී වනජීවි නිලධාරීන් යැයි කියාගන්නා පුද්ගලයන් දක්වා තිබූ ප්‍රකාශ බරපතලය. ගැමියන් දිවියා මරා දමන්නට දැක්වූ උනන්දුවත්, තමන් ආයුධ ප්‍රවේශම් කරගෙන පසුබැසි බවත් යන ප්‍රකාශ අපට වනජීවි දෙපාර්තමේන්තුව ගැන ඇතිකරවන්නේ අපුලකි. ගස් නැග අලින්ට වරකා කඩන, පොළොව ඉඹ, ඉඹා දීගජන්තු ඇතුන් සොයන වන ජීවී නියෝජ්‍ය ඇමතිලාත්, වනයකින් වනයකට අලි දෙදෙනෙකු මාරු කරගන්නට බලයක් නැතැයි කියන වනජීවි ඇමතිලාත්, ඒ අමාත්‍යංශත්, අපට කුමට දැයි මිනිසුන්ට සිතෙන එකත් එකාතකට අසාධාරණ නොවේ.

"අහවලා කැලේට ආවා මං ගමට ආවා" , "අලි පාර හරහා යනවාද...පාරවල් කැලෑ හරහා යනවාද." වැනි උපහාසාත්මක යෙදුම් බොහොමයක් දිවියාගේ මරණින් පසු සමාජ මාධ්‍ය හරහා සංසරණය වනු දක්නට ලැබිණි. අපට මේවා හුදෙක් උපහාසයෙන් බැහැර නොකළ හැකි තරමට එහි සැඟවුණු අරුත් තිබේ. සංවර්ධනය යන්න කනට මී සේ මිහිරිය. හැත්තෑ වසරක්ම රට කෙරූ ඇත්තෝ අප රැවටූ වචනයද මෙයය. තාමත් පෑලියගොඩින් කොළඹ නගරයට ඇතුළුවීමේදී ඇති වන වාහන තදබදයට විසඳුම් නැත. නමුත් අපට අධිවේගී හීන තිබේ. දිනකට වාර්තා වන දහය, පහලොව ඉක්මවූ රිය අනතුරු අතරේ,වේරහැර අධි තාක්ෂණ රිය පුහුණු මධ්‍යස්ථාන ගැන පුරාජේරු තිබේ. නඩු ඇරෙන්න ජයග්‍රහණ නැති ක්‍රිකට් හීල්ලීම් අතරේ, උදම් අනන ජාත්‍යන්තර ක්‍රීඩාංගණ තිබේ. අපි තාමත් ජාත්‍යාන්තර නැව් තොටවල් වලට පැමිණෙන නැව් ගනිමින් සිටිනාතර ගුවන් තොටවල් ගැන ආඩම්බර වෙමින්, ඇති එකම තොටුපළින් රට හැර ගුවන් ගත වෙන්නට හීන මවමු.

එහෙත් රජගොල්ලෝ ගත් ණය ගැන හේතු කියන්නට මැති ඇමති ගොල්ලෝ පෝලිමේ පැමිණෙති. "බිල්ලෝ එනවෝ" කියා අතදරුවන් රවටනවාක් මෙන් "කොටි එනවෝ" කියා තාමත් ඔවුහු අප බියවද්දති. සමූහ මිනී වළවලින් හිස් කබල් සිය දහස් ගණන් මතුවෙද්දී, සමහර ඇත්තෝ යුද බිම් වලින් මතුවූ ආයුධ වලට සංඛ්‍යා ලේඛන හදති. අපේ දරුවෝ ආයුධ පෙන්වන්නට ගොස් ආයුධවලින්ම මිය යති. අපේ දැරියෝ ගෙල සිරකර ළිං පතුල්වලට දමති. සිල් රෙදි, සාරි රෙදි, කමිස රෙදිවලට පමණක් නොවේ කසා රෙදි වලටත් ඩොලර් බර ගණන් වියදම් කොට තිබේ. ඒත් අපි තාමත් රාජ්‍ය, මාත්‍යාවරු පත් කරන මැතිවරණ හීනම දකිමු. සැදී පැහැදී එන්න පින්වතුනි..! අපි කෙසේ හෝ ඊළඟ රජා සොයමු. අපට ඇති එකම ප්‍රශ්නය රජා සෙවීමය.

මාතෘකා